Wednesday, May 25, 2016

Mahindra e2o- කැතට අලුත් අරුතක්




ඔබ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කාර් ගැන ටිකක් විතර උනන්දු කෙනෙක් නම් Reva හෝ G-Wiz කියන නම් අහලා ඇති. 2009 අවුරුද්ද වෙනකල්ම සමස්තයක් විදිහටම අලෙවි වුණු ඔක්කොම මාදිලි එකතු කළාම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන ඉලෙක්ට්‍රික් කාර් එක (මේක ඇත්තටම යුරෝපයේ සහ ඇමරිකාවේ  'කාර්' කියන කැටගරියට වැටුණේ නැහැ) විදිහට තිබුණේ මේ Reva කාර් එකයි. 2001 සහ 2012 අතර මේ කාර් 4,600 ක් විතර ලෝකේ පුරා විකිණිලා තියනවා. 

ඔන්න දැන් G-Wiz එක Mahindra e2o විදිහට ආයෙත් මතුවෙලා. මේක ඉලෙක්ට්‍රික් කාර්වලට කැමති අයට හොඳ ආරංචියක් වගේම ඉලෙක්ට්‍රික් කාර් වලට අකමැති අයට බකස් ගාලා හිනා යන ආරංචියක්.  හැබැයි මේක අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේක ඉන්දියාවට හඳුන්වලා දුන්නේ 2013 දී.

මේ ඊ-ටූ-සීරෝ නෙමෙයි; ඊ-ටූ-ඕ. රේවා ඉලෙක්ට්‍රික් කාර් සමාගම නිර්මාණය කළේ චේතන් මයිනි කියන ඉන්දියානු ජාතිකයා. 2010 දී මහින්ද්‍රා සමාගම ඒ සමාගමේ 55.2% කොටස් මිලදීගත්තා. සමාගම 'මහින්ද්‍රා රේවා ඉලෙක්ට්‍රික් කාර් පුද්ගලික සමාගම' විදිහට නම්කෙරුණේ ඊට පස්සේ. 

Reva එක බ්‍රිතාන්‍යයේ අලෙවි කෙරුණේ G-Wiz කියන නමින්. මේක ඒ රටවල හයිවේ එකේ දුවන්න පුළුවන් වාහනයක් විදිහට සැලකුණේ නැහැ. ඇමරිකාවේදී මේක අයිති වුණේ Neighborhood Electric Vehicle (NEV) කියන කාණ්ඩෙට. යුරෝපයේ මේක Quadricycle කියන කාණ්ඩෙට අයිති වුණා. මේ නිසා සාමාන්‍යයෙන් කාර් වලට අදාළ වෙන සුරක්ෂිතතා පරීක්ෂණ Safety tests මේකට අදාළ වුණේ නැහැ. G-Wiz එකට තිබුණු ලොකුම විවේචනයක් තමයි ඒක. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයේ කැපීපෙනෙන විද්‍යාඥවරියක් වුණු ජූඩිත් නඩාල් 2011 වසරේදී තමන්ගේ G-Wiz රථය පදවාගෙන යද්දී ස්කෝඩා ඔක්ටාවියා කාර් එකක හැප්පිලා එතනම මියගියා. අනතුර පරීක්ෂා කරපු රසපරීක්ෂකවරයා කිව්වේ අනතුරකින් මේ තරම් දරුණු විදිහට වාහනයක් විනාස වෙලා තියෙනවා දැක්කේ පළවෙනි වතාවට කියලයි. 


                                                    (ඡායාරූපය ගත්තේ ඩේලිමේල් එකෙන්) 

මේ පසුබිම් කතා සේරම කිව්වේ ඇත්තටම G-Wiz එකක් ආපහු එනවා කියපු වෙලාවේ දැනිච්ච කම්පනය තාමත් හිතේ තියන නිසයි. මොකද මහින්ද්‍රා දැනට අපේ රටේ වෙළඳපොළට පිවිසිලා ඉන්න විදිහට ඕක මෙහාටත් ලොකුවට එන්න පුළුවන්. දැනටත් මහින්ද්‍රා වාහන ගෙන්නන අයිඩියල් මෝටර්ස් එකේ වෙබ් එකට ගියොත් ඔයාලට මේක දැකගන්න පුළුවන් (http://www.idealgreentech.lk/transportation/sri-lanka-electric-cars/) . 

හැබැයි මෙහෙමයි. කාර් එක දැන් ගොඩක් වෙනස් වෙලා. දැන් ඒකෙ තියෙන්නේ කිලෝවොට් 31 මෝටරයක්. එකෙන් 41bhp පවර් එකක් සහ 67lb.ft ටෝක් එකක් දෙනවා. වාහනේ ප්ලාස්ටික් කන්දරාව සැහැල්ලු වුණාට බැටරි පැක් එක බර නිසා වාහනේ බර කිලෝ 945 ක් වෙලා. මේ ඔක්කොම එක්ක 0-60 වෙලාවක් කියන්න බැහැලු. ඉතින් එයාලා 0-25 වෙලාවක් කියනවා. ඒකටත් තප්පර 4.9 ක් යනවලු.එක පාරක් චාජ් කළාම කිලෝමීටර 126 ක් විතර යන්න පුළුවන්. ඊට අමතරව හදිස්සියකට රිසව් එකේ කිලෝමීටර 12 ක් විතර යන්නත් පුළුවන් වෙනවා. වාහනේ 80% ක් චාජ් වෙන්න යන්නේ පැයක විතර කාලයක්. Visibility එකත් නරක නෑලු.

ඒ වගේම වාහනේ පදවලා බලපු අය කියනවා දැන් සැපපහසුව නම් ටිකක් හොඳයි කියලා. වාහනේ ළඟ හරවන්න පුළුවන් නිසා ටවුන් වල පාවිච්චි කරන්නත් හොඳයි ලු. සස්පෙන්ෂනුත් හොඳයි කියල තමයි කියන්නේ. හැබැයි හුළඟකට අහුවුණොත් එහෙම ඇතුළේ ඉන්න අයගේ ලේ වතුර වෙන්න ඉඩ තියනවා. 



හැබැයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ දැනට මේ වාහනේ එංගලන්තෙත් ටිකක් ගණන් එකයි. එංගලන්තේ මේක විකුණන්නේ පවුම් 12,995 ඉඳන් ඉහලට ලු. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් ලක්ෂ විසි අටකට කිට්ටුයි. මේ ගාන එන්නේ රජයෙන් ඉලෙක්ට්‍රික් වාහනවලට දෙන සහන එහෙමත් අඩුවුණාට පස්සේ. ඉන්දියාවේ 2013 දී මේක ආවේ ඉන්දියානු රුපියල් ලක්ෂ 6 කට. ඒ ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත රජයෙන් දෙන 29% ක සහනයටත් පස්සේ. හිනාවෙන්නද අඬන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.

Mahindra e2o කියන්නේ කැතම කැත වාහනයක්. ඒකෙ ආයේ දෙකක් නැහැ. හැබැයි මෙහෙමයි. ටොයෝටා ප්‍රියස් කියන්නෙත් කැතම කැත වාහනයක් තමයි. ඒත් අපේ රටේ වගේම ලෝකේ පුරා මිනිස්සු ඒක පොර කකා ගන්නේ නැද්ද? ප්‍රියස් එක වගේ නම් e2o එක මාකට් වෙන එකක් නැහැ. හැබැයි හෙට වෙන දේවල් අපට අද කියන්න බැහැ. මාකට් එක මඤ්ඤං වෙන්නේ අපි කවුරුවත් හිතන විදිහට නෙමෙයි!


15 comments:

  1. මේක කැත නැ ලස්සනයි නේ

    ReplyDelete
    Replies
    1. වාහනවල ලස්සන කැත අර්ථවත් වෙන්නේ ටිකක් පුළුල් සන්දර්භයක. උදාහරණයක් විදිහට කිව්වොත් ලාංකිකයෝ තාමත් හිතනවා ප්‍රියස් එක ලස්සනයි කියලා. නමුත් ලෝකේ පුරාම ඉලෙක්ට්‍රික් වාහන සහ ප්‍රියස් මාකට් එක හිරවෙලා තියෙන්නේ මේවා කැත නිසයි. මේ කැත චෝදනාව හැමදාමත් රේවා සහ G-Wiz වලට තිබුණා. මේක දැන් ඩබල් වෙලා, මොකද දැන් මේ මාකට් එකට Tesla අතගහලා තියන නිසා. Tesla ගැන ළඟදීම පෝස්ට් එකක් දන්නා බලාපොරොත්තු වෙනවා. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
    2. දෙය්යනේ Toyota ප්‍රියස් එක කොච්චර ලස්සනද? නිකමට 2016 එක බලන්න, මට කියන්න පුලුවන්ද Prius එක කැතයි කියන නිර්ණායක මොනවද කියලා.

      Delete
    3. හහා... මම හිතුවා මේක තරමක විවාදයකට පොටක් වේවි කියලා. සංස්කෘතිය කියන්නේ logical දෙයක් නෙවෙයි, කාර් සංස්කෘතියත් එහෙමයි. අලුත් ප්‍රියස් එක හරියටම කියනවා නම් පරණ ප්‍රියස් එකකට පොරොවෙන් ගැහුවා වගේ කියලයි මට දැක්ක දවසෙම හිතුනෙ. මේක මේ වෙනකොට ලෝකේ පුරාම අයට හිතිලා තියනවා. නිකමට වගේ ආරම්භයක් හැටියට මේ ලින්ක් එක බලන්න. http://www.motoringbox.com/cars/car-news/toyotas-hideous-new-prius/

      Delete
    4. ප්‍රියස් කොහොම වෙතත් නිසාන් ලීෆ් එකනං මහ මඤ්ඤං පෙනුමක් තියෙන එකක්.

      Delete
    5. ඒක වෙනස් කියලා පෙන්නන්න ගිහින් weird වෙච්ච එකක්.

      Delete
    6. මට නම් 2005න් වගේ මෙහා ආපු වාහන ඔක්කොම කැතයි

      Delete
  2. ඔන්න මම මේකෙ තුන්වෙනි මෙම්බර් වුනා. බ්ලොග් රෝලෙත් එල්ලගන්න යන්නේ. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සහයෝගය ගොඩක් වටිනවා...

      Delete
  3. ඔය වාහනවලට නම් දාන්නේ කොහමද? නම් නිර්මාණය වෙන්නේ කොහොමද? අදහසක් තියෙනවා නම් ලියන්නකො.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. මම ඒ ගැන ලියන්නම් ළඟදීම...

      Delete
  4. ඔබේ බ්ලොග් එක රෝලෙ එල්ලගත්තා.. බොහොම ස්තූතියි.. බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය රටක් වටිනවා. බොහොම ස්තුතියි...!

      Delete
  5. ඇයි යකෝ මට මේක මිස් උනේ

    ReplyDelete
    Replies
    1. මේක මම වැඩිය ප්‍රමෝට් කළෙත් නෑ. ඒක වෙන්නැති. මොනවා වුණත් මේ පැත්තේ ආවට බොහොම ස්තූතියි.

      Delete