Thursday, July 14, 2016

පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා - හසලක වීර ගාමිණී

( ගාමිණී කුලරත්න රණවිරුවා දැයෙන් සමුගෙන අදට වසර 25 ක් සපිරේ. මේ එ් වෙනුවෙන් තබන සටහනකි...)

1991 වර්ෂයේ ජූලි මස 14 වැනි දා අලිමංක‍ඩ යුද හමුදා කඳවුර වෙතට කොටි ත්‍රස්තවාදීන් රැසක් ප්‍රහාර දෙමින් ඉදිරියට පැමිණියේ කොටින් විසින් තහඩු ගසා තුවක්කු සවි කර ඇතුළත පුපුරණ යොදා විශේෂයෙන් සාදන ලද බුල්ඩෝසරයක් පෙරටු කරගනිමිනි.. ඒ අලිමංකඩ කඳවුර සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණ ඇතිවය.. යුද හමුදා ආර්.පී.ජී අවි ප්‍රහාර හමුවේ පවා නොසැලී එම බුල්ඩෝසරය ඉදිරියට පැමි‍ණි අතර මේ වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලකායේ සේවය කළ සෙබළ ගාමිණී සිටියේ අලිමංක‍ඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයක ය... තව මොහොතකින් තම කඳවුර‍ට සහ 1500ක් පමණ වූ සහෝදර සෙබළ මුලට අත්වන්නට යන ඉරණම වටහාගත් ‍වීර ගාමිණී ඉදිරි‍යට පැමිණෙන බුල්ඩෝසරය වෙතට දිවගියේ අනෙක් සහෝදර නිළධාරීන් එපා යැයි කෑ ගසත්දී ය.. නමුත් රට දැය වෙනුවෙන් වූ යුතුකම මනාව වටහාගෙන සිටි සෙබළ ගාමිණී සතුරු වෙඩි පහර කා ගෙනම තම දෑත මත වූ බෝම්බ ද රැගෙන කෙසේ හෝ කොටි‍ බුල්ඩෝසරයේ ඉණිමඟ ද නැග එම බෝම්බ, ‍බුල්ඩෝසරය අැතුළට දමා ගැසීය.. මේ සමඟම කොටි සන්නද්ධ බුල්ඩෝසරය පුපුරා ගිය අතර ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණය ද නැවතී කඳවුර රැකගැනීමට හැකි විය... ඒ සමඟින් ම ගාමිණී කුලරත්න විරුවා ද තම අවසන් හුස්ම පොද වා තලයට මුසු කලහ...
මේ උතුම් කැපකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පරම වීර විභූෂණ සම්මානය ගාමිණී කුලරත්න රණවිරුවා හට පිරිනැමීම සිදු කෙරුණි. එය රණවිරුවෙක්ට පිරිනැමෙන ඉහලම සම්මානය වන අතර එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් එය ගාමිණී කුලරත්න රණවිරුවා වෙනුවෙන් ඔහුගේ මවට පිරිනැමිණි... ඒ 1991 වර්ෂයේ දී ය....
-----------------------------------------------------------------------
ළමා අවධිය..
-----------------------------------------------------------------------
වයි. ජී. බබානිස් සහ වයි. ජී. ජුලියට් යන දෙපලට දාව 1966 සැප්තැම්බර් මස 4 වැනි දින මෙලොව එළිය දුටු සිඟිති දරුවා ශ්‍රී ලංකා මාතෘ භූමිය රැක ගැනීමට අසමසම කැපකිරීමක් කරන්නෙකු බව ඒ මොහොතේ දී කිසි‍වෙකුත් නොසිතන්නට ඇත. පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන සහ එක් ගැහැණු දරුවෙකුගෙන් සමන්විත වූ පවුලේ දෙවැන්නා ලෙස උපත ලද මොහුට නම් තබන ලද්දේ ගාමිණී කුලරත්න ලෙස ය.
කීනපැලැස්ස කණිටු විදුහලෙන් සහ හසලක මහ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ගාමිණීට වයස අවු. 15 දී පමණ පිය සෙනෙහස අහිමිවීමත් සමඟ බොහෝ දුක් කම්‍කටොළු මධ්‍යයේ තම දිවි සරිකර ගැනීමට සිදුවිය...
-----------------------------------------------------------------------
අරන්තලා ‍භික්ෂු සංහාරයෙන් දිවි ගලවා ගැනීම....
-----------------------------------------------------------------------
හසලක ගාමිණී ලෙස ශ්‍රී ලාංකිකයන් හැඳිනගත් මේ අසහාය විරුවාගේ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ අරන්තලා භික්ෂු ඝාතනය සිදුවූ අවස්ථාවේ දී දිවි ගලවා ගැනීමයි.... අධ්‍යාපනය හමාර කල තැන් පටන් ශාසනය කෙරෙහි නැඹුරු වූ ගාමිණී කුලරත්න මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර පැවිද්දට ඇතුළත් විය...එහෙත් 1987 ජුනි 2 වැනි දින මහියංගනයේ ධම්මජෝති හිමිට මුහුණදීමට සිදුවූයේ අනුවේදනීය අත්දැකීමකට ය...
පූජ්‍ය හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා 30 නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙක් ද සමඟ අම්පාරේ විද්‍යානන්ද පිරිවෙණේ සිට කැළණි රජමහා විහාරයට වැඩමකරමින් සිටින අතරතුර අරන්තලාව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදීන්ට හසුව භික්ෂූන් වහන්සේලා ඝාතනය කරනු ලැබූහ.. නමුත් එම අවස්ථ‍ාවේ දී එයින් දිවි ගලවාගැනීමට වාසනාව ලැබූ භික්ෂූන් වහන්සේලා තුන් නම අතර මහියංගණයේ ධම්මජෝති සාමණේර හිමියන් ද විය... මෙම සිදුවීමෙන් ඇතිවූ කම්පනය නිසාම මහියංගණයේ ධම්මජෝති හිමි නැවත වරක් ගාමිණී කුලරත්න ලෙස අප රට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමේ මෙහෙයුමට රණවිරුවෙක් ලෙස එක්වීමට තීරණය කරන ලදි...
-----------------------------------------------------------------------
අපගේ උත්තමාචාරය....
-----------------------------------------------------------------------
රට වෙනුවෙන් කල ජීවිත පරිත්‍යාගය නිසාම මෙම රණවිරුවා හසලක ගාමිණී විරුවා ලෙස රටවැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ අතර ඔහු වෙනුවෙන් විවිධ ස්මාරක පවා ඉදිවුණි... හසලක ඔහු උපන් ගම් ප්‍රදේශයේ හා අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර අසල ඔහු දිවි පිදූ ස්ථානයේ ඉදිකර ඇති ස්මාරක ඒ අතරින් ප්‍රධානය... එමෙන්ම ඔහු දිවිපුදා වසර 10ක් ගතවූ තැන ඔහුගේ රුව සහිත මුද්දරයක් ද නිකුත් විය.. තවද ඔහුගේ කථා පුවත මෙරටට පමණක් සීමා වූයේ නැත.. ලොව ප්‍රධානම පෙළේ සඟරාවක් වන රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ හසලක ගාමිණී රණවිරුවාගේ කතා පුවත පිටු දෙකක් පුරා පළ කෙරිණි. එය ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ එම සඟරාවේ පලවූ ප්‍රථම අවස්ථාවය...
අද දිනයේ ද හසලක ගාමිණී රණවිරුවා පිළිබඳ සටහන් බොහෝ ලියවී තිබෙනු අැත.. ඒ අතරට මෙයද එක් කලේ එම කැපකිරීමට අපගේ උත්තමාචාරය පුද කිරීමටය... රණවිරුවන් ජීවිත පුදා රැක ගත් මේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීම අප සැමට ද අැතිබව පසක් කරමින් සටහන අවසන් කරමි....
-------------------------------------------------------------------------
‪#‎නැණමිහිර_චරිත‬

4 comments:

  1. කොකවිල් කෑම්ප් එකේ සාලිය අලදෙනිය නේද පලවෙනි එක්කෙනා?

    ReplyDelete
    Replies
    1. කපිතාන් අලදෙනිය තමයි පළමුවැනියට දිවිපුදපු කෙනා.. (1990 ජුනි 11) නමුත් පරම වීර විභූෂණය ලැබුනේ 1994 ජුනි 21. කෝප්‍රල් ගාමිණී කුලරත්න දිවිපිදුවේ 1991 ජුලි 14. ඔහුට පරම වීර විභූෂණය ලැබුනේ 1991 ඔක්තෝම්බර් 10.
      ස්තුතිය ‍කමෙන්ටුවට..

      Delete
  2. හසලක නගරයේ මොහු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒකත් මම ලිපියටම ඇතුලත් කරන්නම්... ස්තුතියි..

      Delete

Blogger Widget