ව්‍යාජ ප්‍රවේශපත් මර්ධනයට ඉන්දීය තාක්ෂණය

331
Thilanga Sumathipala

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග මාලාව සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීම ඇතුළු කටයුතු කිහිපයක් සඳහා ඉන්දියානු සමාගමක් වන BookMyShow.com හී සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවේශපත්‍ර අළෙවිය, ගිණුම් ගත කිරීම, ක්‍රීඩාංගනයට පිවිසෙන ප්‍රේක්ෂකයන් පාලනය, නිලධාරී සහ මාධ්‍යවේදී අවසරපත් නිකුතුව ඇතුළු කටයුතු රැසක් එම සමාගම සිදු කිරීමට නියමිතයි.

මෙතෙක් මෙරට ක්‍රිකට් තරග සඳහා නිකුත් කෙරුණු ප්‍රවේශපත්වල මුද්‍රණය කර තිබුනේ ඊට අදාළ ආසන පිහිටි කලාපය පමණි. නමුත් මෙම නව ක්‍රමවේදය මගින් එක් එක් ප්‍රේක්ෂකයාට අදාළ ආසන අංකයද ප්‍රවේශ පත්‍රයේ මුද්‍රණය වනවා. තවද සෑම ප්‍රවේශ පත්‍රයකම ඊට අනන්‍ය වූ පරිගණක කේතයක් (BAR CODE) අඩංගු වීම නිසා ව්‍යාජ ලෙස ප්‍රවේශපත් මුද්‍රණය කිරීම වලක්වා ගත හැකියි. එමෙන්ම නව ප්‍රවේශපත් මුද්‍රණය සඳහා භාවිත කරන විශේෂ කඩදාසි වර්ගය ආනයනය කිරීමට ආසියාව තුළ  බලපත් තිබෙන්නේ BookMyShow.com සමාගමට පමණක් වීම හේතුවෙන් ආරක්ෂාව පිලිබඳ 100%ක් සහතික විය හැකි බවයි එම සමාගමේ නියෝජිතයන් පවසන්නේ.

ඡායාරූප ඇල්බමය

අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිළදී ගැනීමටද BookMyShow.com සමාගම කටයුතු යොදා ඇති අතර ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා ප්‍රවේශපත් අළෙවි කුටි 25ක් පවත්වාගෙන යාමද පැවරෙන්නේ මෙම ඉන්දියානු සමාගමටයි. සියලුම ක්‍රීඩාංගන අධ්‍යනය කිරීමෙන් පසු ඒවායේ ආසන අංක පිළියෙළ කිරීම සහ ඒවාට අදාළ ආකාරයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීමේ වගකීම පැවරෙන්නේද අදාළ සමාගමටයි.

මේ තොරතුරු අනාවරණ කිරීම සඳහා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ මේ වනවිට තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ප්‍රේක්ෂක සහාභාගීත්වය 40,000ක් තරම් අවම මට්ටමක පවතින බවයි. එබැවින් වසර 4ක් තුළ මෙය ප්‍රේක්ෂකයන් 100,000ක් දක්වා වර්ධනය කරගැනීම ක්‍රිකට් ආයතනයේ අරමුණ බවයි සුමතිපාල මහතා පවසන්නේ.

ලබන 26 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ආරම්භ වන පළමු ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ප්‍රවේශපත් අළෙවිය අනිද්දා (23) ආරම්භ වීමට නියමිතයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට