Mar 9, 2016

කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් සහ අසික්කිතකම අපේකම කරගත් නොදන්නෝ බුදුන්

මිනිසා සංස්කෘතික සත්වයෙකි. අන් බොහෝ සතුන් ජෛවීය ලෙස හිමිකරගත් හැකියාවන්ගෙන් තම ක්‍රියාකාරකම් මෙහෙයවා ගන්නා අතර මනුෂ්‍යයා ජෛවීය ලෙස හිමිවූ හැකියාවන්ට අමතරව සංස්කෘතිකව උරැම කරගන්නා දැනුම මගින්ද තම ක්‍රියාකාරකම් මෙහෙයවා ගනී. මෙය මනුෂ්‍යයා සතු සුවිශේෂී හැකියාවකි. මෙම දැනුම ජෛවීය ලෙස තවත් සත්වයෙකුට උරැම කරදිය නොහැක. සංස්කෘතික දැනුම නිර්මාණය හා පවත්වාගෙන යාම සාමූහික කාර්‍යයකි. ඒ සඳහා උපකාරවන්නේ සංඥාවන්ය.( බුදු දහමේ සංඥා ස්කංධය ලෙස හදුන්වා ඇත්තේද මෙයයි.) මෙම සියලු සංඥා භාෂාමය නොවූවත් භාෂා සංඥාවන්ද මිනිසාට ඉතාම වැදගත්ය. මිනිසා සංකල්ප නිර්මාණය කරගන්නේ මේ සංඥාවන් වටාය. උප්පත්තියේදී ළදරැවා දන්නා සංඥාව හැඬීම පමනක් විය හැකි වුවත් අනෙකුත් සියලු සංඥා සහ  සංස්කෘතික දැනුම පසුව හිමි කර ගන්නා හැකියාවකි. දරැවන්  සංස්කෘතික දැනුම විධිමත් ලෙස ලබා ගැනීම ආරම්භ කරන්නේ භාෂා ලෝකයට ඇතුල් වූ පසුවයි. තම පවුල තුලින් දරැවන් මුලින් ලබන මේ හිමිකම පසුව පාසල, අධ්‍යයාපන ආයතන, සමාජය තුලින්  වැඩි දියුනු කර ගනී. 

දරැවා හිමි කරගන්නා මේ දැනුමෙහි ස්වභාවය කුමක්ද? මේ දැනුම සංයුක්ත සංකල්පද? වියුක්ත සංකල්පද? විශේෂීකරනය වූ සංකල්පද? සාධාරනීකරනය වූ සංකල්පද? බල්ලෙකු මස් කට්ටක් දැක එය යම් සංඥාවක් හෝ සංකල්පයක් ලෙස දැන ගැනීම සහ සංස්කෘතික මනුෂ්‍යයයෙකු දැනුම ඇතිකර ගන්නේ එකම ආකාරයටමද? දරැවන් හෝඩි පොතේ 'අ' යන්න නැමැති භාෂා සංඥාව දැන ගන්නේ 'අලියා' ලෙස දක්වා ඇති රෑපය ඇසින් දැකීමෙනි. මේ අලියා සංයුක්ත සංකල්පයක්ද? වියුක්ත සංකල්පයක්ද?  මෙය ඇස නම් වූ ඉන්ද්‍රිය ඇසුරෙන් සකස් කරගන්නා  සංකල්පයක් නිසා සංයුක්ත සංකල්පයක් වෙයිද? සැබැවින්ම මේ අලියා 'අලි' ගැන සාධාරනීකරන ලද  රෑපයකි. සංස්කෘතික මිනිසා  දැනුම උරැම කරගන්නේ  සාධාරනීකරනය කරන ලද සංකල්ප  ඔස්සේය. සමහර සංකල්ප හෝ සංඥා පිලිබඳ දැනුම අත්දැකීමෙන් දැනගන්නවාද විය හැක. නමුත් මෙහිදී වෙනස් විය හැක්කේ ඔහු කොතෙක් දුරට සංස්කෘතික, ශික්ෂිත මනුෂ්‍යයෙකු වන්නේද නොවන්නේද යන්න මතයි.

මිනිසාගේ ඇති මතකයේ ඇති වැදගත්කම මෙයයි. ( මතකය ඇත්තේ මොලයේද, මනසේ දැයි මෙතැනට අදාල නැත) මිනිසා ඉන්ද්‍රිය ඇසුරෙන් ලබන  දැනුම  මතකයේ රැස්කර ගනී. ඉන්ද්‍රියන්ට ගෝචරවන  රෑප ලක්ෂණයක් යම් සංඥාවක්, සංකල්පයක් ලෙස හඳුනාගනු ලබන්නේ මතකයේ රැස්කරගෙන ඇති ලක්ෂණ හා සැසැඳීමෙනි. ඇස ගැටෙන අලියෙකු 'අලියෙකු' ලෙස හඳුනා ගතහැකි වන්නේ හෝඩි පොතේ දුටු අලින්ගේ සාධාරනීකරනය කරන ලද ලක්ෂණ අැස ගැටෙන ලක්ෂණ හා සැසඳීමෙනි. විශේෂීකරනය කරන ලද, ඊනියා සංයුක්ත සංකල්ප හඳුනාගැනීමේ හැකියාව ලැබෙන්නේද සාධාරණීකරනය කරන ලද වියුක්ත ලක්ෂණ හා සැසඳිම ඔස්සේමය. වර්ණය විශේෂී වූ, සංඥාවන් පමනක් විය හැකි නම් සමාජයෙහි කොතරම් වියවුලක් ඇති විය හැකිදැයි මදක් සිතා බලන්න.  

"බටහිර විද්‍යාවෙහි ඇත්තේ වෙනත් ආකාරයක දැනුමකි. එහි දී අපට පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඇත. මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පළමුවෙන් ම බටහිර විද්‍යාඥයන් විසින් සාධාරණීකරණයට ලක්‌ කෙරෙයි. සාධාරණීකරණය වූ දැනුම වියුක්‌ත දැනුමකි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. කිසිවකුට යම් කරුණක්‌ සම්බන්ධයෙන් සියලු නිරීක්‌ෂණ කළ නො හැකි ය. සියලු බටහිර විද්‍යාඥයන් එකතු වුවත් ඒ කළ හැකි නො වේ. සියලු කපුටන් නිරීක්‌ෂණය කර ඔවුන් ගේ පාට පිළිබඳ යමක්‌ කිව නො හැකි ය. බටහිර විද්‍යාඥයන් කරන්නේ නිරීක්‌ෂණ කිහිපයකින් සියලු කපුටන් කළු පාට යෑයි උද්ගමනය කිරීම ය. එය වියුක්‌ත ය. සියලු කපුටන් යන්න ම වියුක්‌ත සංකල්පයකි. ඒ මනසෙන් (සිතෙන්) මවාගත නො හැකි ය" මේ නලින්ද සිල්වා මහතා 11/03/2015 දින විදුසර පුවත්පතෙහි දක්වා ඇති අදහසකි. 

ආසනික් 'වස' බව නලින්ද සිල්වා මහතා දන්නේ වීශේෂීකරනය කරන ලද සංයුක්ත සංකල්ප ඇසුරෙන්ද? සාධාරනීකරනය කරන ලද වියුක්ත සංකල්ප ඇසුරෙන්ද? ආසනික් වස බව සංයුක්ත සංකල්ප ඇසුරෙන් දැනගන්නා අයෙකුට එම දැනුම තවෙකෙකුට හිමිකර දීමට නොහැක. ඒ ඔහු මිය යන බැවිනි. එය දකින අයෙකු ආසනික් කෑවොත් මිය යා හැකි බවට 'ආසනික්' ගැන අනුමානයක්, සාධාරනීකරනය කරන ලද දැනුමක් ඇතිකරගත හැක. මේ දැනුම තවෙකකුට සංනිවේදනය කිරීමටද හැක. රජරට ගොවීන් මියයන්නේ ආසනික් නිසා යැයි නලින් මහතා පවසන්නේද මේ සාධාරණීකරනය කරන ලද දැනුම ඇසුරෙන් මිස රජරට වැව්වල ආසනික් ඇතිබව පංචේන්ද්‍රිය හරහා ඇතිකර ගන්නා සංයුක්ත සංකල්ප හරහා නොවේ. සියලු කපුටන් නිරීක්ෂණය නොකර කපුටන් කලු පාටයැයි පැවසීම නොකලයුතු දෙයක් නම්  ආසනික් වස බව පිලිගැනීමට  සියල්ලන්ම ආසනික් මගින් මිය යන තුරැ බලා සිටිය යුතුද ? දැනුම මෙසේ සංයුක්ත, වියුක්ත ලෙස බෙදා ගැනීමේ විහිලුව පමනට වඩා දුරගොස් ඇතිබව මගේ හැඟීමයි. 

" ප්‍රත්‍යක්‌ෂවල දී සංකල්ප යොදා ගැනෙයි. එහෙත් ඉන් ඔබ්බට යන දැනුමක්‌ නැත. ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම එසේ නො වේ. ඒ උපකල්පනය, එසේත් නැති නම් හිතළු ය. එසේත් නැත්නම් ඉතිහාසය වැනි දැනුමකි. ඒ දැනුම් ඇතැම් විට මනසෙන් (සිතෙන්) මවාගත හැකි ය. තවත් දේ හිතෙන් වත් මවාගත නො හැකි ය" මේ නලින්ද සිල්වා මහතා 11/03/2015 දින විදුසර පුවත්පතෙහිම දක්වා ඇති තවත් අදහසකි. 

ඉතිහාසය වැනි දැනුම පමනක් නොව සංස්කෘතික මිනිසෙකු සතු සියලු සංඥා සහ සංකල්ප සාධාරනීකරනය කල සංඥා ඔස්සේ සකස් කරගත් දැනුමකි. මේ දැනුම වසර දහස් ගණනක් තිස්සේ විවිධ පුද්ගලයන් අතින් සාධාරණීකරනය වූ දැනුමකි. යම් යම් ක්ෂේත්‍රයන් හෝ සංස්කෘතීන්  තුල ලබන ඉගෙනීම යනු සාධාරනීකරනය කරන ලද සංකල්ප ඔස්සේ ලබන ශික්ෂනයයි. සංගීතය, කලාව, විද්‍යයාව, ආගම වැනි ඕනෑම දැනුම් ක්ෂේත්‍රයක තිබිය යුතු හැදෑරීම, අධ්‍යයනය හෝ ශික්ෂනය මෙයයි. යම් සංකෘතියක හෝ ක්ෂේත්‍රයක  සාධාරනීකරණය කරන ලද සංඥා හෝ සංකල්ප වටහා නොගෙන  අවබෝධ කර ගත නොහැකි වන්නේ මේ නිසයි.  බුදු දහමේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් දක්වා ඇත්තේද මේ ආකාරයේම ශික්ෂනයකි. (නිවන ශික්ෂණයක් නොවේ)

කිෂානි ජයසිංහ නම් වූ ගායිකාව 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපරා ශෛලියෙන් ගැයීම ගැරහීමට ලක්වන්නේ එම සංගීත ශික්ෂණය අප සතු නොවීමයි. ගැටලුව වන්නේ එවැනි වෙනත් සංස්කෘතියක ශික්ෂිත බවක් අපට නොතිබීම ගැන නොවේ. 'අ ශික්ෂිතකම' අපේකම ලෙස උත්කර්ශයට නැංවීමටත්, සාමාන්‍යය සිංහල සංස්කෘතිය ලෙස සාධාරනීකරනය කිරීමට සමහරැන් ගන්නා සර්වබලධාරී උත්සාහය පිලිබඳවත්ය.

විද්‍යයාව පිලිබඳ කතාකල පමනින් කෙනෙකු විද්‍යඥයෙකු නොවන ලෙසටම සංගීතය ගැන කතාකල පමනින් කෙනෙකු සංගීතඥයෙකු වන්නේද නැත.නමුත්  අපේ යැයි කිවහැකි සංගීත ක්ෂේත්‍රයේ හතර මායිම් දන්නා අයෙකුට ස්වර පහක් තුලින් ලැබිය හැකි ශික්ෂණයේ ප්‍රමානය සැඟවිය යුතු දෙයක් නොවේ. සංගීතය නම් වූ ක්ෂේත්‍රයේ අප ශික්ෂණයේ ඇති දුප්පත්කම වචන ගැට ගැසීම තරම් පහසුවෙන් ලැබිය හැකි ශික්ෂණයක් නොවේ. මහා සම්පුදායන් ඇසුරෙන් ලැබිය යුතු ශික්ෂණය මග හැරැනු අප වැනි සංස්කෘතීන්වලට එවැනි මහා ශික්ෂණයක ඇසුරෙන් තොරව සංස්කෘතික මිනිසෙකු මිනිසෙකු බිහිකර ගතහැකියැයි සිතීමනම් මහා මුලාවකි. 

මතක තබා ගත යුත්තේ අපට මගහැරීගොස් ඇත්තේ සංගීත ක්ෂේත්‍රයේ ලැබිය යුතු ශික්ෂණය පමනක්ම නොවන බවයි. සංගීතය යනු මේ පිලිබඳව අපට ඇති හොඳම නිදසුන පමනි. කලාවේ, විද්‍යයාවේ පමනක් නොව ආර්ථික හෝ වානිජ ක්ෂේත්‍රයේ මෙන්ම ආගම හරහා ලැබිය යුතු ශික්ෂණය පවා අප අහිමි කරගෙන ඇත. නූතන විද්‍යයාවෙහි ප්‍රමානික බුද්ධිමතුන් බිහි නොවන්නේ නම් එයට හේතුවද මෙයමය.

වර්ථමානයේ රටේ සියලු ක්ෂේත්‍රවල පවතින බිඳවැටීමට හේතුවද මේ ශික්ෂණයේ පවතින දුබලතාවයයි. කුලියාපිටිය දරැවාගේ සිදුවීමෙන් පෙන්නුම් කරන ලද්දේද මේ නොහික්මුනුකම අපේකම කරගත් අභිමානයේ තරමයි. පසුගිය යුගයේ අප විසින් අත්දකින ලද්දේ මේ අ ශික්ෂිත පිරිස අතට දේශපාලන බලය ලැබීමේ බිහිසුනු ආනිසංසයන්ය. එය රාජපක්ෂලාගේ නොහික්මුනුකම නිසා සිදුවූවක් පමනක් නොව සිංහල බෞද්ධකම ලෙස සංකල්පගත කල මතවාදයේ පවතින විකෘතියයි. ගුණදාස අමරසේකර මහතා උගත් ගැමි තරැණයන් අතට දේශපාලන බලය ලබාගැනීමට සිහින දකින්නට ඇතත් නලින්ද සිල්වා මහතා බලය හිමිකර දීමට උරදී  ඇත්තේ නොහික්මුනු අශික්ෂිත පිරිසක් අතටය.

මේ රටේ සිංහලයාත්, බෞද්ධයාත් තරම් වංචාවට, රැවටීමට ලක්වූ වෙනත් ජන කොටසක් නැත.  ඔවුන්ව රවටන ලද්දේ අන්‍යය ජාතිකයින් නොව සිංහලකමත්, බෞද්ධ කමත් රැක ගන්නන් ලෙස පෙනී සිටින බලකාමී පිරිසමය. එදා  නිදහස් අධ්‍යාපනයේ හිමිකමට විරැද්ධ වූවන්ගේ සිට අද දක්වාම සිටින්නේ මෙවැනි පිරිස්ය. එදා පොල් කඩන්නට පිරිස නැතිවෙයැයි බියෙන් අධ්‍යාපනයේ ශික්ෂනයට එලිපිටම විරැද්දවූ පිරිස අද ජනතාවගේ ශික්ෂණයට ඇති හිමිකමට එරෙහි වන්නේ අලංකාර වචන, සංඥා  පසුපස සැඟවෙමිනි.