ශ්‍රී ලංකා A කණ්ඩායමට තවත් දැවැන්ත පරාජයක්

433
Sri Lanka A v England lions
Pic credits - The Guardian

ශ්‍රී ලංකා, පාකිස්තානු සහ එංගලන්ත A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සහභාගී වූ දෙවන තරගයෙන්ද දැවැන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා A කණ්ඩායමට සිදු විය. ඒ එංගලන්ත A (එංගලන්ත ලයන්ස්) කණ්ඩායම සමග තරගයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව ලකුණු 88ක පරාජයක් උරුම කර ගනිමිනුයි.

පසුගිය ලිපි: A කණ්ඩායම් තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට

එංගලන්තයේ නොදැම්ප්ටන් හීදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත ලයන්ස් නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. පළමු පන්දුවාර 35 තුළ තම ඉනිමට ශක්තිමත් පදනමක් ගොඩනගන්නට ලයන්ස් මුල් පෙළ පිතිකරුවන් සමත් විය. පන්දුවාර 35ක් අවසන් වනවිට ඔවුන් කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 207කි.

ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් ලකුණු 52ක් සහ බෙන් ඩකට් ලකුණු 61ක් ලබාගත් අතර, ඔවුන් දෙදෙනාම හතරේ පහර 8 බැගින් එල්ල කරන ලදී. පන්දු 92ක් තුළ තම ශතකය සම්පූර්ණ කළ නායක ඩේවිඩ් මාලන් ඉනිමේ නැංගුරම බවට පත් විය.

36 වන පන්දුවාරයේ සිට එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ලකුණු යන්ත්‍ර උපරිම වේගයෙන් ක්‍රියා කිරීම ඇරඹිණි. නායක මාලන් ශතකය ලබාගැනීමෙන් පසු තවත් පන්දු 34කින් ලකුණු 85ක් රැස් කරද්දී, ඔහුට අනගි සහයක් දුන් සෑම් බිලිංග්ස් ලකුණු 68ක් ලබා ගත්තේ පන්දු 34ක් පමණක් වැය කරමිනුයි. නායකයා හතරේ පහර 16කින් සහ හයේ පහර 8කින් ක්‍රීඩාංගනය දෙවනත් කරන ලදී. බිලිංග්ස් ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුලත් විය.

මේ අනුව එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 5ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 393ක්. එංගලන්ත ලයන්ස් කණ්ඩායමක් එක්දින තරගයකදී රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. නායක ඩේවිඩ් මාලන් නොදැවී ලබාගත් ලකුණු 185 ලයන්ස් පිතිකරුවෙක් එක්දින තරගයකදී ක්‍රීඩා කල හොඳම ඉනිම ලෙසත් වාර්තා පොත් අතරට එක් විය.

එංගලන්ත පිතිකරුවන් පාලනය කර ගැනීමට සමත් වූ එකම ශ්‍රී ලංකා A පන්දු යවන්න වූයේ රමිත රඹුක්වැල්ලයි. ඔහු තම පන්දු වාර 10 තුළ ලකුණු 48ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙලන ලදී. ලක්ෂාන් සඳකැන් සහ භානුක රාජපක්ෂ කඩුලු 2බැගින් දවා ගත්තද, ඔවුන් දෙදෙනා ඇතුළු අනෙකුත් සියලු පන්දු යවන්නන්  එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දැඩි ප්‍රහාරයකට ලක්විය.

ශ්‍රී ලංකා A පිළිතුරු ඉනිමට බලාපොරොත්තු සහගත ආරම්භයක් සටහන් වුයේ නිරෝෂන් දික්වැල්ල වාර්තා කළ වේගවත් අර්ධ ශතකය හේතුවෙනි. දික්වැල්ල හතරේ පහර 9ක් සමග වේගවත් ලකුණු 51ක් ලබා ගන්නා ලදී. මහේල උඩවත්ත ලකුණු 34යි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 82කි.

නමුත් ලකුණු 10ක් තුල ශ්‍රී ලංකා A  කඩුලු 4ක් බිඳ හෙලමින් ඔවුන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බොඳ කරන්නට මාක් වුඩ් සහ ටෝබි රෝලන්ඩ්-ජෝන්ස් සමත් විය. නායක අශාන් ප්‍රියන්ජන් සහ ඇන්ජලෝ පෙරේරා 5 වන කඩුල්ල වෙනුවෙන් සෙමින් නමුත් ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවේ තරගයේ අවසන් භාගය තුළ වේගයෙන් ඉලක්කය වෙත යාමේ අරමුණ ඇතිව විය හැකියි. නමුත් එම අරමුණ ඉටුකරගන්නට වර්ෂාවෙන් ඉඩක් නොලැබුණි.

30වන පන්දුවාරය අවසානයේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් නතර කල තරගය නැවත ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙන් තරගයේ තීරණය ලබා දුන්නේ ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුවය. කඩුලු 4ක් දැවී සිටි ශ්‍රී ලංකා A  කණ්ඩායම ඒ වනවිට  ජයග්‍රහණය සඳහා ලකුණු 253ක් ලබා ගත යුතුව තිබුණි. නමුත් ඔවුන් රැස් කරගෙන සිටියේ ලකුණු 164ක් පමණකි.

ලකුණු පුවරුව

එංගලන්ත ලයන්ස් – 393/5 (50) – ඩේවිඩ් මාලන් – 185*, සෑම් බිලිංග්ස් 68, බෙන් ඩකට් – 62, භානුක රාජපක්ෂ – 2/34 (3) ලක්ෂාන් සඳකැන් – 2/72 (9), රමිත රඹුක්වැල්ල – 1/48 (10)

ශ්‍රී ලංකා A – 164/4 (30) – නිරෝෂන් දික්වැල්ල – 51,අශාන් ප්‍රියන්ජන් – 39*, මහේල උඩවත්ත – 34, ඇන්ජලෝ පෙරේරා – 30*, මාක් වුඩ් – 2/8 (5), ටෝබි රෝලන්ඩ්-ජෝන්ස් – 2/47 (8)

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව ලකුණු 88ක ජයක්

මේ තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්තානු A කණ්ඩායම හමුවේ කඩුලු 8කින් පරාජය විය. ශ්‍රී ලංකා සහ පාකිස්තානු A කණ්ඩායම් අතර දෙවන තරගය අද (22) නොදැම්ප්ටන් හීදීම පැවැත්වීමට නියමිතයි.  

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට