Thursday, April 25, 2024

General line - 0115112241

කොමසාරිස් පාලනයට යන පුංචි ආණ්ඩු 23




පළාත් පාලන ආයතන 23ක පාලනය කොමසාරිස්වරු සහ ලේකම්වරු යටතට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එ් එ්වායේ නිල කාලය ඊයේ (30) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වීමත් සමගයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ එම පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ නොකිරීමට තීරණය කළ බවයි.

මෙලෙස නිල කාලය දීර්ඝ නොකළ පළාත් පාලන ආයතන අතරට මහ නගර සභා 17ක්ද ඇතුළත්. නගර සභාවක් සහ ප‍්‍රාදේශිය සභා 5ක නිල කාලයද අවසන් වුණා.

කොළඹ, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර යන මහනගර සභාවල නිල කාලය මෙලෙස අවසන් වී තිබෙනවා. ඊට අමතරව අනුරාධපුර, කල්මුනේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මහ නගර සභාවල නිල කාලයද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට අවසන්. කොලොන්නාව නගර සභාවද නිල කාලය අවසන් පළාත් පාලන ආයතන අතරට අයත්. කොටිකාවත්ත මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත්සතර ගඟවටකෝරලේ, සූරියවැව සහ හම්බන්තොට යන ප‍්‍රාදේශීය සභාවලද නිල කාලය අවසන් වුණා.

මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය පළමුවෙන් අවසන් වුණේ 2015 වසරේ ඔක්තෝබර් මාසයේයි. පසුව දෙසැම්බර් මස 31 වැනිදා දක්වා එ්වායේ නිල කාලය දීර්ඝ කළ අතර යළිත් වරක් ඊයේ වන තෙක් එම පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර තිබුණා.