ජාවා ලේන් පරදා ගෝල දෙකක ජය සෝන්ඩර්ස්ට

231
DCL week 4-1 featured image

ශ්‍රී ලංකා පාපන්දු පිටියේ දැවැන්තම පාපන්දු තරගය ලෙස හැඳින්වෙන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ තවත් තරග කිහිපයක් දිවයිනේ ප්‍රධාන පාපන්දු ක්‍රීඩා පිටි කිහිපයක් අාශ්‍රීතව ඉකුත් 16 සහ 17 යන දිනයන්හි පවත්වන ලදි.

එහිදි නාවික හමුදා ක්‍රීඩා සමාජය, නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය, මීගමුව යූත් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

පසුගිය ලිපි: සිවිල් අාරක්ෂකයින් බ්ලූ ස්ටාර් කණ්ඩායමට දෙවැනි වෙයි

නාවික හමුදාව සහ තිහාරිය යූත් සමාජ අතර තරගය

17වැනි ඉරිදා වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි පැවැති මෙම තරගයෙන් ගෝල 01-00 ලෙසින් ජයග්‍රහණය වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

නාවික හමුදා සමාජය වෙනුවෙන් වාර්තා කල එකම ගෝල තරගයේ 24වැනි මිනිත්තුෙව්දි නාවික සෙබල නිර්මාල් විජේතුංග විසින් වාර්තා කරන ලදි. තරගය අවසන් වන තෙක් තිහාරිය සමාජයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු- නාවික හමුදා ක්‍රීඩා සමාජය 01 : 00 තිහාරිය යූත් ක්‍රීඩා සමාජය


සුපර් සන් සහ නිව් යන්ග්ස් සමාජ අතර තරගය

සුපර් සන් පරදා නිව් යන්ග්ස් ගෝල 02 : 03 ලෙසින් ජය වාර්තා කිරීමට සමත් විය. ජුලි මස 16වැනිදා වර්නැන් ෆර්නැන්ඩො ක්‍රීඩා පිටියේදි පැවති මෙම තරගයේ ප්‍රථම අර්ධය නිමා වන්නේ ගෝල 01-00ක් ලෙසිනි. එම ගෝලයට හේතුව 38වැනි මිනිත්තුවේදි දිනේෂ් අබේරත්න විසින් සිය කණ්ඩායමේ දැල වෙතටම ගෝලය එල්ල කිරීම නිසාවෙනි.

ඉන්පසුව තරගයේ දෙවන අර්ධයේදි හසිත ප්‍රියංකර (61වැනි මිනිත්තුව) සහ මොහොමඩ් මුෂිකන් (96වැනි මිනිත්තුවේදි) විසින් තවත් ගෝල ෙදකක් නිව් යන්ග්ස් වෙනුවෙන් වාර්තා කරන ලදි. සුපර් සන් ක්‍රීඩා සමාජයද දෙවන අර්ධයේදි ලකුණු රැස් කිරීම අාරම්භ කරන්නේ 47වැනි මිනිත්තුවේදි ඩියුඩෝ ජෝසප් විසින් වාර්තා කල ගෝලය සමඟිනි. තරගය නිමා වීමට මත්තෙන් තවත් ගෝලයක් සුපර් සන් වෙනුවෙන් රැස් කිරීමට ඔහු සමත් විය (77වැනි මිනිත්තුව).

අවසන් ලකුණු – සුපර් සන් ක්‍රීඩා සමාජය 02 : 03 නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – ටිඔ ඩැනිඑල් (සුපර් සන්)

තරගවල ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න


සිවිල් අාරක්ෂක සහ මීගමුව යූත් සමාජ අතර තරගය

කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වු මෙම තරගයෙන් ගෝල 07-00 ලෙස පහසු ජයක් ලබා ගැනීමට මීගමුව යූත් සමාජය සමත් විය.

තරගයේදි දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල එස්චුන් අස්කූටි විසින් ගෝල 3ක්, ප්‍රථම අර්ධය නිමා වීමට මත්තෙන් වාර්තා කිරීමට සමත්විය. ඒ 12වැනි, 31වැනි සහ 35වැනි විනාඩි වලදීය. එම්. එම්. ජේ. අයි. සුරංග විසින්ද ගෝල දෙකක් වාර්තා කරන්නේ තරගයේ 84වැනි සහ 86වැනි මිනිත්තුවලදීය. තරගයේදි අබ්දුල් මුමුනි 13වැනි මිනිත්තුවේදී ද ප්‍රියංකර සිල්වා 57වැනි මිනිත්තුවේදී ද තවත් ගෝල ද්විත්වයක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය. තරගයේ ප්‍රතිවාදීන් වු සිවිල් අාරක්ෂක අංශ ක්‍රීඩා සමාජයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට මීගමුව තරුණයෝ අවස්තාවක් ලබා නොදුන්හ. තරගය ඉකුත් 16වැනි දා පැවැත්විය.

අවසන් ලකුණු – සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය 00 : 07 මීගමුව යූත් ක්‍රීඩා සමාජය


මාතර සිටි සහ සොලිඩ් සමාජ අතර තරගය

ජුලි 17වැනිදා පැවති මෙම තරගය, ගෝල 01 : 01 ලෙස ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. මාතර පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති තරගයේ මාතර කණ්ඩායම ප්‍රථමයෙන් ගෝලයක් රැස් කිරීමට සමත් විය. ඒ තරගයේ 15වැනි මිනිත්තුවේදි ප්‍රින්ස් අසාමොහ් විසිනි. තරගයේ ප්‍රථම අර්ධය 01 :00 ලෙස නිමාවට පත්විය.

කෙටි විවේකයකින් පසුව අැරඹි දෙවන අර්ධයේදි සොලිඩ් සමාජ ක්‍රීඩක ඔ්. ජේ. අබුමර් විසින්ද ගෝලයක් රැස් කිරීමට සමත් විය. ඒ 55වැනි මිනිත්තුවේදීය. තරගයේ දෙවන අර්ධයේදි මාතර ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු – මාතර සිටි සමාජය 01 : 01 සොලිඩ් ක්‍රීඩා සමාජය

රතු කාඩ්පත් – ඩී. බී. වීරප්පුලි (18වැනි මිනිත්තුව: මාතර ක්‍රිඩා සමාජට), තිලිණ බණ්ඩාර (13වැනි මිනිත්තුව: සොලිඩ් සමාජය)

කහ කාඩ්පත් – එස්. එස්. කේ. අාරච්චි සහ ප්‍රින්ස් අසාමොහ් (මාතර සමාජය)

DCL තරගාවලිවේ සියළු විස්තර සඳහා එකතු වෙන්න – DCL Hub එකට


පොලිස් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය

මෙම තරගයද ජය පැරදුමකින් තොරව අවසන් විය. කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ 17වැනිදා පැවති මෙම තරගය ගෝල 01:01 ලෙස නිමාවට පත්විය.

තරගයේ ප්‍රථම භාගය අවසන් වීමට සුළු මොහොතකට පෙර (43වැනි මිනිත්තුව) ගුවන් හමුදා ක්‍රීඩක ඩිල්ෂාන් ෆර්නැන්ඩො විසින් ප්‍රථමයෙන් ගෝල ලබා ගැනීම අාරම්භ කරන ලදි.  ගෝල 01 : 00 ලෙස ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු පුවරුවේ සටහන් ව තිබිනි.

ඉන් අනතුරුව තරගයේ දෙවන අර්ධයේදි පොලිස් ක්‍රීඩක සම්පත් පතිරන විසින් ගෝලයක් ලබා ලකුණු තත්වය සම තත්වයකට ගෙන ඒමට සමත් විය. ඒ තරගයේ 57වැනි මිනිත්තුවේදීයි. ඉන්පසු තරගය අවසන් වන තෙක් කිසිදු අතිරේක ලකුණක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

අවසන් ලකුණු – පොලිස් ක්‍රීඩා සමාජය 01: 01 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – නිලන්ත පතිරණ, නුවන්ත චාරක ( පොලිස් ක්‍රීඩා සමාජය)

කවින්දු ඉෂාන්, බී. එස්. සී. ෆර්නැන්ඩේ, එස්. එම්. එන්. සී. සෙනෙවිරත්න, ඩබ්. ඩී. ෆර්නැන්ඩො (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)


අප් කන්ට්‍රි ලයන්ස් සහ යුද හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය

යුද හමුදාව තරගය පුරාවටම කිසිදු ලකුණක් හෝ ලබා ගැනීමට ප්‍රතිවාදීන්ට අවස්තාවක් උදා නොකරමින් තරගය ගෝල 02 : 00 ලෙස ජය වාර්තා කිරීමට සමත් විය.

තරගයේදි දක්ෂ ලෙස ක්‍රීඩා කල යුද හමුදා ක්‍රීඩක මදුශාන් ද සිල්වා විසින් ගෝල දෙකම වාර්තා කරන අතර ඒ තරගයේ 28වැනි සහ 61වැනි මිනිත්තු වලදීය. තරගය ජුලි 17වැනිදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටියේදි පැවැත් විය.

අවසන් ලකුණු – අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය 00 : 02 යුධ හමුදා ක්‍රීඩා සමාජය

 තරගවල ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න


සෝන්ඩර්ස් සහ ජාවා ලේන් ක්‍රීඩා සමාජ අතර තරගය

තියුණු තරගයකින් පසුව ජයග්‍රහණය ලබා ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ 04 : 02 ලෙසිනි.

තරගයේ ලකුණු රැස් කිරීම අාරම්භ කරමින් 7වැනි මිනිත්තුවේදී ජාවා ලේන් ක්‍රීඩක නවීන් ජූඩ් විසින් ගෝලයක් වාර්තා කරන ලදි. ඉන්පසු සෝන්ඩර්ස් සමාජය වෙනුවෙන් සජිත් ධර්මපාල දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගැනීමට සමත් විය. ඒ තරගයේ 27වැනි සහ 42වැනි මිනිත්තු වලදී. සුන්තර රාජ් නිරේෂ් ද ගෝලයක් රැස් කිරීමට සමත් වුයේ 45වැනි මිනිත්තුවේදීය. තරගයේ ප්‍රථම අර්ධය නිමා වුයේ 03 : 01 ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පෙරමුණ ගනිමිනි.

ඉන්පසුව තරගයේ දෙවන අර්ධයේදි කණ්ඩායම් දෙකම ලකුණු 01 බැගින් වාර්තා කරන අතර ට්‍රාඔරේ මොහොමඩ් 50වැනි මිනිත්තුවේදි සෝන්ඩර්ස් කණ්ඩායමටද, 63වැනි මිනිත්තුවේදි නවීන් ජූඩ් විසින් සිය දෙවන ගෝලය ජාවා ලේන් සමාජය වෙනුවෙන්ද වාර්තා කරන ලදි.‍‍තරගය 17වැනිදා කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විය.

අවසන් ලකුණු – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 04 : 02 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – රොහාන් රුවන්තිලක (සෝන්ඩර්ස්), එම්. සැස්නි සහ බී. රම්ජන් (ජාවා ලේන්)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට