චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනයෙන් ගිලිහිලාද? පොලොවට කඩාවැටුනොත් ලොකු විනාශයක්!





















චීනය 2011දී කක්ශගතකල ටියන්ගොංග් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතිවූ තාක්ශණික දෝශයක් නිසා එය චීන අභ්‍යවකාශ පාලන මධ්‍යස්ථානයේ පාලනයෙන් ගිලිහී ඇති බව චන්ද්‍රිකා හා අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ගමන්මාර්ග නිරීක්ශණය සිය විනෝදාංශය කරගත් කණ්ඩායමක් පවසනවා. 

Satellite Trackers ලෙස හඳුන්වන මේ පුද්ගලයින්ගේ විනෝදාංශය වන්නේ දුරේක්ශ, චන්ද්‍රිකා ඇන්ටෙනා හා අභ්‍යවකාශ පණිවුඩ හුවමාරුවලට සවන්දෙන රේඩියෝ උපකරණ ආධාරයෙන් පෘථිවි කක්ශයේ ගමන් කරන විශාල චන්ද්‍රිකා, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එයවෙත ගමන් කරන අභ්‍යවකාශ යානා වල ගමන් මාර්ග නිරීක්ශණය කිරීමයි.

මෙම විනෝදාංශයේ නිරතවන බොහෝදෙනෙකු බටහිර විශ්වවිද්‍යාලවල ගගනවිද්‍යා හෝ අභ්‍යවකාශ තාක්ශණය හදාරන සිසුසිසුවියන් වන අතර අනෙක් අය විවිධ ගගනවිද්‍යා තාක්ශණ සමාගම්වල හා පර්යේෂණාගාරවල විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන් හා තාක්ශණවේදීන් ලෙස රැකියාව කරන අභ්‍යවකාශ තාක්ශණය ගැන ඉහල දැනුමක් ඇති අයයි.

ටියන්ගොංග් 1 ටිකෙන් ටික පොලොවට පහත්වනවා??

චීනය විසින් 2011 වසරේදී කක්ශගත කරනලද මෙට්‍රික් ටොන් 7.3ක් බර ටියන්ගොංග් 1 අභ්‍යවකාශ යානය මෙම සැටලයිට් ට්‍රැකර් වරුන්ගේ ඉලක්කයක් වී තිබෙන අතර කලක් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා ගමන්කල ආකාරය නිරීක්ශණය කල මොවුන් එම මධ්‍යස්ථානය ටිකෙන් ටික පොලොවට පහත්වන බව නිරීක්ශණය කොට තිබෙනවා. 

Atmospheric Drag සංසිද්ධිය නිසා ඕනෑම චන්ද්‍රිකාවක් කලකදී කඩාවැටෙනවා!

කක්ශගත කොට තිබෙන ඕනෑම චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ශගතවූ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් මදින් මද පොලොව වෙත ඇදීම සාමාන්‍ය ක්‍රියාවලියක්. මෙයට හේතුව වන්නේ පෘථිවිය වටා කක්ශගත වී ඇති යානයකට පෘථිවියේ වායුගෝලයෙන් ඇතිවන ඝර්ෂණය නිසා එහි වේගය සෙමෙන් අඩුවීමෙන් ක්‍රමයෙන් කක්ශයෙන් ඉවත්වීමයි. Atmospheric drag ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා බොහෝ චන්ද්‍රිකා කක්ශගත කොට ඇති පහල කක්ශය හෙවත් Low Earth Orbit (LEO) තුල විශේෂයෙන් දකින්නට ලැබෙනවා.


චන්ද්‍රිකා ගමන්කරන පෘථිවි කක්ශය එනම් කිලෝමීටර් 100ක් පමණ උසකදී වායුගෝලය ඉතාමත් තුනී වුවද, අභ්‍යවකාශ යානා කක්ශයෙහි ගමන් කරන අධික වේගය නිසා මෙම ඉතා තුනී වායුගෝලී ස්ථරය වුවද මාස කිහිපයකදී අභ්‍යවකාශය යානයක වේගය බාල කොට එය පොලොවට කඩාවැට්ටවීමට සමත්වනවා. උදාහරණයක් ලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථනය පොලොව වටා ගමන් කරන වේගය පැයට කිලෝමීටර් 27,000ක් (එනම් ශබ්දයේ වේගය මෙන් 219 ගුණයක්!) තරම් සිතාගත නොහැකි තරමේ අධික වේගයක් වනවා. මෙවැනි වේගයකදී කොතරම් තුනී වායු ස්ථයක් වුවද විශාල බාධකයක් ඇතිකරනවා. 

කලින් කලට සිදුකරන Orbit Corrections, චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කඩාවැටීම වලක්වනවා!

මේ හේතුවෙන් අභ්‍යවකාශ යානා හා චන්ද්‍රිකා කක්ශයේ රඳවාගැනීමට නම් නිශ්චිත කාල අන්තරවලදී චන්ද්‍රිකාවේ හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති කුඩා මෙහෙයුම් රොකට්ටු (steering rockets) ක්‍රියාත්මක කොට නැවතත් එය ඉහලට ගෙන, වේගය වැඩිකල යුතුයි. චන්ද්‍රිකා හා අභ්‍යවකාශ මධ්‍යස්ථානවල මෙහෙයුම් රොකට්ටු වල ඉන්ධන තිබෙනතාක් orbit corrections සිදුකල හැකි අතර ඉන්ධන අවසන්වූ විට චන්ද්‍රිකාව හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලොවට කඩා වැටෙන්නට හැරීම ඇරෙන්නට වෙන විකල්පයක් නෑ.

කාලෙකින් ටියන්ගොංග් 1 මධ්‍යස්ථානයේ Orbit Corrections සිදුවී නෑ??

ටියන්ගොංග් 1 හි කක්ශය දීර්ඝකාලයක් නිරීක්ශණය කරන සැටලයිට් ට්‍රැකර්ලා පවසන්නේ එය ටිකෙන් ටික පොලොවට ලංවෙන බවත්, එය වැලැක්වීමට සිදුකල යුතු කක්ශ නිවැරදිකිරීම් කලකින් සිදුවී නොමැතිබවත්. මෙයට හේතුව යම් තාක්ශණික දෝෂයක් නිසා පෘථිවියෙන් යැවෙන පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමට මධ්‍යස්ථානයේ පාලන පද්ධතිය අපොහොසත්වීම නිසා වන්නට පුලුවන් බවත්, ඒ අනුව දැනට ගගනගාමීන්ගෙන් තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ටියන්ගොංග් 1 මිනිස් පාලනයෙන් ගිලිහී ඇතිබවට අනුමාන කල හැකි බවත් ඔවුන් පවසනවා.

ටියන්ගොං 1 කඩාවැටුනොත් කුමක් වෙයිද?

සන්නිවේදන චන්ද්‍රිකා හා ඔත්තුබැලීමේ චන්ද්‍රිකා වලට සාපේක්ශව ටියන්ගොංග් මධ්‍යස්ථානය ඉතා විශාල, ටොන් 7ක් බර ඇති යානයක්. කුඩා චන්ද්‍රිකා පොලොවට ආපසු වැටීමේදී වායුගෝලීය ඝර්ෂණය නිසා දැවී පිලිස්සී ගියත් මෙවැනි විශාල වස්තුවක් පොලොවට වැටීමේදී සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නෑ. ඒ අනුව ටොන් කිහිපයක් බර කොටසක් ජනාකීර්ණ පෙදෙසකට කඩා වැටුනහොත් සිදුවිය හැකි ජීවිත හා දේපොල හානිය අතිවිශාලයි.



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 


POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments