Tuesday, June 21, 2016

Ford GT40 හෙවත් කාර් ලෝකේ සබඳ පබිලිස් සීන් එක


අපි කාගේත් යාළුවෝ නෑදෑයෝ අතරේ ඉන්නවා මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරනකල් නින්ද යන්නේ නැති එකෙක්. සාමාන්‍ය පන්තියේ එවුන් අල්ලපු ගෙදර එකාට වලක් කපලා සැනසෙන අතරේ හෙන්රි ෆෝඩ් II (ඔරිජිනල් හෙන්රි ෆෝඩ් ගේ මුණුබුරා සහ එඩ්සල් ෆෝඩ් ගේ පුතා)  වගේ දැවැන්ත හාදයෝ කරන්නේ එන්සෝ ෆෙරාරි වගේ දැවැන්තයන්ට වල කපලා සැනසෙන එකයි. 

දැන් මම මෙහෙම කියපු ගමන් ෆෝඩ් ෆෑන්ස් ලා ගේ දත්සෙට් එකට කටකට ගාලා එකට වදිනවා මට ඇහෙනවා. කරන්න දෙයක් නෑ බ්‍රෝ. GT40 සීන් එක එහෙම ගෞරවණීය සීන් එකක් නෙමෙයි. ඒක ඔය සමහර කට්ටිය ආතල් එකට කිව්වට ධනපති පන්තියට එරෙහිව වැඩකරන පන්තියේ ජයග්‍රහණයකුත් නෙමෙයි. ෆෝඩ් වැඩකරන පන්තියේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ සමාන්තර විශ්වයක වෙන්න ඕනා. මොඩ්ල් ටී එක ආපු පලියට, මහජනතාවට වාහනයක් හඳුන්වලා දෙන්න පුරෝගාමී වෙච්ච පලියට බ්‍රෑන්ඩ් එකක් වැඩකරන පන්තියේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නෑ. 

වැඩකරන පන්තිය! ... තමා!

හැබැයි එකක්. Ford GT40 කියන්නේ පට්ට කාර් එකක්. ඒක ආයේ ඉතිං ෆෙරාරිට වත් නෑ කියන්න පුළුවන් දෙයක් නෙමෙයි...

හෙන්රි ෆෝඩ් Ford GT40 එක හදන ප්‍රොජෙක්ට් එක පටන්ගත්තේ ෆෙරාරි සමාගම අයිති කරගන්න ගහන්න ගිය ඩීල් එකකට විඩක් කැමති වෙලා හිටපු, ෆෙරාරි සමාගමේ නිර්මාතෘ වුණු එන්සෝ ෆෙරාරි අන්තිම මොහොතේදී විඩක් අකමැති වුණු නිසා. ෆෙරාරි ගේ ජීවිතයයි ආත්මයයි වුණේ racing. එන්සෝ මේ ඩීල් එකට කැමති වුණෙත් රේස් වලට කාර් ඩිවෙලොප් කරන්න සල්ලි හොයන්න කියලා කියනවා. ෆෙරාරි බලාපොරොත්තු වුණේ සාමාන්‍ය රෝඩ් කාර් සම්බන්ධ බිස්නස් එක ෆෝඩ්ලට කරන්න ඉඩ ඇරලා රේසිං වැඩේ එයා කරගෙන යන්න. 

හැබැයි රේසිං වලට ඩොලර් 10,000 කට වැඩිය වියදම් කරනවා නම් Detroit වලින් අහන්න ඕනේ කියලා ෆෝඩ්ලා ගිවිසුමට වගන්තියක් දැම්මා. අන්තිමට අල්ලපු එකයි පයගහපු එකයි දෙකම නැතිවෙන බව එන්සෝ දැනගත්තා. 

අන්තිම කටේදී 'විඩක් අකමැතියි' කියලා එන්සෝ කිව්වා. ඩීල් එක එතනින් කෙළවුණා. 

ඉතිං එන්සෝට යන එන මං නැතිකරන එක දෙවෙනි හෙන්රි ෆෝඩ් ලොක්කා තමන්ගේ ජීවන අභිප්‍රාය බවට පත්කරගත්තේ මෙන්න මෙතන ඉඳන්. 



හෙන්රි ෆෝඩ් මිලියන ගාණක් සල්ලි වියදම් කරලා, කැරොල් ෂෙල්බි (ෂෙල්බි ගැන ලියනවා වෙනම ලිපියක් ලියන්න පුළුවන්. මෙයා ලෝකේ ප්‍රසිද්ධම Car designer එකෙන්. රේසිං ලෝකෙත් යෝධයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. ෂෙල්බි මස්ටෑන්ග් එකත් මෙයාගේ වැඩක් තමයි. මෙයා ගැන දන්න අය දන්නවා. නොදන්න අයටයි මේ හැඳින්වීම කළේ) වගේ අයත් එක්කහු කරගෙන, මහා පරිමාණ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා ෆෙරාරි ව සුප්‍රකට Le Mans පැය 24 රේස් එකේදී පරද්දන්න.මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලය තමයි Ford GT40 කාර් එක.

GT40 එක ඉස්සරලාම ගේමට බැස්සේ 1964 දී. හැබැයි 1966 වෙනකල් Le Mans දිනාගන්න එයාලට බැරිවුණා. මේ කතාවත් වැඩි දෙනෙක් කියන්නේ නැහැ. GT40 එක ඉස්සරලාම Le Mans දින්නේ 1966 දී. එදා මුල් ස්ථාන ඔක්කොම ටික දිනාගන්න GT40 එකට පුළුවන් වුණා. 

එදා ඉඳන් පිටපිට අවුරුදු 4 ක් GT40 එක ෆෙරාරිව පැරැද්දුවා. 



1980 ට පස්සේ ෆෝඩ් Le Mans බැස්සේ නැහැ කියලයි The Detroit News වාර්තා කරන්නේ. නමුත් 2004 දී ෆෝඩ් සමාගම ඔරිජිනල් GT40 එක සැමරීමක් විදිහට අලුත් Ford GT version එකක් හඳුන්වලා දුන්නා. මේක ඔරිජිනල් කාර් එකට වඩා අඟල් 3 ක් විතර උසයි. හැබැයි අවංකවම පිළිගන්න ඕනේ, ඒක අති විශිෂ්ට ප්‍රතිනිර්මාණයක්! කාර් එක ප්‍රැක්ටිකල් නැති බව ඇත්ත (තෙල් බොනවා, හසුරුවන්න අමාරු තරමට අලි විසාලයි, ගැජට් බැජට් වහා කැඩෙන සුලුයි, etc.). හැබැයි ඒක පිස්සු හැදෙන තරමට ලස්සනයි. 



GT40 එක ගැන ලියන්න හිතුණේ ඊයේ පෙරේදා ආපු අලුත් ආරංචිය නිසා (මේක Ford සමාගම 2015 දී නිවේදනය කරලා තිබුණේ. ඒත් ඉතිං ඕවා වෙනකල් ෂුවර් නෑ නේ. අර ඩීල් එක වගේ!). ඔන්න Ford GT40 එක දශක ගාණකට පස්සේ මේ අවුරුද්දේ ආපහු Le Mans බහිනවා.මේක වෙන්නේ 1966 ලබපු ජයග්‍රහණයට අවුරුදු 50 ක් පිරෙන එක සැමරීමක් විදිහටයි.


දැනට තියන ආරංචියේ හැටියට පළවෙනි වටේදීම (GTE Pro racing class එකේදී) 1, 3 සහ 4 ස්ථාන දිනාගන්න GT40 එක සමත් වෙලාලු. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. 

මම තාමත් හිතන්නේ හෙන්රි ෆෝඩ් කරපු වැඩේ පමණ ඉක්මවා ගිය, උද්දච්ච, මානාධික, අලුගුත්තේරු වැඩක් කියලයි. 

හැබැයි ප්‍රතිඵලේ නම් කොල්ලෝ, සදාකාලිකව අසමසමයි! 

(කාරුණික දැනුම්දීමයි:Ford කියන්නේ සුපිරි කාර් ගොඩක් ලෝකෙට දායාද කරපු සමාගමක්. ඒ නිසා ෆෝඩ් ෆෑන්ස්ලා ෆෝඩ් බ්‍රෑන්ඩ් එක ගැන දක්වන ලාලසාව සම්බන්ධයෙන් මට කිසිම ගැටලුවක් නැහැ. නමුත් එදා මෙදාතුර ෆෝඩ් සමාගම අනිත් අයත් එක්ක ඩීල් කරද්දී අමුතු වැඩ කරපු වාර අනන්තයි. ඒ නිසා මට ගැටලුව තියන්නේ එයාලගේ politics එක්ක. මාව ෂුවර් නැත්නම් නිකමට වගේ Robert Kearns කියලා ගූගල් එකේ සර්ච් කරලා බලන්න).


(https://www.facebook.com/CarPissuwa/)

13 comments:

  1. මම වතාවක් Lee Iacocca ගැන කියෙව්වා. එතකොට තමයි මම හුඟක් දේ ඉගෙනගත්තෙ කාර් පතාකයෝ ගැන. විශේෂයෙන්ම ෆෝර්ඩ් ලා ගැන.

    ReplyDelete
    Replies
    1. නියම දැනුවත් කමෙන්ට් එකක්. මම lacocca ව අමතක කරලා Shelby ව විතරක් මතක් කළේ Shelby ගැන ගොඩක් අය නාමමාත්‍රිකව හරි දන්න නිසා. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
  2. Did you read this about three wheelers? It's hilarious.

    http://yanhella.blogspot.com/2016/06/three-wheeler-1.html

    ReplyDelete
  3. අති විසිස්ටයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිළිණ. හැම තිස්සෙම දෙන සපෝට් එක බොහොම වටිනවා!

      Delete
  4. නියමයි මස්සිනා !! නියමයි …

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පත්තර මල්ලි!

      Delete
  5. නියමයි ඔහොම දිගටම කරගෙන යමු

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට බොහොම ස්තුතියි!

      Delete
  6. මම ආසාවෙන් කියවන බ්ලොග් දෙකක් තමා මේකයි, කාර් පිස්සුවයි, ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... මම තාම මේ විෂයට බොහොම ආදුනිකයෙක්.. මේ බ්ලොග් එකෙන් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා.. මම දන්නේ නැති දේවල් එමටයි කියල මට දැනුනේ මේක කියවද්දී... මමත් ජර්මන් වාහන පිස්සෙක් (BMW විශ්ෂයෙන්).. ඔය ගමන්ම බ්ලොග් එකක් ලියන්න පුලුවන්නම් සැහෙන්න වටිනවා වාහන හදන්න යද්දී කන්න උන කට්ට, ඒවා ගොඩ දැම්මේ කොහොමද වගේ දේවල්.. මාර ආසයි කියවන්න.. සහ සැහෙන්න වැදගත් ඒ වගේ අත්දැකීම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දර්ශන. කාර් පිස්සුවෙ ළඟදීම ඒ ගැන ලිපියක් යාවි.

      Delete
  7. ford gt කියන්නේ නිසාන් gtr එක වගේ වහනයක්.ෆෝර්ඩ් කියන්නේ ටොයෝට,නිසාන් වගේ සමාගමක්.නිසාන් gtr හදනකොට එක සුපිරි පර්ෆොමන්ස්දෙන කාර්එකක් වගේම මිලත්අඩු එකක් වුනා.ෆෝර්ඩ් එකත් එහෙම සුපිරි පර්ෆොර්මන්ස් දෙන සාපේක්ෂව අඩුමිලකට GT එක එව්වේ.එකේ අවුල් තමා ඇමෙරිකන් මසල් වගේ සාමාන්‍ය මැනුවල් ගියර්(සාමාන්‍ය මිනිහෙකුට ලොකු ගැම්මක් තියන වාහනෙක,ලොකු ස්පීඩ්වල මේකේ ගියර් දාන්න බැ.වාහනේ රේස් වලින් පාරට දානකොට ඒවා හිතල බලල දාන්න ඕන),ඉන්ධන පරිබෝජනය අතින් ඉතාම දුර්වල වීම.වාහනේ ගොඩක් පාතයි..එලවන්න බැහැ වහලේ වදිනවා ඔලුව.කාර්පාක්වල,පාර අයිනේ වාහනේ නවත්තල දොරවල් අරින්න බැ(පළල වැඩි.මේවගේ ලොකු ෆෙර්රාරි{ferrari enzo,laferrari},ලැම්බෝගිනි{murcialago,aventardo}දොරවල් උඩට අරින්න{බටර්ෆ්ලයි}ආවේ)තව ලෙඩ එහෙමත් තිබ්බ.මේ ford gt එකක් ටොප්ජියර් එකේ ජෙරමි අරන් විදපුදුක අපි දැක්කනේ.මේකේ අලුත් එක 2015 ආව.වැඩි හිට් එකක් ආවේ නැ.බලමු ඉස්සරහට...අනික ford gt රෝඩ් කාර් මොඩල් කීපයක් ආව.

    ReplyDelete