එංගලන්ත සංචාරයේ නායකත්වය චරිත් අසලංකට

458

Charith Asalanka to lead Sri Lanka U19s in England

මසක කාලයක් පුරා එංගලන්තයේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය සඳහා චරිත් අසලංක නැවත කැඳවා තිබෙනවා. දකුණු අප්‍රිකාව සමග පැවති ජයග්‍රාහී තරගාවලියේ නායකත්වය දැරූ අවිශ්ක ප්‍රනාන්දු මේ කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරයි.

පසුගිය ලිපි: සඳකැන් – ධනංජය ජය මග විවර කරයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් එංගලන්තයේදී දෙදිනපුහුණු  පුහුණු තරගයකටත්, සිවුදින යොවුන් ටෙස්ට් තරග දෙකකටත් සහ එක්දින තරග 3කටත් ක්‍රීඩා  කිරීමට නියමිතයි. මේ වනවිටත් ශ්‍රී ලංකා A කණ්ඩායම සමග එංගලන්තයේ සිටින චරිත් අසලංක, අද (17) අලුයම එංගලන්තය බලා පිටත්වූ කණ්ඩායම සමග එහිදී එක්වනු ඇත. ගාල්ල රිච්මන්ඩ්  විදුහලේ දීප්තිමත් ක්‍රිකට් තරුවක් වන අසලංක, මේ වසරේ පැවති ලෝක කුසලාන 19න් පහල තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයායි.

ඊයේ රාත්‍රියේ ගුවන් තොටුපොළ වෙත පිටත්ව යාමට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී කණ්ඩායම ඇමතූ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය.

“මෙවැනි එංගලන්ත සංචාරයකට එක්වන 15දෙනා අතරට ඇතුලත් වීමත් ඉතා දුර්ලභ අවස්ථාවක්, ඒ නිසා තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම කණ්ඩායමක් ලෙස එක්ව සටන් කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන්න. මේ තරගාවලිය ඔබට දේශීය තරග බිමට පිවිසෙන්නට හොඳ අත්දැකීමක් වෙයි.”

දකුණු අප්‍රිකාව සමග තරගාවලියේ දී කණ්ඩායමේ සිටි නවකයන් කිහිප දෙනෙක් වෙනුවට ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙක්  මෙම කණ්ඩායමට ආදේශ කර තිබෙන්නේ  ප්‍රබල එංගලන්ත කණ්ඩායමේ අභියෝගය එතරම් පහසු නොවන නිසාවෙනි. අසලංකට අමතරව, වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද කණ්ඩායමට එක්වී අැත. සම්මු අශාන්,  දමිත සිල්වා සහ ජෙහාන් ඩැනියල්ද මෙම කණ්ඩායමේ සිටින 19න් පහළ තරගබිමේ ප්‍රවීණයන් ලෙස දැක්විය හැකිය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ  කඩුලු රකින ක්‍රීඩක ඩිලාන් ජයලත් පළමු වරට ජාතික යොවුන් කණ්ඩායමට කැඳවුම් ලබා ඇත්තේ, මෙවර පාසල් තරගවාරයේ ලකුණු 1000 සීමාව ඉක්මවා පිත්තෙන් දැක්වූ දස්කම්ද පදනම් කර ගනිමිනුයි.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද, A කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයේදී විශිෂ්ට දස්කම් පෙන්වුවත්, ඔහුට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැහැ. ඒ වඩාත් ඉහල අභියෝගයක් ඔහුට ලබාදෙමින්, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ඔහු ජාතික කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවීම හේතුවෙනි.

”එංගලන්ත තරගාවලිය ඉතාම වෙනස් අත්දැකීමක්. අපි දකුණු අප්‍රිකාව සමග තරගාවලිය ඉතා හොඳින් ක්‍රීඩා කළා. නමුත් එංගලන්තයේදී අපි ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත නිවැරදිවම අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම පන්දු තෝරා බේරාගෙන නිවැරදි පහර එල්ලකිරීම ඉතා වැදගත්.  කෙසේ වුවත් මට විශ්වාසයි අපිට එංගලන්ත සංචාරය සාර්ථකව අවසන් කරන්න හැකිවෙයි කියලා. අපි මේ තරගාවලියට සූදානමක් ලෙස දකුණු අප්‍රිකාව සමග පැවති සිවු දින තරග ක්‍රීඩා කළේ එංගලන්තයේ භාවිත කරන ‘ඩියුක්’ පන්දු යොදාගෙනයි.” ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස් මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

සංචිතය

  • චරිත් අසලංක – (නායක)  – රිච්මන්ඩ් විද්‍යාලය – ගාල්ල
  • අවිශ්ක ප්‍රනාන්දු – (උපනායක) – ශා.සෙබස්තියන් විද්‍යාලය – මොරටුව
  • සම්මු අශාන් – ආනන්ද විද්‍යාලය – කොළඹ
  • වනිඳු හසරංග – රිච්මන්ඩ් විද්‍යාලය – ගාල්ල
  • ලහිරු කුමාර – ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර
  • ජෙහාන් ඩැනියල් – ශා.ජෝසප් විද්‍යාලය – මරදාන
  • දමිත සිල්වා – මලියදේව විද්‍යාලය –  කුරුණෑගල
  • නවිඳු නිර්මාල් – ශා.ඇලෝසියස් විද්‍යාලය – ගාල්ල
  • අශේන් බණ්ඩාර – ශා.ඇලෝසියස් විද්‍යාලය – ගාල්ල
  • පැතුම් නිස්සංක – ඉසිපතන විද්‍යාලය – කොළඹ
  • තිසරු රශ්මික – ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර
  • මිශේන් සිල්වා –  ශා.සෙබස්තියන් විද්‍යාලය – මොරටුව
  • ප්‍රවීන් ජයවික්‍රම – ශා.සෙබස්තියන් විද්‍යාලය – මොරටුව
  • ඩිලාන් ජයලත් – ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර
  • තිලාන් ප්‍රශාන් – ශා.සර්වේශස් විද්‍යාලය – මාතර

නිලධාරීන්

  • නෙල්සන් මෙන්ඩිස් – කණ්ඩායම් භාර නිලධාරී
  • රෝයි ඩයස් – ප්‍රධාන පුහුණුකරු
  • මහින්ද හලංගොඩ – කළමනාකරු
  • සරත්චන්ද්‍ර ද සිල්වා – ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් නිලධාරී
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර – පන්දු යැවීමේ පුහුණුකරු
  • දර්ශන වීරසිංහ –  ශාරීරික යෝග්‍යතා පුහුණුකරු
  • අජන්ත වත්තේගම – භෞත චිකිත්සක

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට