Sunday, May 15, 2016

සුබාරු මවු සමාගමේ නම වෙනස්වෙයි



සුබාරු කියන්නේ අපි කවුරුත් දන්න කාර් බ්‍රෑන්ඩ් එකක්. නමුත් සුබාරු කාර් හදන මවු සමාගමේ නම ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් (Fuji Heavy Industries) බව දන්නේ බොහොම ටික දෙනයි. හැබැයි දැන් ඒ දැනුම වැඩකට නැති දැනුමක් වේවි. මොකද ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ නම සුබාරු කෝපරේෂන් (Subaru Corp.) කියලා වෙනස් කරන්න සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා තියනවා.



මේ ආරංචිය අපි බොහෝ දෙනෙක් දැනගත්තේ පහුගිය 12 වෙනිදා (2016 මැයි 12). පහුගිය අවුරුදු කිහිපය තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේදී වාර්තාගත අලෙවියක් වාර්තා කරන්න සුබාරු සමත් වෙලා තියනවා. 2017 මාර්තු මාසය වෙද්දී මේ මූල්‍ය වර්ෂයේ සමස්ත අලෙවිය මිලියනය පහුකරාවි කියලා තමයි දැනට අනාවැකි පළවෙලා තියෙන්නේ. සමාගමේ 4 වෙනි කාර්තුවේ ශුද්ධ ආදායම කලින් වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව 38% කින් වැඩිවෙලා තියන බව ඔටෝ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළා.

මේ විදිහට නම වෙනස් කරන්න තීරණය කිරීම බොහොම සුවිශේෂී තීරණයක්. මොකද මෙච්චර කල් ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම කාර් නිෂ්පාදනය තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත විදිහට සැලකුවේ නැහැ. ඔවුන් ඉස්සර ඉඳන්ම ගුවන් යානා හා හෙලිකොප්ටර් සම්බන්ධ නිෂ්පාදන නිපදවපු සමාගමක්. නමුත් මේ විදිහට මෝටර් වාහන අලෙවිය වැඩිවීම සහ නම වෙනස් කිරීමත් එක්ක මෝටර් රථ නිෂ්පාදනය තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරය බවට පත්වෙන බව සමාගම නිවේදනය කර තියෙනවා.

ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමට මුල්වුණු ව්‍යාපාරය මුලින්ම ආරම්භ වුණේ 1915 දී ගුවන්යානා පර්යේෂණ විද්‍යාගාරයක් විදිහට Chikuhei Nakajima ගේ ප්‍රධානත්වයෙනුයි. 1932 දී ඒක නකජිමා ගුවන් යානා සමාගම (Nakajima Aircraft Company Ltd) විදිහට ප්‍රතිසංවිධානය කෙරුණා. මේක දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානය වෙනුවෙන් ගුවන් යානා නිපදවපු ප්‍රධානම සමාගමක්. නමුත් ලෝක යුද්ධෙන් පස්සේ ජපානෙට ගුවන් යානා හදන්න අවසර ලැබුණේ නැහැ. ඒ නිසා සමාගම ෆූජි සැංග්යෝ සමාගම (Fuji Sangyo Co. Ltd) විදිහට වෙනස් වෙලා ෆුජි රැබිට් ස්කූටර් එක හදන්න පටන් ගත්තා.



1950 ජපන් රජය ක්‍රියාත්මක කරපු ආයතනික ණය ප්‍රතිසංවිධාන පනත නිසා මේ සමාගම ආයෙත් වෙනවෙනම කොටස් 12 කට කැඩුණා. ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් ආරම්භ වුණේ 1953-1955 කාලයේදී මෙයින් සමාගම් 5 ක් එකතුවෙලයි. මේ සමාගම් 5 සහ ඒවා එකතු කරගත්තු ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම නිරූපණය කරන්න තමයි සුබාරු ලාංඡනයේ තරු 6 ක් දක්වලා තියෙන්නේ. මේ ලාංචනය පරිණාමය වුණු හැටි මේ පහළ තියෙන රූපයෙන් දැක්වෙනවා.




මේ සමාගම 1954 දී මුලින්ම සුබාරු 1500 කියන කාර් එක හඳුන්වලා දුන්නා.




1958 දී තමයි සුබාරු 360 කියන කාර් එක ආවේ. මේ කාර් එක ඇමරිකාවටත් ආවා. නමුත් ඒතරම් සාර්ථක වුණේ නැහැ.


මෙහෙම ගමනක් ඇවිල්ලා තමයි ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් අද වෙනකොට WRX වගේ වාහන හදන සමාගමක් බවට සහ මේ තරම් ලාභ ලබන සමාගමක් බවට පත්වෙලා තියෙන්නේ. ඉතින් මේ තරම් සංකීර්ණ ඉතිහාසයක් තියෙද්දී නම වෙනස් කරනවා කියන එකත් ටිකක් සංකීර්ණ තීරණයක් තමයි. මේ සංකීර්ණ තීරණයත් එක්ක වෙන වෙනස්කම් මොනවාද කියලා සුබාරු ෆෑන්ස්ලා බලාගෙන ඉන්නවා.


4 comments:

  1. ලංකාවේ බොහොම ජනප්‍රිය රොබින් වතුරපොම්ප එන්ජිමත් මේ අයගේ නිපයුමක්.

    ReplyDelete
    Replies
    1. හොඳ පොයින්ට් එකක්. බොහොම ස්තුතියි...

      Delete
  2. Man gawa thiyanawa robin jenarator akak. Ake engine aka hadala thiyenneth subharuda

    ReplyDelete
  3. ලොකු පුතාටත් තියෙන්නේ සුබරු එකක්

    ReplyDelete