2016/06/22

කඳුළ මම නුඹට ආදරෙයි..


බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..

ගිනි ගන්න ගිනි කන්දකින් ගැලුවෙ හැමදාම ගිනි රස්නෙට නටන ලාවා. ලිපේ තිබුන කේතලේ තිබුනෙත් ගින්දර වගේ රස්නෙ වතුර. ගින්නක් ළඟ තියෙන හැමදේම ගිනි ගහන්න රස්නෙයි. ඒත් අපිට අමතක උණ එකම එක දෙයක් හැර. ඒ තමයි කඳුල. කඳුළු වැටෙන්න නම් හිතක් කොයිතරම් නම් ගිණි ගන්න ඕනද? ඒත් ඒ වැටෙන වැටෙන හැම කඳුළක්ම හීතලයි. කඳුළු වැටෙන වෙලාවට එච්චර ලොකු ගින්දර ගැන හිතන්නෙ නැතුව කඳුළෙ තියෙන  පුංචි හීතල උනත් ලොකුවට විඳ විඳ අඬන අයත් මේ ලෝකෙ ඉන්නව. ඒ තමයි කඳුළ විඳින අය. කඳුළට ආදරේ කරන අය.

දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපිණා...

නින්ද යන්නෙ නැති රාත්‍රීන්, තනිවුණ හෝරාවන් වල තනිකම මකන්න ඒ අයට පෙම්වතියන් පෙම්වතුන් ඕන නැහැ. අතීතයෙන් පොදි බැඳ ගත්තු නිමාවුණ මතක ගොන්නක් එයාලගෙ හිත්වල තියෙනව. තවමත් ඒ මතක අලුත් කරන්න උත්සාහ කරනව. ඒත් අලුතෙන් ලියන්නවත් ඉවරවෙනකල් මකන්නවත් බැහැ ඒ මතකයන්. එකම බයිලෙ හැමදාම අහද්දි එපා උනත් ඒ මතකයන් කවදාවත් එහෙම එපා වෙන්නෙ නැහැ. මොකද ඒ බයිල නෙවෙයි. ඒ ආදරය වෙනුවෙන් ගායනා කරපු පහන් ගීතිකා.

නිමාවුණු සිහිවටන පමණයි දෙනෙත් දෑලේ ඉදි උනේ...

කවදාවත් ඇස් දෙකෙන්  වෙන වෙනම වැටෙන්න පටන් ගන්න කඳුළු එකට එකතු වෙල එක ඇහැකින් වැටෙනව වගේ වැටෙන්නෙ නැහැ.  කවදාවත් දෙන්නෙක් ආයෙත් හමුවුනත් ඒ අයගෙ කඳුළු එකට හමුවෙන්නෙ නැහැ. රහසෙම ඒ කඳුළු අදටත් වැටෙනව. හෙටටත්. අතීත මතකයන් ඒ හිත්වල දෝංකාර දෙනකම්ම. සදහටම. කඳුළට පෙම් කරන්න පටන් ගත්තහම වෙන කෙනෙක් ගැන ආදරයක් උපදින්නෙ නැහැ. කොහෙත්ම. කඳුළ ඒ තරම්ම ආදරණීයයි. දුක්බරයි තමයි. ඒත් ආදරණීයයි. කඳුළ විතරයි හැමදාම විරහ ගින්දර ළඟ සිසිලක් වෙල ඉන්නෙ.  කඳුළ තමයි හැමදාම දරාගන්න බැරි සතුටකදිත් අපි ළඟින්ම ඉන්නෙ. වෙනසකට තියෙන්නෙ කතා කරන්න, හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ එයාට. ඒ තමයි මේ ලෝකෙ මිනිස්සුන්ට දකින්න පුළුවන් හොඳම ගොළු ආදරවන්තයා, ආදරවන්තිය.

දුරස් වන්නේ නැහැ ඔබෙන් මා කඳුළ නුඹ නාඩන්..

බිඳුණු පෙම් හද ගිතය ගායනා කළේ ගුණදාස කපුගේ ශූරීන්

බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුළ නුඹ ආදා
අඳුර රජයන හුදකලාවෙක නුඹට පෙම් බැන්දා...

සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ..//
නිමාවුණු සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුණා...

ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ..//
දිනෙක ඇය මා අමුත්තන් සේ යලිදු හමුවේවී
කඳුළ නුඹ නාඩන්

දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුළ නුඹ නාඩන්...

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ