රියෝ වලදී සිංහ ධජය කුරේ අතට

371
ndrajith cooray leads sri lanka

මේ වනවිට කෙන්යාවේ නයිරෝබි නුවර උස්‌බිම් පුහුණු මද්‍යස්‌ථානයක පුහුණුවීම් සිදුකරන මැරතන් ක්‍රීඩක ඉන්ද්‍රජිත් කුරේ “දිවයින”ට ප්‍රකාශයක්‌ කරමින් තමන් ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කණ්‌ඩායමේ නායකත්වයට පත්කිරීමෙන් ඉතාමත් අභිමානයට හා සතුටට පත්වූ බව පැවසීය.

එළඹෙන 2016 රියෝ ඔලිම්පික්‌ උළෙලේදී සිය තෙවන ඔලිම්පික්‌ සහභාගිත්වය සටහන් කරන 38 හැවිරිදි කුරේ දශක හතරක්‌ පුරා අඛණ්‌ඩව තිබූ එස්‌. එල්. බී. රෝසාගේ ජාතික මැරතන් වාර්තාව ගිය වසරේදී බිඳ දමමින් එම උළෙලේ සුදුසුකම් ලැබීය.

තම උදැසන පුහුණුව අවසන්කර “දිවයින”ට අදහස්‌ දැක්‌වූ කුරේ “මට මුලින් ආරංචි වුනා වයිල් කාර්ඩ් ක්‍රීඩකයකුව තමයි කණ්‌ඩායමේ නායකත්වයට නම් කරන්නේ කියල. මට එතකොට ලොකු කලකිරීමක්‌ ඇති වුනා. නමුත් මාව නම්කලයි කියල දැනගත්තම මට ලොකු අභිමානයක්‌ වගේම සතුටක්‌ දැනුන” යනුවෙන් පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ කුරේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා දුරකතනයෙන් නිතර අමතා පුහුනුව ගැන තමන්ගෙන් විමසීම් කරන බවත් එවන් අවස්‌ථාවක ජාතික ඔලිම්පික්‌ කමිටුව ගන්නට යන තීරණය ගැන එතුමා දැනුවත් කළබවත් සඳහන් කළේය.

මම හිතනවා එතුමා ගත් යම් තීරණයක්‌ මාව නායකත්වයට පත්කරන්න බලපාන්න ඇතියි කියල. මම එතුමාට ස්‌තුතිවන්ත වෙනවා.”

2004 වසරේ ඇතන්ස්‌ නුවර පැවති ඔලිම්පික්‌ උළෙලේදී සිය මංගල ඔලිම්පික්‌ මැරතන් තරගයට සහභාගිවූ කුරේ එයින් ටික කලකට ශ්‍රී ලංකාව හැර ගොස්‌ එංගලන්තයේ ජීවත්වූ අතර පසුව එහි මළල ක්‍රීඩා කණ්‌ඩායමක දිගුදුර ක්‍රීඩකයකු ලෙස කටයුතු කලේය. කලක්‌ මැරතන් ක්‍රීඩාව අත්හැර දමා සිටි ඔහු 2008 ඔලිම්පික්‌ උළෙලේ මැරතන් තරගය ටෙලිවිෂනයෙන් නැරඹු පසු තමන්හට නැවතත් ක්‍රීඩාවේ නියෑලීමට හැකිනම් 2012 ලන්ඩන් ඔලිම්පික්‌ උළෙල ඉලක්‌ක කරගතහැකි බව අවබෝධ කරගැනීමෙන් පසු වහා ක්‍රියාත්මක විය.

ඒ අනුව එංගලන්තයේ වේල්ස්‌ ඔෆ් අයිල්ස්‌බරි නමැති මලල ක්‍රීඩා සමාජයට බැඳුනු ඔහු නික්‌ ටේලර් නමැති පුහුණු කරුවා යටතේ පුහුණුවීම් කරමින් නැවතත් සුපුරුදු දක්‌ෂතාවයන් අතරට පැමිණි අතර 2012 ලන්ඩන් ඔලිම්පික්‌ මැරතන් තරගයට සහභාගිවුවේ ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ එකම මලල ක්‍රීඩකයා වශයෙන්. එහිදී ශ්‍රී ලංකාවෙන් සහභාගිවූ අනෙකුත් මලල ක්‍රීඩිකාව වුවේ ඇමෙරිකාවේ පදිංචිය හිමි ක්‍රිස්‌ටීන් මෙරිල්. ඇය එසේ සහභාගි වූයේ වයිල් කාර්ඩ් ක්‍රීඩිකාවක්‌ වශයෙන්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට