හමුදාවට පහරදී මේරියන්ස් කුසලානය ජය ගනි

720
SLC u23 cricket tournament finals

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ, අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහල පළමු කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ යෞවනයන් සමත් විය. පන්දුවාර 40 බැගින් වූ මෙම තරගයේ පළමු හතරෙන් කොටස තුළ පැතිරවූ ආධිපත්‍ය දිගටම රඳවා ගත නොහැකි වූ යුද හමුදා ක්‍රීඩකයන්ට සිදුවූයේ අනුශූරතාවෙන් සැහීමකට පත් වන්නටයි.

පසුගිය ලිපි: යුද හමුදා අවසන් සටනට, හලාවතින් අභියෝගයක්

කොළඹ SSC ක්‍රීඩාංගනයේදි පැවති අවසන් මහා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 40කට සීමා විය. කාසියේ වාසිය දිනාගත් මේරියන්ස් නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේ යුද හමුදා කණ්ඩායමටයි.

එම අභියෝගයට අති සාර්ථක පිළිතුරක් ලබා දෙන්නට යුද හමුදා ආරම්භක පිතිකරුවන් සමත් විය. ඉනිමේ හරි අඩක් (පන්දු වාර 20ක්) අවසන් වන විට ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 130ක් ලබා සිටියේ පන්දුවාරයකට ලකුණු 6 ඉක්මවූ දළ ලකුණු වේගයක්ද රඳවා ගනිමිනි.

තරගාවලිය පුරා යුද හමුදාවේ සාර්ථකම පිතිකරුවා වූ නායක ලියෝ ෆ්‍රැන්සිස්කෝ මේ ඉනිමේද වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. ඔහු පන්දු 80කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63කි. අනෙක් ආරම්භක පිතිකරු අශාන් රන්දික වේගවත් ලකුණු 46ක් රැස් කරන ලදී. හිමාෂ ලියනගේ ලකුණු 23යි.

කෙසේවෙතත් යුද හමුදා ඉනිමේ අවසන් අර්ධයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම නතු වුයේ රාජික ඩිල්ශාන් ප්‍රමුඛ හලාවත මේරියන්ස් පන්දු යවන්නන්ටයි. දෙවන කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් අයන සිරිවර්ධන ලබාදුන් අවස්ථාවෙන් යුද හමුදා ඉනිමට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ ඩිල්ශාන් අවසන් යුද හමුදා කඩුලු 8න් 6ක අයිතිය තමන් සතු කර ගන්නට සමත් විය.

ලකුණු 61ක් තුල කඩුලු 9ක් බිඳ වැටෙද්දී යුද හමුදා ඉනිම ලකුණු 191කට සීමා විය. තරගයේ එක් ඉනිමක් පන්දුවාර 40කට සීමා කරන්නට සිදු වන විට යුද හමුදා ඉනිමේ පන්දු වාර කිහිපයක් අවසන් වී තිබීම හේතුවෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව හලාවත මේරියන්ස් ඉලක්කය ලකුණු කිහිපයකින් ඉදිරියට ගියත් එය කිසිසේත්ම අභියෝගාත්මක ඉලක්කයක් නොවීය.

23න් පහල කුසලානය ලබාගැනීම සඳහා යුද හමුදාවට ඉතිරිව තිබූ එකම මාර්ගය වූයේ මේරියන්ස් ඉනිමේ මුල් පෙළ ඉක්මනින් බිඳ දැමීමයි. කෙසේවෙතත් අවසන් පූර්ව තරගයේදී ලකුණු 30ක් තුළ දැවී ගිය මේරියන්ස් පළමු පිතිකරුවන් සිවුදෙනා මේ තරගයට පිවිස සිටියේ තම වගකීම් මනාව අවබෝධ කරගෙනයි.

යුද හමුදාවේ බලාපොරොත්තු පොලවට ඇද දැමූ මේරියන්ස් ආරම්භක පිතිකරු කසුන් විදුර තම කණ්ඩායම කුසලානයේ අයිතිය තහවුරු කර ගන්නා තුරු තම පිත්ත අත් හැරියේ නැත. කසුන් පන්දු 111කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 94ක්. අනෙක් ආරම්භක පිතිකරු රුක්ෂාන් ප්‍රනාන්දු වේගවත් ලකුණු 48ක්  සමගින් ජයග්‍රාහී ගමනට දායක විය.

මැදපෙළ කඩුලු 3ක් ලකුණු 8ක් තුල දවාගන්නට යුද හමුදාව සමත් වුවත් ඒ වනවිට හලාවත යෞවනයන් තරගයේ ජය අත නොහැරෙන ලෙසින් ග්‍රහණය කරගෙන තිබිණි. ඔවුන් කඩුලු 5ක් සහ තවත් පන්දු 15ක් ඉතිරිව තිබියදී ජය කනුව පසු කර යන්නට සමත් විය.

ලකුණු පුවරුව.

යුද හමුදා ක්‍රී.ස. – සියල්ලන් දැවී – 191 (37.2)  – ලියෝ ෆ්‍රැන්සිස්කෝ – 63, අශාන් රන්දික – 46, හිමාෂ ලියනගේ – 29, ශෂින් දිල්රංග –  20, රාජික ඩිල්ශාන් –  6/30,චලන ද සිල්වා – 1/30, අයන සිරිවර්ධන – 1/47

හලාවත මේරියන්ස් ක්‍රී.ස – 196/5 (37.3)   –  කසුන් විදුර –  94*, රුක්ෂාන් ප්‍රනාන්දු –  48, තීක්ෂිල ද සිල්වා –  21, යොහාන් ද සිල්වා – 1/40, මාලක මධුශංක – 2/43)

කඩුලු 5ක ජයක් සමගින් අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් ශූරතාව හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට