යුද හමුදා අවසන් සටනට, හලාවතින් අභියෝගයක්

811
යුද හමුදා අවසන් සටනට, හලාවතින් අභියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට යුද හමුදා සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ අද (22) සමත් විය.ඒ අවසන් පූර්ව වටයේදී CCC ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

පසුගිය ලිපි: SSC ඉදිරියට ගෙන ගිය සංජුලගේ ශතකය

යුද හමුදා 23න් පහළ ක්‍රීඩකයන් CCC කණ්ඩායම සමගින් තරග වැදුනේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදීය. තරගයේ කාසියේ වාසිය දිනු CCC නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු 24ක් වෙද්දී බිඳ වැටුනත්, ධනුෂ් පීරිස් සහ ලහිරු ජයකොඩි තුන්වන කඩුල්ලට ලකුණු 85ක අගනා සබඳතාවක් ගොඩ නගන ලදී.

නමුත් යුද හමුදා පන්දු යවන්නන් පන්දු 4ක් තුළ ඔවුන් දෙදෙනාවම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුවේ, CCC ඉනිමේ කඩාවැටීම ආරම්භ කරමිනි.

පළමු පන්දුවාර 25 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 107ක් ලබාගත් CCC කණ්ඩායමට අවසන් පන්දුවාර 25 තුල කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 102ක් පමණයි.

 තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

අවසන් අර්ධය තුළ හුදකලා සටනක නිරත වූ රොෂේන් අනුරුද්ධ ලකුණු 54ක් ලබා ගන්නට සමත් විය.

මේ අනුව නියමිත පන්දුවාර 50 තුළ CCC කණ්ඩායමට කඩුලු  9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 209ක් පමණි. යොහාන්, සංජික සහ නලීන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ යුද හමුදා කණ්ඩායමේ නායක ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 7කට දවා ගන්නට රවීන් සේයර් සමත් විය.

නමුත් ඒ වනවිටත් අනෙක් ආරම්භක පිතිකරු අශාන් රන්දික වේගවත් අර්ධ ශතකයක අයිතිය හිමි කරගෙන තිබිණි.

ශෂින් දිල්රංග සමග දෙවන කඩුල්ලට ලකුණු 47ක සබන්දතාවකටද දායක වූ රන්දික ලකුණු 85ක ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුයේ හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් තම ඉනිමට ඇතුලත් කර ගනිමිනි. ඔහු ලකුණු 85 ලබා ගැනීමට වැය කළේ පන්දු 53ක් පමණයි.

හිමාෂ ලියනගේ සහ යොහාන් ද සිල්වා ද වේගවත් පිතිහරඹයක යෙදෙමින් යුද හමුදා ජය ඉක්මන් කිරීමට සමත් විය.

ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී සපුරා ගන්නට ඔවුන් වැය කළේ පන්දුවාර 29.4ක් පමණි.

ලකුණු පුවරුව

CCC ක්‍රී.ස. – 209/9 (50) රොෂේන් අනුරුද්ධ – 54, ධනුෂ් පීරිස් – 50, ලහිරු ජයකොඩි – 36, යොහාන් ද සිල්වා – 3/39, සංජික රිද්ම – 2/33,නලීන් පෙරේරා – 2/33

යුද හමුදා ක්‍රී.ස. 210/3 (29.4) අශාන් රන්දික –  85, හිමාෂ ලියනගේ –  40, ශෂින් දිල්රංග –  39*, වොශාන්ත සිල්වා –  2/44

යුද හමුදා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්


හලාවත මේරියන්ස් කණ්ඩායමට අවසන් තරගයට පිවිසීම සඳහා පිත්තට වඩා හිමි වුයේ පන්දුවේ දායකත්වයයි. කොළඹ NCC ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු SSC නායකයා පන්දු යැවීම තෝරා ගන්නා ලදී.

නුවන් තුෂාර සහ ඇන්ඩෘ පරායස් මේ තීරණයට සාධාරණය ඉටු කළේ හලාවත මේරියන්ස් ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 30ක් තුළ දවා ගනිමිනුයි.

නුවන් පළමු කඩුල්ල දවාගත් අතර ලකුණු අතර සිටි ලක්ඛණ ජයසේකර ඇතුළු පිතිකරුවන් තිදෙනෙක් නැවත හරවා යැවීමට ඇන්ඩෘ සමත් විය.

රිසිත් උපමාල් සහ චලන ද සිල්වා මේරියන්ස් ඉනිම නැවත ගොඩනගන්නට සමත් විය. රිසිත් පන්දු 74ක් පුරා කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 31ක් ලබා ගනිද්දී චලන පන්දු 90කින් ලකුණු 90ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමගිනි.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර හලාවත මේරියන්ස් ඉනිම ලකුණු 220කට අවසන් කරන්නට SSC පන්දු යවන්නන්ට හැකි විය.

එතරම් අපහසු නොවූ ඉලක්කයක්  SSC ග්‍රහණයෙන් මුදා ගැනීමේ වගකීම පළමු පන්දුවේ සිටම භාර ගත්තේ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක චරිත් රාජපක්ෂයි.

 තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

ඔහු පන්දුවෙන් කඩුලු 3ක් සමග දුවද්දී දැවී යාමකටද දායක වෙමින් SSC මුල් පිතිකරුවන් 4 දෙනෙක් මුළු ලකුණු 5ක් වනවිට නරඹන්නන් බවට පත් කිරීමට සමත් විය.

ක්‍රිෂාන් සංජුල ලකුණු 71ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 26ක් ලබා ගනිමින් පීඩනය මදක් පාලනය කර ගත්තද, චලන ද සිල්වා සහ රජික දිල්ශාන් ලකුණු 31ක් තුළ අවසන් SSC කඩුලු 6 බිඳ දැමුවේ හලාවත මේරියන්ස් කණ්ඩායමට අවසන් තරගයේ ස්ථානයක් වෙන් කරමිනුයි.

SSC පිළිතුරු ඉනිම පන්දුවාර 29.1ක් තුළ ලකුණු 116කට සීමා වෙද්දී, ඔවුන්ගේ පිතිකරුවන් 9 දෙනෙකුටම ලකුණු 5 සීමාව ඉක්මවා යාමට නොහැකි වීම ඔවුන්ගේ පිතිකරණ කඩාවැටීමට කදිම සාක්ෂියකි.

ලකුණු පුවරුව

හලාවත මේරියන්ස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 220 (49.2) චලන ද සිල්වා –  90, රිසිත් උපමාල් –  31, චරිත් රාජපක්ෂ – 21*, ඇන්ඩෲ පරායස් – 3/23, අදීශ පුංචිහේවගේ –  2/40, නුවන් තුෂාර –  2/41

SSC ක්‍රී.ස. – සියල්ලන් දැවී – 116 (29.1) ක්‍රිෂාන් සංජුල – 71, රමේෂ් මෙන්ඩිස් – 26, චරිත් රාජපක්ෂ –  3/18, චලන ද සිල්වා –  3/20, රජික දිල්ශාන් – 3/16

හලාවත මේරියන්ස් කණ්ඩායමට ලකුණු 104ක ජයක්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට