රාගම හමුවේ පොලීසියට අන්ත පරාජයක්

231
SLC u23 cricket tournament july 16th Round up

එංගලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට පෑයූ නවතම තරුව වන කුසල් මෙන්ඩිස් කොළඹ ක්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ගෙන යන්නට සමත් විය.

ඒ මේට්ලන්ඩ් පෙදෙස CCC ක්‍රීඩාංගනයේදී, සැරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග තරගය ජයගැනීමට ලකුණු 211ක ඉලක්කයක්  හඹා ගිය CCC ඉනිමට නොදැවී ලකුණු 140කින් දායකත්වය සපයමිනි. පන්දු 116කදී වාර්තා වූ කුසල්ගේ ඉනිමට හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 10ක් ඇතුලත් විය.

පසුගිය ලිපි: ගුවන් හමුදාවට පහසු ජයක්, බදුරලියට දැවැන්ත ජයක්

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 210/8 (50): සංගීත් කුරේ – 59, ඉශාන් නිලක්ෂ – 38, රොෂාන් අනුරුද්ධ – 2/22, රවීන් සේයර් – 2/26

CCC කණ්ඩායම – 211/3 (38): කුසල් මෙන්ඩිස් – 140*, රොෂාන් අනුරුද්ධ – 37*

මේ තරගය කඩුලු 7කින් පරාජය වූවත් සැරසන්ස් ක්‍රීඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණේ B කාණ්ඩයේ දෙවන ස්ථානය තහවුරු කර ගනිමිනි.


කළුතර ලංකන් ක්‍රීඩා සමාජය සමග පැවති තරගය ලකුණු 81කින් ජයගන්නට ගාලු ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායම සමත් විය. මග්ගොන සරේ ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනූ ලංකන් නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඊයේ දිනයේ පැවති තරග අතුරින් ලකුණු 300 සීමාව ඉක්මවූ එකම කණ්ඩායම බවට පත් විය. පිත්තෙන් ශතකයක් ද, පන්දුවෙන් කඩුලු 2ක්ද ලබාගත් පවන් ඩයස් ගාලු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය ඔවුන්ට සැනසිලි ත්‍යාගයක් පමණක් බවට පත්වුයේ ගාලු ක්‍රීඩකයන් මේ තරගයට පෙර සියලු තරග පරාජය වී අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය අහිමි කරගෙන තිබීම හේතුවෙනුයි.

ගාල්ල ක්‍රිකට් සමාජ කණ්ඩායම – 321/8 (50): පවන් ඩයස් – 104, දුලාෂ් උදයංග – 58, අශාන් මධුශංක – 38, මාධව ප්‍රනාන්දු – 2/49

ලංකන් ක්‍රීඩා සමාජය – සියල්ලන් දැවී 240 (48): ධනුක පතිරණ – 94, සංජුල අබේවික්‍රම – 57, චතුර ලක්ෂාන් – 3/27, පවන් ඩයස් – 2/36

ගාලු ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 81ක ජයක්.


පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගනයේ පැවති තරගයේදී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායම හමුවේ, සත්කාරක යුද හමුදා අවුරුදු 23න් පහළ කණ්ඩායම පරාජයට පත්විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවූ කෝල්ට්ස් ක්‍රීඩකයන් යුද හමුදාව ලබාදුන් ලකුණු 239ක ඉලක්කය කඩුලු 2ක් පමණක් ඉතිරිව තිබියදී පසු කළේ සාලින්ද උශාන්ගේ සුපිරි පිතිකරණයෙන් ලද පන්නරයත් සමගිනි.

කෙසේ වෙතත් ගාලු ක්‍රීඩා සමාජයට මෙන්ම කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායමටද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම අහිමි වුනා. ඒ අඩු දල ලකුණු වේගය හේතුවෙනි. මේ තරගය පරාජය වුවත් යුද හමුදාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.

යුද හමුදා  ක්‍රීඩා සමාජය – සියල්ලන් දැවී 238 (50): සචින් දිල්රංග – 91*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ – 50, මොහොමඩ් ශිරාස් 4/44, අකිල ධනංජය 2/28.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය – 239/8 (47.3): සාලින්ද උෂාන් – 99, සධීර සමරවික්‍රම – 38, ඩිල්ශාන් ද සොයිසා – 2/22, නිලංක ලක්සිරි 2/25

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අවුරුදු 23න් පහළ කණ්ඩායමට, කඩුලු 2ක ජයක් ලබා ගැනීමට සමත් විය.


C කාණ්ඩයේ ප්‍රමුඛයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටි NCC ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායම ලකුණු 68කින් පරදවන්නට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අවුරුදු 23න් පහළ කණ්ඩායම සමත් විය. මොහොමඩ් අක්රම්ගේ තුන් ඉරියව් දස්කම් වලින් බ්ලූම්ෆීල්ඩ් ජයග්‍රහණයට මග විවර විය. තරගය කොළඹ NCC ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – 267/7 (50): සචින් ජයවර්ධන – 79, චන්දුල ජයමාන්න – 63, මොහොමඩ් අක්‍රම් – 52, අරවින්ද අකුරුගොඩ – 3/39.

NCC ක්‍රීඩා සමාජය – සියල්ලන් දැවී 199 (43.2): අනුක් ප්‍රනාන්දු – 50, මොහොමඩ් අක්‍රම් – 3/22, තරිඳු කරුණාරත්න – 2/30


D කාණ්ඩයේ ප්‍රමුඛයන් ලෙස කිරුළු පැළඳීම වෙනුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේදි පැවති තරගය ලකුණු 85කින් ජයගන්නට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් කවිඳු කුලසේකර රැස්කළ ශතකය අපතේ ගිය නමුත් කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගන්නා ලදී.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය – 299/9 (50): කසුන් විදුර – 88, ලක්ඛන ජයසේකර – 94, රමේෂ් මෙන්ඩිස් – 3/42

SSC ක්‍රීඩා සමාජය – 214/9 (50): කවිඳු කුලසේකර 108*, චරිත් රාජපක්ෂ – 2/38, අයන සිරිවර්ධන – 2/45


කුරුණෑගල වෙලගෙදර පිටියේදී කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායම කඩුලු 7කින් පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා වරාය අධිකාරී අවුරුදු 23න් පහළ කණ්ඩායම C කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම බවට පත් විය. කුරුණෑගල ක්‍රීඩකයන් පිහිටවූ ලකුණු 138ක ඉලක්කය හඹා යාමේදී පන්දු 54කින් නොදැවී ලකුණු 70ක් රැස්කළ නවෝද් කලංසූරිය වරාය කණ්ඩායමට ලකුණු වේගය ඉහල දමා ගැනීමට මග පෑදීය.

පන්දුවාර 29ක් පමණ ඉතිරිව තිබියදී ලද මේ ජයග්‍රහණය හේතුවෙන් වරාය කණ්ඩායමට, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ දළ ලකුණු වේගය ඉක්මවා යමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් හිමි විය.

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය – සියල්ලන් දැවී 137 (44.3): දමිත් පෙරේරා – 51, හසිත මධුශාන් – 3/20, S නදීෂ – 2/20, චරිත සුධාරක – 2/33

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සමාජය – 139/3 (21.1): නවෝද් කලංසූරිය – 70*, හර්ෂ රාජපක්ෂ 26*, රන්ධීර රණසිංහ – 3/46


මෙවර තරගාවලිය පුරාවටම ඉහල දස්කම් අතරට නොපැමිණි රාගම ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායම තම අවසන් තරගය අමතක නොවන අත්දැකීමක් බවට පත් කර ගත්හ. ඒ රාගම සිට රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට යාම සඳහා ගත කළ කාලයටත් වඩා අඩු කාලයකින් තරගය අවසන් කරමිනි.

පොලිස් කණ්ඩායම ලකුණු 40කට සීමා කළ රාගම ක්‍රීඩකයන් අදාළ ඉලක්කය පන්දුවාර 10.3කින් සපුරා ගන්නට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය – සියල්ලන් දැවී 40 (26.1): අශින්ත මල්ෂාන් – 12, සහන් නානායක්කාර – 3/11, අමිල අපෝන්සු – 3/13

රාගම ක්‍රීඩා සමාජය – 41/2 (10.3): චරිත් අසලංක – 19*, තරිඳු ද සිල්වා – 2/15


වැලිසර නාවික හමුදා පිටියේදී, පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 120කින් පරාජය කළ  නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ ඉතා සුළු අවස්තාවක් ඉතිරි කරගන්නට සමත් විය.

මේ අනුව ටැමිල් යුනියන් සහ මීගමුව ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ කණ්ඩායම් අතර හෙට තරගයෙන් මීගමුව ක්‍රීඩකයන් අඩු ලකුණු වේගයක් සහිතව ජයගතහොත් නාවික හමුදාවට අර්ධ අවසන් පූර්ව වටයේ දොරගුළු විවර වනු ඇත.

නාවික හමුදා ක්‍රීඩා සමාජය253/9 (50): යොහාන් සොයිසා – 53, සමීර සඳමාල් – 41, යොහාන් සුරේෂ් – 36, අයේෂ් මධුශංඛ – 3/66

පානදුර ක්‍රීඩා සමාජය – සියල්ලන් දැවී 133 (34.5): ලහිරු සංජය – 33*, මොහොමඩ් ශිල්මි – 25, යොහාන් සොයිසා – 3/13]


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු කාණ්ඩයේ වයස අවුරුදු 23න්  පහල එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්.

A කාණ්ඩය

01 – NCC ක්‍රීඩා සමාජය

02 – ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය හෙට පැවැත්වෙන තරගය ජය ගතහොත් හෝ ජය පැරදුමෙන්/විසඳුමකින් තොරව අවසන් වුවහොත් ඔවුන් සුදුසුකම් ලබන අතර නැතහොත් මීගමුව ක්‍රීඩා සමාජය හෝ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතරින් ඉහල දළ ලකුණු වේගය රඳවා ගන්නා කණ්ඩායම සුදුසුකම් ලබයි.

B කාණ්ඩය

01 –  CCC ක්‍රීඩා සමාජය

02 – සැරසන්ස් ක්‍රීඩා සමාජය

C කාණ්ඩය

01 – යුද හමුදා ක්‍රීඩා සමාජය

02 – ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය

(කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද මේ කණ්ඩායම් දෙක මෙන්ම තරග 4ක් ජය ගෙන ඇති අතර දළ ලකුණු වේගය මත ඔවුන්ට ස්ථානයක් අහිමි විය.)

D කාණ්ඩය

01 – හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය

02 – SSC ක්‍රීඩා සමාජය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට