ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය, අති දැවැන්ත මෙන්ම අවමන් සහගත පරාජයකින් අවසන් විය. ඒ තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 140ක පරාජයක් උරුම කර ගනිමිනි.

පසුගිය ලිපි: අසාම් – අලී ශ්‍රී ලංකාවේ ජය මග හරස් කරයි

ශ්‍රී ලංකා, එංගලන්ත සහ පාකිස්තානු A කණ්ඩායම් අතර සංවිධාන කෙරුණු තුන්කොන් එක්දින තරගාවලියේ 6වන සහ අවසන් තරගය ශ්‍රී ලංකා A සහ එංගලන්ත ලයන්ස් අතර පැවැත්වූයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේදීය.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ලයන්ස් නායක ඩේවිඩ් මාලන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවති පෙර තරගයේදී පිත්තෙන් දැක්වූ දස්කම් නැවත ප්‍රදර්ශනය කිරීමේ අරමුණ ඇතිවයි.

මාලන් ලකුණු 23කට දැවී ගියත්, ඉන් අනතුරුව පිටියට එක්වූ ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් සහ බෙන් ඩකට්, මාලන් ශ්‍රී ලංකාව සමග පළමු තරගයේ ඉටුකළ වගකීම වඩාත් හොඳින් සම්පූර්ණ කිරීමට සමත් විය.

පෙර තරගයේදී ලකුණු 393කට සීමා වූ එංගලන්ත ලයන්ස් ඉනිම මේ තරගයේදී බෙල්-ඩ්‍රමන්ඩ් සහ ඩකට් එක්ව ලකුණු 400 කඩඉම පසුකර ඉදිරියට ගෙන ගියේ වාර්තා රැසක්ද අලුත් කරමිනුයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 425ක් ලබා ගන්නා ලදී. මෙය ජාත්‍යන්තර හෝ පළමුපෙළ ඕනෑම එක්දින තරගයකදී එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මීට පෙර ලකුණු 400 සීමාව පසුකිරීමට අවම වශයෙන් කඩුලු 2ක් හෝ බිඳ වැටී තිබුණි. (දකුණු අප්‍රිකාව කොදෙව්වන්ට එරෙහිව 439/2 – 2015 ජනවාරි / නවසීලන්තය අයර්ලන්තයට එරෙහිව 402/2 – 2008 ජූලි)

බෙන් ඩකට්ගේ ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා A  පන්දු යවන්නන් ගොළු වෙද්දී ඔහු අගනා ද්විත්ව ශතකයක් ලබා ගත්තේ හතරේ පහර 29ක් සහ හයේ පහර 6ක් සමගින්.

ඩකට් නොදැවී ලකුණු 220ක් රැස් කරන්නට වැය කළේ පන්දු 131ක් පමණි. ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරතවු ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් නොදැවී ලකුණු 171 ක් ලබා ගත්තේ හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමගිනි.

තිසර පෙරේරා තම පන්දුවාර 10 තුළ ලකුණු 101ක් ලබා දෙද්දී, අනෙක් පන්දු යවන්නන් සියලුදෙනාද දැඩි ප්‍රහාරයකට ලක් විය. දැවී ගිය එකම කඩුල්ල හිමිවූයේ රමිත රඹුක්වැල්ලටයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා A පිතිකරුවන් ලකුණු 426ක ඉලක්කය අසලටවත් පැමිණෙන බවක් ඉනිමේ මුල සිටම දක්නට නොලැබුණි.

දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතක රැස් කළත් ද්විත්ව ශතකයකින් හා ශතකයකින් සවිමත් වූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එය කිසිදු අභියෝගයක් නොවීය. ජෝජ් ගාටන් කඩුලු 4ක් බිඳහෙලමින් ශ්‍රී ලංකා A ඉනිම බිඳ දැමීමේ පෙරමුණ ගන්නා ලදී.

ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දුවාර 47.3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 285ක් පමණි. මේ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම තුන්කොන් එක්දින තරගාවලිය අවසන් කලේ තරග 4කදී එකදු ජයග්‍රහණයකින් හෝ තොරවයි.

තමන් සහභාගීවූ තරග 4ම ජයගත් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශූරතාව දිනා ගනිද්දී තරග 4න් 2ක් ජයගත් පාකිස්තානු A කණ්ඩායමට අනුශූරතාව හිමිවිය.

ලකුණු පුවරුව

එංගලන්ත ලයන්ස් –  425/1 (50)  බෙන් ඩකට් – 220*, ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් – 171*, රමිත රඹුක්වැල්ල – 1/83

ශ්‍රී ලංකා A  – සියල්ලන් දැවී – 285 (47.3)  ඇන්ජලෝ පෙරේරා – 69, නිරෝෂන් දික්වැල්ල –  60, තිසර පෙරේරා – 45, මහේල උඩවත්ත – 40, ජෝජ් ගාටන් – 4/43, ලියම් ඩෝසන් – 2/41, සකිබ් මහමූඩ් – 2/57

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ලකුණු 140ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට