Friday, June 24, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (iii)

*ඕං මුලින්ම කිව්වා මේකෙ බරසාර විචාරයක් එහෙම නෑ. රජ වානරයාගේ අපරදිගට ගිය ගමනේ දී සිද්ධ වුණු සිද්ධි ගැන විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතන්දර කියවන්නන් සඳහා පමණයි!  

මායා මුගුරත් හොරාකාගත්තු රජ වානරයා කලින්ටත් වඩා එක එක මගෝඩි නටන්න පටන්ගත්තා. අර අපි පොඩි කාලෙ පන්තියේ දඟ ළමයි ගැන ටීචර්ට පැමිණිලි කරනවා වගේ මේ අමරණීය මැර වානරයා ගැන වටපිටාවේ කට්ටියම දෙව්ලොව විසූ ජේඩ් අධිරාජ්‍යා වෙත පැමිණිලි කරන්න පටන් ගත්තා. ලොං-වැං මුහුදු මකරුන් වඳුරු තඩියා තමන්ට අපහාස කළ බවටත් තමන්ගෙන් හොරා කෑ බවටත් ජේඩ් අධිරාජ්‍යාට පැමිණිලි කිව්වා. ඊලඟට දුක්ගැනවිලි කිව්වෙ යෙං-ලෝ-වැං. එයා තමයි අපායෙ රජ්ජුරුවෝ. අර කාලකන්නි වඳුරා මගේ අපායේ සේරම රාජකාරි අවුල් කරලා, යෙං-ලෝ-වැං මැසිවිලි කිව්වා. අපායේ තියනවාලු එක ලෙජරයක්. මේ ලෙජරයේ අමරණීය නොවන සියලුම දෙනාගේ ආයු කාලය සඳහන් වෙලා තියනවාලු. මේ ලෙජරයට අනුව සන් වූ කොන්ග්ගේ ආයු කාලයත් ඉවර වෙන්න කිට්ටු හන්දා, මල් හා පළතුරු කන්දේ ටිකක් ඇලවෙලා නිදාගෙන හිටපු සන් වූ කොන්ග්ව අපායේ යමපල්ලෝ ගිහිල්ලා අපායට කුදලාගෙන ආවා. අවුරුදු ගණනාවක් දුක් විඳලා විඳලා තාඕ සාස්තරයත් උගෙනගෙන අමරණීය භාවය ලඟා කරගෙන හිටපු රජ වානරයාට, මේ ආකාරයට තමන්ගේ ආත්මය අපායට කුදලාගෙන ඒම පිළිබඳ පුදුමාකාර කේන්තියක් ආවා. තමන්ගේ කනතුරෙහි සඟවාගෙන සිටි මායාකාර මුගුර එළියට අරගත්තා. මෙතෙක් වේලා ඉඳිකටුවක් තරම් කුඩා වෙලා තිබුණු මායාකාර මුගුර මගා දැවැන්ත මුගුරක් බවට පත් වුණා. මේක ටිකක එහාට මෙහාට වනලා, තමන් ඉගෙන ගත්තු සටන් ක්‍රම වලින් කීපයක් පෙන්වපුවාම අනේ අර අසරණ යමපල්ලෝ ටික හොඳටෝම බය වෙලා. යමපල්ලො ටික බය කරගත්තු රජ වානරයා වැරදියට දත්ත එක්කාසු කරලා තියන ලෙජරය වහාම තමන් වෙත ගෙන එන්න කියලා යමපල්ලන්ට අණ කරනවා. ඉතින් අනේ අර බිරන්තට්ටු වෙච්චි යමපල්ලෝ ටික අපායේ ලෙජරට මේ වඳුරු තඩියාට ගෙනැවිත් දෙනවා. බොහොම කේන්තියෙන් ලෙජරය අතට ගත්තු රජ වානරයා වහාම ඉන් තමන්ගේ නම කපා හරිනවා. ඒ විතරක් නම් බැරියැ, මේ ඇට්ටරයා, ලෙජරයේ සටහන් කර තිබුනු මනුතලයේ හිටපු වඳුරු සංහතියේම නම් ටික කපා දානවා! මේ වඳුරු තඩියාගේ වැඩ නිසා දැන් මගේ අපයට එන පිරිසත් හුඟක් අඩුවෙලා ගිහින්,  යෙං-ලෝ-වැං කංකෙඳිරි ගානවා. 
මේ පැමිණිල්ල අහගෙන හිටපු අධිරාජ්‍යයාගේ උපදේශකයා කල්පනා කළා වැඩේ ගොඩින් බේරගත්තොත් තමයි හොඳ කියලා. මොකද සටනක් දීලා මහා විනාසෙකුත් ලැජ්ජාවකුත් කරලා මිසක මේ රජ වානරයාව දෙව්ලොවට කුදලාගෙන එන එක නම් ලේසි වෙන එකක් නැති බව මේ උපදේශකයාට තේරුම් ගිහිනුයි තිබුණේ. ඉතින් මේ රජ වානරයාව උප්පරවැට්ටියෙන් රවටන්න හිතාගෙන උපදශකයා ජේඩ් අධිරාජ්‍යාට උපායක් කියලා දෙනවා. මේ අනුව ජේඩ් අධිරාජ්‍යයා සන් වූ කොන්ග්ට පණිවිඩයක් යවනවා දෙව්ලොව "දිවමය අස්වයින්ගේ මහා භාරකාරයා" බවට ඇති තානාන්තරය භාරගන්න එන්න කියලා. එතකොට මේ දඩබ්බරයා දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන්නෙ. 
රජ වානරයත් හරි මාන්නෙ නිසා මේ උප්පරවැට්ටියට එයා අහුවෙනවා. හැබැයි වැඩි කාලෙකට නෙමෙයි, එක දවසයි. රජ වානර බොහොම සන්තෝශෙන් තමනුත් දැන් දෙවියෙක් කියලා හිතාගෙන දෙව්ලොව සවාරියක් ගහනකොට දැනගන්නවා අධිරාජයාගෙ අස්පයින්ගේ මහාභාරකාරයා කිව්වාට, එයා හැබෑවටම නිකම්ම නිකම් අස්පයො බඳින ගොපල්ලෙක් ගාණට තමයි දෙව්ලොව උදවිය තමන්ට සලකන්නෙ කියලා. බොහොම සැරේට කෙන්ති ගන්න රජ වානරයා තමන්ගෙ පට්ටම අතහැරලා ආපිට තමන්ගෙ රාජධානියට යනවා.යනවා විතරක් නෙවෙයි, තමන් "දෙව්ලොව සම මහා මුනිවරයා" කියලා තමාවම නම් කරගන්නවා. මේ අපහාසයට වාඩුව ගන්න හිතාගෙන යක්දෙස්සන් දඩම්කරන්නන් කිහිපදෙනෙකුත්, නෙස්සා නම් දේව දරුවාත් මනු ලොව වෙත යැව්වුත්, මහා බලැති රජ වානරගේ සෙල්ලම් වලට ඒ කවුරුත් යට වෙනවා. ආයෙමත් කපටිකමින් වානරයාව මට්ටු කරන්න හදන රාජ උපදේශකයා, ආයෙමත් අලුත් පට්ටමකුත් දීලා රජ වානර ගෙන්නවා ගත්තා. "අමරණීය පීච් උයනේ මහා භාරකාරයා" තමයි මේ අලුත් පට්ටමේ නම. මේ පට්ටමත් අරගෙන මෙයා ඊළඟට අල්ලන අඩව්ව ඊලඟ පෝස්ටුවෙන් කියවමු. 

12 comments:

  1. මේ මෙච්චර ඉක්මනට පොස්ට් දාන්නේ ...පිස්සුවක් ඇතැ ....පැය හතලිස් අටක්වත් ඉමු .....අපි මෙව්වා කියවන්නේ තව වැඩ කරන ගමං

    ReplyDelete
    Replies
    1. හික් හික්. අහුවෙච්චි වෙලාවෙ ලියලා දාන්න ඕනෙ අයියාහ්. අර රයිටර්ස් බ්ලොක් ද මොකද්ද එකක් ආවොත් හෙම කෝටි ගානක කොන්තරාත්තු වතුරෙ නෙව.

      Delete
  2. ඔය කතාවේ වර්ශන් කීයක් ඒ කාලේ හොන්ග්කොන්ග් ඉන්නකොට රූපවාහිනියේ නැරඹුවාද... !

    ReplyDelete
  3. මට නම් අර කාටුන් පොතේ ඉන්න එකාගෙ රූපෙ තරම් වෙන එකක්වත් හිතට අල්ලන්නෙ නෑ. ඔයි කාටුන් පොත මට ගෙනත් දෙද්දි මට 'අමා ඵලය' කියවා ගන්න බෑ හරියට. මං කිව්වෙ 'අමා එලය' කියලා. අපෙ අප්පුච්චයි අම්මයි ඒ කාලෙම මං ගැන තිබුණු බලාපොරොත්තු අතෑර ගත්තා මයෙ හිතේ.

    ReplyDelete
  4. අනේ ඒ කිව්වේ ඔබත් මගේ වර්ගයේමයි. අඩු තරමේ අපේ අම්මා මගේ විභාග ප්‍රථිපලයක් වත් විස්වාස කලේ නැ.. ඒ උනාට අද ඒ අය තරම් ඔබ ගැන වෙන කවුරු සතුටුවෙන්න ද... ඔබ පුංචි කතන්දර පැන්චියෙක් :)

    ReplyDelete
    Replies
    1. මෑත කාලේ කට කැඩිච්ච කමෙන්ට් එකක් දාල ආතල් එකක් ගන්ඩ බ්ලොග් එකක් එකතු උනේ නැ , මෙහෙමට හරි වෙනස් විදිහක් හරි තියෙන්නේ බොලා දෙන්නගේ විතරයි ....පුලුවං කාලයක් ලියහල්ලා

      Delete
  5. අටම්පහුර යාළුවාගෙන් තමයි තොරතුර ලැබුණේ. ඔන්න සින්ඩියටත් බ්ලොග් එක දාගත්තා. මගෙන් සුබපැතුම, දිගටම ඉයන්න.

    ReplyDelete
  6. ආවාට සහ කොමෙන්ටුවට ඉස්තූතියි.

    ReplyDelete
  7. 8Mරාෆ්ට් තුමා ඉස්සර පෝස්ට් එකක කිව්ව වගේ මට කමෙන්ට් කරන්නම හිතෙන බ්ලොග් එකක්.
    ඔබ මිතොලොජි ෆෑන් කෙනෙක් නිසා ඉන්දු යුරෝපීය ආර්යන් මිතොලොජීස් ( ග්‍රීක් හා හින්දු ) අතර සමානකම් දන්නව ඇතිනෙ.
    ඒවායෙන් වෙනස් චීන මිත්‍යාවල ( මං ඒවා ගැන කියවල නෑ ) ඔය වානර කතා හා හින්දු වානර කතා අතර සමානකම් තියනවද

    ReplyDelete
    Replies
    1. අනිවා තියනවා.හනුමාන් සහ රජ වානරගේ ගොඩක් සමානකම් තියනවාලු. නමුත් සිද්ධි ඇසුරෙන් සංසංදනාත්මකව ලියන්න තරම් මං මම හින්දු මිතලොජි වල ලොකු ෆෑන් කෙනෙක් නම් නෙවෙයි. මිතලොජි ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් තමයි හිපියාගේ ජර්නලය කරන පැතුම් පුංචිහේවා. මගෙ පෝස්ටුව කියෝලා එයා මට එයා ලියපු ලින්කුවක් එව්වා. මට වඩා අපූරුවට ලියා තියෙනවා අර මූණුපොතේ පොත් කියවන අයගේ පේජ් එකට. හිටින්කො මං ඒ ලින්කුව මෙතන දාඤ්ඤං.

      Delete
  8. ආ මෙන්න මේක තමයි ලින්කුව. වැඩ කරන්නෙ නැතිනම් කියන්ට, කොපි පේස්ට් පාරක් දාන්නම්.
    https://www.facebook.com/groups/sinhalareaders/permalink/724259657650204/?hc_location=ufi

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. බලන්නම්.
      ඒත් ඔබ මිතොලොජි (හා අනිත් දේ) දිගටම ලියයි කියල බලාපොරොත්තුවෙනව

      Delete