ඊජිප්තු පිරමිඩ නිර්මාපකයින් කාන්තාරය හරහා ටොන් ගණනාවක් බර ගල්කුට්ටි ප්‍රවාහණය කල ආකාරය හෙලිවෙයි!



ඊජිප්තු පිරමීඩ නිර්මාණකරුවන්, පිරමීඩ ගොඩනැගීම සඳහා ටොන් ගණනාවක් බල අතිවිශාල ගල් කුට්ටි කෙලෙස ගෙන ආවේද යන්න තවමත් නොවිසඳුනු අභිරහසක්. ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයින් මෙම ගල්කුට්ටි දසදහස් ගණනක් වහල් ශ්‍රමය උපයෝගී කරගෙන, ලී වලින් තැනූ වැල්ලේ යන, රෝද රහිත ස්ලෙජ් කරත්ත මත තබා ඇදගෙන යන්නට ඇති බවට තර්ක කරනවා. 

රෝදය, ලීවරය, කප්පි පද්ධති වැනි සරළ යන්ත්‍ර පවා නොතිබුණු ඊජිප්තු ශිෂ්ඨාචාරයට මෙවැනි අති දැවැන්ත ගොඩනැගීමක් කිසිසේත් සිදුකල නොහැකි බව පවසන විකල්ප ධාරාවල ඊජිප්තු විශේෂඥයින් මේ සඳහා කල්පි දෙකක් ගොඩනගනවා.

පිටසක්වල තාක්ශණ කල්පිතය - මෙම ඒන්ෂන්ට් ඒලියන් කල්පිතයට අනුව පිරමීඩ හා වෙනත් විශ්මිත පෞරාණික ගොඩනැගිලි නිර්මාණය කරන්නට ඇත්තේ අතිතයේ මෙලොවට පැමිණි පිටසක්වලයින් විසින් හෝ ඔවුන්ගේ තාක්ශණය ලැබී තිබූ පෞරාණික මිනිස් ශිෂ්ඨාචාර විසිනුයි.

පෞරාණික අධිතාක්ශණික යුග කල්පිතය - මෙම කල්පිතයට අනුව අප දන්නා මිනිස් ඉතිහාසය නිවැරදි නොවනවා. අද පවතින අධිතාක්ශණික යුගය, මිනිස් වරගයා නිර්මාණය කල පලමුවන අධිතාක්ශණික යුගය නොවන අතර මීට වසර 20,000 - 30,000කට හෝ ඊටත් පැරණි අතීතයේ මිනිස් වර්ගයා අධිතාක්ශණික යුගයක් නිර්මාණය කොට තිබෙන අතර ඉපැරණි භාරතය මෙන්ම පෞරාණික ඇට්ලෑන්ටිස් හා මූ ශිෂ්ඨාචාර පිලිබඳ පුරාවෘත මේ
අධිතාක්ශණික ශිෂ්ඨාචාරවල අපහැදිලි මතකයන් වනවා. වේද ග්‍රන්ථවල ඇති විමාන නම් පියාසර යානා, න්‍යශ්ඨික අවි යැයි හැඟෙන අපූර්ව අවි-ආයුධ, දඬුමොණර ජෙට් යානයේ නිර්මාතෲවූ රාවණ රජ පුරාවෘත්තයද මෙයට අයත් වනවා. ඒ අනුව පිරමීඩවල නියම වයස දැන් පිලිගැනෙන වසර 5000 නොව, වසර 20,000-30,000 හෝ ඊටත් පැරණි වනවා. පිරමීඩ ගොඩනගා ඇත්තේ පෞරාණික අධිතාක්ශණික මානව ශිෂ්ඨාචාරයක් විසින් මිස සරල යන්ත්‍ර පවා නොතිබුණු ඊජිප්තු ශිෂ්ඨාචාරය මගින් නොවේ. 

පිරමීඩ ගල්කුට්ටි ප්‍රවාහණය පිලිබඳ ප්‍රධාන ධාරාවේ අලුත්ම කල්පිතය - වසර 4000ක් පමණ පැරණි ජෙහුටිහොටෙප් නම් ඊජිප්තු රාජකීයයාගේ සොහොන්ගෙය තුල තිබී හමුවූ පැරණි චිත්‍රයක් ඔස්සේ පර්යේෂණ පැවැත්වූ ඈම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකු වූ ඩැනියෙල් බොන් මෙම කල්පිතය ගොඩනගනවා. මෙම චිත්‍රයෙහි වැල්ල මත ලිස්සායන ස්ලෙජ් කරත්තයක් මත තබාගත් අතිවිශාල ශෛලමය පිලිමයක් වහලුන් සියගණනක් විසින් ඇදගෙන යන අයුරු නිරූපණය වෙනවා. මහාචාර්ය බොන් පවසන අන්දමට මෙම රූපයෙහි ස්ලෙජ් ඔරුව ඉදිරියෙන් යන පුද්ගලයෙකු ජල කොතලයකින් වැල්ලට ජලය ඉසින ආකාරයද පෙනවා තිබෙනවා.

ජෙහුටිහොටෙප් චිත්‍රය - ස්ලෙජ් කරත්තය ඉදිරියෙන් සිටින මිනිසෙකු කොතලයකින් වැල්ලට ජලය වත්කරන ආකාරය
තම පර්යේෂණ විස්තර කරන මහාචාර්ය බොන්;

"මුලින් අපි හිතුවේ මේ ජල ඉසීම යම් චාරිත්‍රයක් කියලයි. විද්‍යාගාරයේදී, වැලිමත බරතබා ඇදගෙන යාහැකි ස්ලෙජ් කරත්තවල ආකෘති හදලා ඒ මත බර තබලා ඇදගෙන යනකොට ඔරුව ඉස්සරහ වැල්ලට ජලය ඉසින්නට අපි කටයුතු කලේ, මේ චාරිත්‍රයට හේතුව හොයාගන්න..

අපිට පෙනීගියා තෙත වැල්ලේදි ස්ලෙජ් කරත්තය පහසුවෙන් ඇදී යන බව. වියලි වැල්ලේ ඇදීමේදී ස්ලෙජ් කරත්තය ඉදිරිපස වැලි බැම්මක් ගොඩනැගිලා ඇදීම අපහසු කරනවා, ඒත් වැල්ල තෙමූවිට, එවැනි වැලි බාධකයක් හට ගන්නේ නෑ...

මහාචාර්ය බොන්ගේ විද්‍යාගාර පරීක්ශණය
ඒ අනුව, 50% අඩු ශ්‍රමයකින් තෙත වැල්ලේ යම් බරක් ඇදගෙන යා හැකි බව අපේ පර්යේෂණ වලින් තහවුරු වුනා. ඊජිප්තු චිත්‍රයේ වැලි තෙමන මිනිහා කරන්නේ, චාරිත්‍රයක් නෙමෙයි, වැල්ලේ කරත්තය ඇදගන යාම පහසු කරන සරල තාක්ශණයක් තමයි ඔවුන් ඒ පිළිඹිබු කරන්නේ...

තෙත වැල්ලේ ඇති වැලිකැට, ජලය හා බන්ධනයක් ඇතිකරගෙන ඝණ කරනවා. එතකොට වැලි බාධක ඇති නොවී කරත්තයට ගමන්කරන්න පුලුවන්.....තෙත වැල්ලෙන් කෝම් පිට්ටු හදන්න පුලුවන් වෙන්නෙත්, වියලි වැල්ලෙන් බැරි වෙන්නෙත් මෙම ජලය හා වැලි බන්ධනය හේතුවෙනුයි..."
 


__________________________________________________________________________


Creative Commons License  
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/ 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  
CONTACT    : terence.arachchi@gmail.com .  
GOOGLE +   : About Me  .  
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments