“අයි.සී.සී සම්මානය මම රටට කරපු දෙයට ලැබුණු එකක්“‌ – මුරලිදරන්

256
(Photo by Darrian Traynor/Getty Images)

ජාත්‍යන්තර ක්‍රිකට්‌ සභාව විසින් ලොව ක්‍රිකට්‌ ක්‍රීඩකයකුට කලාතුරකින් හිමිවන සදාතනික ක්‍රිකට්‌ වීරයන්ගේ නාමාවලියට තමාව නම්කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වන බව ලොව විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඊයේ (28 දා) “දිවයින” කළ විමසීමකදී පැවසීය.

“ඇත්තටම මේක මට ලැබුණෙ මම රට වෙනුවෙන් කරපු දේ නිසා. මේ සම්මානයෙන් මම ගොඩක්‌ සතුටට පත් වුණා. ඒ අය මට මේක ඊමේල් එකකින් තමයි දැන්වුයේ. ඉදිරියේදී ඒ සම්මානය පිරිනමන දිනය සහ වකවානු දැනුම් දෙනවා කියලත් දන්වලා තියෙනවා.” යෑයි මුරලිදරන් පැවසීය.

ටෙස්‌ට්‌ කඩුලු 800 ක්‌ සහ එක්‌දින කඩුලු 534 ක්‌ දවා ගනිමින් අදාළ තරග අංශ දෙකෙන්ම ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ඉදිරියේදී පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට සුදානමින් සිටින බවද පැවසීය.

“මම පුහුණුකරුවකු ලෙස කටයුතු කරන එක නවත්වන්නෙ නැහැ. මට අඩ ගහන ඕනෑම කණ්‌ඩායමක පුහුණුකරුවකු ලෙස මම වැඩ කරන්න සූදානම්.” යෑයි පැවසීය.

මුත්තයියා මුරලිදරන්ට අදාළ සම්මානය හිමිවීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්‌ සභාවේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා පවසන්නේ, “මුරලි නිසා ශ්‍රී ලංකාවේ ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රීඩාවේ ලෝකයේ ඉහළ තැනකට ගේන්න පුළුවන් වුණා. ඒ නිසාම ඔහුට මේ සම්මානය හිමි වුණා.” යනුවෙනි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට