මකුළුදැල්වලින් සෑදූ වෙඩිනොවදින් ඇඳුම්?


පුදුම වන්නට එපා. මකුළුදැල් කිසිම ශක්තියක් නැති දෙයක් විධියට අප සැළකුවත් සැබවින්ම මකුළුවාගේ දැළ වියන මකුළු සේද (spider silk) ලෝකයේ තියෙන ශක්තිමත්ම ස්වභාවික තන්තු විශේෂයක්. ප්‍රෝටීන තන්තු වර්ගයක් වන මෙහි බර දරාගැනීමේ හැකියාව (tensile strength) ඉහල තත්වයේ මිශ්‍ර වානේ වලට සමානයි කියලා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ශක්තිය හා සසඳන විට ඉතාමත් සැහැල්ලු මෙන්ම සුනම්‍ය මකුළු සේද ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක්. 

මකුළු සේදවල මේ අපූර්ව හැකියාවන් ප්‍රයෝජනයට ගන්නට අමෙරිකානු ආරක්ශක හමුදා සූදානම් වනවා. මකුළුසේද ඉතා ශක්තිමත් මෙන්ම සැහැල්ලු හා සුනම්‍ය නිසා, ඒවායින් සෙබළුන් හට වෙඩි නොවදින කබා නිශ්පාදනය කරන්නට පුලුවන් බව බොහෝ කාලයක් තිස්සේ තහවුරුවෙලා තිබුණත්, ගැටළුවකට තිබුණේ මහා පරිමාණයෙන් මකුළු සේද නිශ්පාදනය කිරීමයි. මකුළුවන් විශාල ප්‍රදේශයක පැතිර සිටීමට කැමති, සංසර්ග ක්‍රියාවලින් පසු ගැහැණු මකුළුවා, පිරිම මකුළුවාව කාදමන සත්ව විශේශයක් නිසා මහා පරිමාණ මකුළු ගොවිපොලවල් පවත්වා ගැනීමට හැකියාවක් නෑ.

ඇමරිකාවේ ක්‍රැයිඩ් බයෝක්‍රාෆ්ට් නම් ජාන ඉන්ජිනේරු සමාගමක් මෑතකදී මෙම ගැටළුවට විසඳුමක් සොයාගත්තා. මකුළුවන් සිය සේද නිශ්පාදනය කරන ජාන හඳුනාගත් මෙම සමාගමේ පර්යේෂකයි, එම ජාන පටපණුවන් වෙත සාර්ථකව බද්ධ කිරීමට සමත්වෙලා තියෙනවා. ඒ අනුව මේ පටපණුවන් මකුළු සේද ශ්‍රාවය කරන අතර එමගින් සිය කෝෂය තනා ගන්නවා.

පටපණුවන් වගා කිරීම වසර දහස්ගණනක සිට සිදුකෙරෙන කර්මාණ්තයක් නිසා මකුළු සේද මහා පරිමාණයෙන් නිශ්පාදනය කිරීමේ හැකියාව මේ සමාගම දැන් ලබාගෙන තිබෙනවා. 

ඒ අනුව මකුළු සේද භාවිතයෙන් වෙඩි නොවදින කබා නිර්මාණය කොට පරික්ශණවලට බඳුන්කර දත්ත ලබාදීම සඳහා අමෙරිකානු යුධ හමුදාව ක්‍රැයිඩ් බයෝක්‍රාෆ්ට් සමාගමට ඩොලර් 100,000ක ප්‍රධානයක් ලබාදී තිබෙනවා. 

දැනට වෙඩිනොවදින කබාවල භාවිතාකරන කෙව්ලාර්වල ඇති ප්‍රධාන දුර්වලතාවය වන්නේ එහි දෘඩබව වන අතර, මකුළු සේද කෙව්ලාර් හා සසඳන විට විශාල වශයෙන් සුනම්‍යවන නිසා යුධ සෙබළුන්ට එම කබා හැඳ සටන්වැදීම පහසුවනු ඇත.









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 


POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments