Light L16 - සෙන්සර් 16 ඇති, මෙගාපික්සල් 52ක විබේධනයකින් DSLR කොලිටියේ ඡායාරූප ගන්නා පොකට් කැමරාව!


ඇමරිකාවේ කැලිෆෝනියාව නිවහන කරගත් අලුත්ම කැමරා සමාගමකි Light Inc. කැමරා සමාගම. 2013 වසරේදී ඩේව් ග්‍රැනන් හා රාජීව් ලැරෝයා විසින් ආරම්භ කරන ලද මෙම සමාගම කැමරා කර්මාන්තයේ දැවැන්ත පෙරලියක් ආරම්භකොට තිබෙනවා. ගූගල් වැනි දැවැන්ත සමාගම් ආයෝජනය කොට තිබෙන මෙම සමාගමේ L16 කැමරාව පොකට් කැමරාවක් තරම් කුඩා වුවත් එහි අඩංගු කොට තිබෙන තාක්ශණය සාම්ප්‍රදායික කැමරාවලට වඩා විශාල පිම්මක් ඉදිරියෙන් සිටිනවා.

ඉහල තත්වයේ ස්මාර්ට්ෆෝන් කැමරා ලෙන්ස හා සෙන්සර් 16කින් සංයුක්ත මෙම කැමරාවට මෙගාපික්සල් 52ක අධිවිබේධනයේ ඡායාරූප ගත හැකියි. මෙම ඡායාරූප ඉතා ඉහල තත්වයේ DSLR කැමරාවලින් ලබාගත හැකි ඡායාරූප වලට සමානවන අතර DSLR කැමරාවකින් වුවද ලබාගත නොහැකි සමහර පහසුකම් වලින් යුතුවනවා.

මිලිමීටර් 35 නාභිදුරක් (focal lenth) ඇති ලෙන්ස හා සෙන්සර් 5ක්ද, මිලිමීටර් 70 නාභි දුරින් යුතු ලෙන්ස හා සෙන්සර් 5ක්ද, මිලිමීටර් 150 නාභිදුරින් යුතු ලෙන්ස 6ක්ද ලෙසින් ලෙන්ස හා සෙන්සර් 16 ඇති මෙම කැමරාවේ ඇති එක් සුවිශේෂී ලක්ශණයක් නම්, ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාවලියේදී ඡායාරූපයේ නාභිය (focus and depth of field) තීරණය කරගත හැකිවීමයි. එමෙන්ම මද ආලෝක තත්වයන් යටතේ ඉතාමත් ඉහල තත්වයේ ඡායාරූප ගැනිමේ හැකියාවද මෙම කැමරාවට තිබෙනවා.

5X Optical Zoom පහසුකම ඇති මෙම කැමරාව ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියාත්මක වන අතර ඒ අනුව ස්මාර්ට්ෆෝන කැමරාවල ඇති සුවිශේෂී පහසුකම්ද මෙම කැමරාව සතුවනවා. 2015 අගභාගයේ අමෙරිකානු වෙළඳපොලට සීමිත ආකාරයෙන් නිකුත්කල මෙම කැමරාව කොතරම් ජනප්‍රියවූවාද යත් 2017 වනතෙක්ම අලුත් ඇනවුම් ලබාගත නොහැකි තරමට ඇනවුම් ලැබී තිබෙන බව ලයිට් සමාගම ප්‍රකාශකරනවා.

මෙම සමාගමේ සමාරභක හා ප්‍රධාන තාක්ශණ නිළධාරී (Chief Technical Officer) ලෙස කටයුතු කරන ඉන්දියානු සම්භවයක් ඇති රාජිව් ලැරෝයා, ලයිට් සමාගම ආරම්භකිරීමට පෙර ක්වල්කොම් සමාගමේ පර්යේෂකයෙකු ලෙස ක්‍රියාකල අතර එහිදී 4G LTE තාක්ශණය නිර්මාණය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් බව පැවසෙනවා.


__________________________________________________________________________


Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments