ක්‍රිස්ටල් පැලස් පරදවා මීගමුව තරුණයෝ ඉදිරියට

292
Dialog Champions league week 6

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සංවිධානයෙන් ඩයලොග් ආසිආටා ආයතනයේ සවිබල ගැන්වීමෙන් පැවැත්වෙන වසරේ උත්කර්ශවත්ම පාපන්දු තරගාවලිය වන ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සයවැනි සතියේ තරග කිහිපයක් පසුගිය සෙනසුරාදා (23) සහ ඉරිදා (24) දිනයන් හිදි පැවැත්විය.

එහිදි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, මීගමුව යූත් සමාජය සහ කොළඹ පාපන්දු සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: ජාවා ලේන් පරදා ගෝල දෙකක ජය සෝන්ඩර්ස්ට

මාතර සිටි සහ කොළඹ පාපන්දු සමාජය

මාතර පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති තරගයෙන් ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතැබු කොළඹ සමාජය විසින් ජය වාර්තා කලේ ගෝල 04 ලබා ගනිමිනි.

තරගයේ ප්‍ර‍ථම අර්ධය නිමාවන විට ගෝල 3ක් ඔවුන් විසින් රැස් කරගත් අතර තරගය නිමාවීමට මත්තෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට ඔවුන් සමත්විය. තරගයේ ගෝල රැස්කල ක්‍රීඩකයින් ලෙස අෆීස් ඔලායෙමි ගෝල 2ක් (23 සහ 48 වැනි මිනිත්තුවල) වාර්තා කල අතර අහමඩ් ශස්නි (33වැනි මිනිත්තුව) සහ ධනුශ්ක මදුශංක (42වැනි මිනිත්තුව) විසින් ගෝල 1 බැගින් රැස්කිරීමට සමත් විය.

අවසන් ලකුණු – මාතර සිටි සමාජය 00 : 04 කොළඹ පාපන්දු සමාජය

මාතර සමාජ ක්‍රීඩක ඒ. ආරොන් වෙත කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය

ඒකල ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදි කරට කර පැවති තරගයකින් පසුව  නිව් යන්ග්ස් ක්‍රීඩකයෝ පරදවා ගෝල 02 – 01 ලෙස ජය වාර්තා කිරීමට ගුවන් භටයන් සමත් විය.

තරගය ආරම්භ වී මිනිත්තු 18ක් වන තැන නිව් යන්ග්ස් ක්‍රීඩක සෝගහ් විසින් ගෝලයක් රැස් කල අතර ඉන්පසුව ප්‍ර‍ථම වටය නිමාවන තෙක් කිසිදු ගෝලයක් කණ්ඩායම දෙකම විසින් වාර්තා නොකරන ලදි.

දෙවන අර්ධයේදි වඩාත් සක්‍රීය වු ගුවන් භටයින් තරගය නිමා වීමට ප්‍ර‍ථම ගෝල 2ක් වාර්තා කිරීමට සමත් විය.  52 වැනි මිනිත්තුවේදි දිමුතු ලක්මාල් ගුණසිංහ විසින් සහ 84 වැනි මිනිත්තුවේදි නිපුණ බණ්ඩාර විසින් එම ගෝල ද්විත්වය වාර්තා කරන ලදි.

අවසන් ලකුණු – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 02 : 01 නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය

87වැනි මිනිත්තුවේදි නිව් යන්ග්ස් ක්‍රීඩක අන්කමහ් ‍ජෝර්ජ් හට රතු කාඩ්පතක් නිකුත් කල අතර ගුවන් හමුදා ක්‍රීඩක ඩී. කේ. දුමින්ද සහ නිව් යන්ග්ස් ක්‍රීඩක එස්. ආර්. එස්. ප්‍ර‍දීප් යන ක්‍රීඩකයින්ට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

තරගාවලියේ සියළු තොරතුරු සදහා පිවිසෙන්න – DCL Hub එකට


ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ සුපර් සන් ක්‍රීඩා සමාජය

කරට කර තරගයකින් ජාවා ලේන් පරදවා සුපර් සන් ක්‍රීඩා සමාජය ගෝල 02 – 01 ලෙස ජය වාර්තා කිරීමට සමත් විය. තරගය සිටි පාපන්දු ක්‍රීඩා පිටියේදි පැවත්විය.

තරගයේ 21වැනි මිනිත්තුවේදි ශෆ්රාස් කයිස් සහ 30 වැනි මිනිත්තුවේදි ජනිත් පියුමාල් විසින් සුපර් සන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල රැස් කරන ලදි. ජාවා ලේන් ක්‍රීඩකයින් ලබා ගත් ගෝලය වාර්තා වන්නේ 66 වැනි මිනිත්තුවේදි මොහොමඩ් අබ්දුල්ලා විසින් සාර්ථක කරගත් දඩුවම් පහරක් මගිනි.

අවසන් ලකුණු – ජාවා ලේන් සමාජය 01 : 02 සුපර් සන් සමාජය


පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි පොලිස් පිල පරදවා ගෝල 02 -00 ලෙස ජය වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ කිසිදු අවස්තාවක ප්‍ර‍තිවාදීන්ට ලකුණු ලබා ගැනීමට ඉඩ නොදුන් නාවික ක්‍රීඩකයින්  20 වැනි මිනිත්තුවේදි සහ 29 වැනි මිනිත්තුවේදි පිලිවෙලින් ධම්මික රත්නායක සහ නිර්මාල් විජේතුංග විසින් ගෝල රැස් කර ගන්නා ලදි.

අවසන් ලකුණු – පොලිස් ක්‍රීඩා සමාජය 00 : 02 නාවික හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ පොලිස් ක්‍රීඩකයින් වන ඒ. රනිශ්, එන්. ජේ. ටී. සම්පත් සහ ඩී. එල්. කේ. ලංකේෂ්වර යන අයට කහ කාඩ්පත් ලබා දෙන ලදි.


අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය සහ සොලිඩ් ක්‍රීඩා සමාජය

01 -01 ලෙස ජය පැරදුමකින් තොරව නිමා වු මෙම තරගය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදි පැවැත්විය. තරගය ආරම්භ වී සුළු මොහොතකින්ම සොලිඩ් ක්‍රීඩක තක්ෂිල දනෝජ් විසින් ගෝලයක් රැස් කරගන්නා ලදි. ඒ තරගයේ 17වැනි මිනිත්තුවේදීය.

තරගයේ දෙවන අර්ධය නිමා වීමට සුළු මොහොතකට ප්‍ර‍ථම අප් කන්ට්‍රි ක්‍රීඩක ඒ. ඒ. ඔසාර් විසින් ද ගෝලයක් රැස් කරගන්නා අතර ඉන්පසු තරගය නිමා වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිල අපොහොසත් විය.

අවසන් ලකුණු – අප් කන්ට්‍රි ලයන්ස් සමාජය 01 : 01 සොලිඩ් ක්‍රීඩා සමාජය

තරගයේදි අප් කන්ට්‍රි ක්‍රීඩක ඒ. ඩබ්. පී. ජයරත්නට සහ සොලිඩ් ක්‍රීඩක එස්. ගොඩ්වින්ග්ට ද කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

තරගවල ඡායාරූප ඇල්මයන් වෙත මෙයින් පිවිසෙන්න


යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය

ඉතාමත් පහසු තරගයකින් ජය වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් විය. ඒ ගෝල 06 – 00 ලෙසිනි.

තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි පැවති අතර යුද හමුදාව වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක් (42, 45 සහ 6වැනි මිනිත්තුවල) වාර්තා කිරීමට තිවංක චන්ද්‍රසේකර සමත් විය. පුන්සර තිරුණ (13 සහ 92+ මිනිත්තුවල) විසින් ද ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර සජිත් කුමාර (32වැනි මිනිත්තුව) විසින් ද ගෝල දිනුමක් වාර්තා කරන ලදි.

අවසන් ලකුණු – යුද හමුදා ක්‍රීඩා සමාජය 06 : 00 සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය


තිහාරිය යූත් ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය

මෙම සතියේ කණ්ඩායමක් වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් තරග ජය ගැනීමට රිනවුන් සමාජය සමත් විය. ඒ ගෝල 09 – 01 ලෙස තිහාරිය යූත් සමාජය පරාජය කරමිනි.

තරගයේ ප්‍ර‍ථම අර්ධය නිමාවන විට ගෝල 07 – 01 ලෙස පෙරමුණෙහි පසු වූ රිනවුන් සමාජය තරගය අවසන් වන විට තවත් ගෝල 02ක් ලබා 09 – 01 ලෙස ජයග්‍ර‍ණය ලබා ගැනීමට සමත් විය.

තරගයේදි රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මොහොමඩ් රිෆ්නාස් ගෝල දෙකක් වාර්තා කරන්නේ 7වැනි සහ 76වැනි මිනිත්තු වලදීය. තවත් ගෝල දිනුම් දෙකකට හිමිකම් කීමට සමත් වූ අෆාම් අක්‍ර‍ම් සහ මොහොමඩ් ෆාසිල් පිලිවෙලින් 11 වැනි සහ 91වැනි මිනිත්තුවලදී ද, 35වැනි සහ 37වැනි මිනිත්තුවලදී ද ගෝල දිනුම් රැස් කර ගන්නා ලදි. තරගයේ විශිෂ්ඨ ලකුණු ලබා ගැනීමක නිරත වු ජොබ් මයිකල් විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරන අතර ඒ තරගයේ 15, 19 සහ 31වැනි මිනිත්තු වලදීය.

තිහාරිය සමාජය වෙනුවෙන් රැස් කල එකම ගෝලය වාර්තා වන්නේ තරගයේ 68වැනි මිනිත්තුවේදීය. ඒ  පී. ටී. මදුඅබුරුච්චි විසින් ලබා ගත් උත්සහක ගෝලයකිනි.

අවසන් ලකුණු – තිහාරිය යූත් සමාජය 01 – 09 රිනවුන් ක්‍රීඩා සමාජය

තරගයේ දි ඩබ්. එල්. කේ. එස්. මධුශංක සහ පී. ටී. මදුඅබුරුච්චි යන තිහාරිය ක්‍රීඩකයින්ට සහ ඒ. ආර්. එම්. රිස්කාන් සහ සහ එම්. අයි. එම්. උමයිඩ් යන රිනවුන් ක්‍රීඩකයින් හටද තරග තීරක විසින් කහ කාඩ්පත් නිකුත් කරන ලදි. තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සමාජයේදි පැවිත්විය.

තරග සියල්ල නැවත නැරඹීමට පිවිසෙන්න


ක්‍රිස්ටල් පැලස් සමාජය සහ මීගමුව යූත් සමාජය

ප්‍ර‍තිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතබමින් නිමාවුන මෙම තරගයේදි මීගමුව සමාජය ක්‍රිස්ටල් පැලස් පරදවා ගෝල 04ක ජයක් ලබා ගැනීමට සමත් විය. තරගය නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටියේදි පැවති අතර තරගයේ ප්‍ර‍ථම අර්ධය නිමාවන විට එක් ගෝලයක් පමණක් වාර්තා වී තිබුනු අතර ඒ 35වැනි මිනිත්තුවේදි හරින්ද්‍ර‍පීරිස් විසින් ලබා ගත් ගෝලයයි.

තරගයේ දෙවන අර්ධයේදි තවත් ගෝල 3ක් වාර්තා කිරීමට මීගමුව ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදි හරින්ද්‍ර‍පීරිස් සය දෙවැනි ගෝලය 79වැනි මිනිත්තුවේදි ලබා ගත් අතර අබ්දුල් මුමුනි සහ මොහොමඩ් නුස්ලාන් පිලිවෙලින් 44වැනි මිනිත්තුවේදි සහ 90+2 මිනිත්තුවේදි ගෝල රැස් කරගන්නා ලදි.

අවසන් ලකුණු – ක්‍රිස්ටල් පැලස් සමාජය 00 : 04 මීගමුව ක්‍රීඩා සමාජය

ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩක චරිත් රත්නායකට සහ මීගමුව ක්‍රීඩකයින් වන ඊ. බී. අකූටි සහ මොහොමඩ් නුස්ලාන් යන අයට කහ කාඩ්පත් නිකුත් කරන ලදි. තරග සතියේ 24 වැනිදා පැවති එකම තරගය මෙය වන අතර අනෙක් සියල්ල 23 වැනිදා පැවැත්විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට