Thursday, April 25, 2024

General line - 0115112241

තරුවලින් ගම හදන්න වැඩ පිළිවෙලක්




අප රටට අවශ්‍යව ඇත්තේ තරු බිහිකිරීමට නොව චරිත බිහිකිරීමට බවත් එම අරමුණ ඉටුකර ගැනීමට රියැලටි වැඩ සටහන් දෙකක් තරුණ පරපුරට හඳුන්වා දෙන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවා.

“අපේ රටේ බිහිවූ තරුවලින් නිදහස් දිනය විමසූ විට එය ගැනවත් දැනුමක් නැහැ. සාමාන්‍ය දැනීම නොමැති තරුවලින් මේ රටට වැඩක් නොවෙයි. ජාතික තරුණ සේවා සභාව හැමදාම බිහිකළේ චරිතයි. ඒ නිසා යූත් ගොට් ටැලන්ට් රියැලටි වැඩසටහන එකී අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.

තරුණයෙකුට ඕනෑම දක්ෂතාවයක් ඉදිරිපත් කරන්න මෙහිදී අවස්ථාව ලැබෙනවා. අපට තියෙන ලොකුම ස්වේච්ඡා සංවිධානය යෞවන සමාජ ව්‍යාපාරයි. ගම්මාන 13000ක එය ක්‍රියාත්මක කෙරෙනවා. තරුණ, තරුණියන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් සෘජුවම එයට සම්බන්ධ වෙනවා. එම තරුණ , තරුණියන්ගේ මුලිකත්වයෙන් දිවයින පුරාම ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති 1500ක් තෝරා ගනු ලබනවා. එම ව්‍යාපෘතිවලට මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ලබා දෙනවා. එය තුන්ගුණයකින් වැඩි කර ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.

එක් ව්‍යාපෘතියකට රුපියල් දෙලක්ෂ විසිපන්දහසක වටිනාකමක් ලැබෙනවා. අපි දන්නවා දේශපාලඥයෙකුට මහජන මුදල් රුපියල් ලක්ෂයක් දුන්නොත් පාර හදන්න වෙන දායකත්වයක් නැහැ. එවගේම පවුලක් ගත්තත් වර්තමාන සමාජයේ වෙන්වෙලා ජීවත්වෙන්නේ.

ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා එදා ගම්මානයම එකතු වෙලා ජීවත් වුණේ. එහෙත් අද ඒ තත්ත්වය නැහැ. ගම එකතුකරන්න , නගරය එකතු කරන්න මින් අපේක්ෂා කරනවා.

අප මේ අභියෝගය තරුණ,තරුණියන්ට ලබා දුන්නම ගම්මාන වශයෙන් එකතුවෙනවා. මුලදී රුපියල් හැත්තැපන්දහසක මුදලක් ලබා දුන්නට ඉන් දිනන ව්‍යාපෘතියට ලක්ෂ 100ක් දෙනවා ගම සංවර්ධනය කරන්න.රටේ ඉන්න තරුණ, තරුණියන් තරග කරන්නේ මෙම මුදල ලබා ගන්න. මේ අලුත් සංකල්පයක්. ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත්, ජාතික වශයෙන් තරගකාරී රටාවකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.‍

මේ තුළින් ගමේ ඉන්න තරුණ , තරුණියන් අයාලේ යන එක නවතිනවා. දුෂණ වංචාවැඩවලට යොමු වෙන එක වගේම මත්ද්‍රව්‍යවලට යොමුවීම මින් අඩුවෙනවා.

මේ තුළ සැගවුණු පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. දේශපාලනය හෝ ජාතීන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අප මෙහීදි බලන්නේ තරුණයන් විදියටයි. මාධ්‍ය අපෙන් විමසන්නේ හොද දේවල් කරන්නේ නැද්ද? කියලා. හොද දේවල් කරන විට මාධ්‍යයේත් වගකීමක් තියෙනවා ඒවාට නිසි ප්‍රචාරයක් ලබාදීමට”.

අපේ රටේ තිබෙන යැපුම් මානසිකත්වය වෙනස් කරමින් ‍වඩාත් විනිවිද භාවයකින් යුතුව වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බවද ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා වැඩිදුරටත් පැවසුවා.