Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා නිසා ගුවන් ගමන් කේෂ්ත්‍රයේ පාඩුව ඩොලර් බිලියන 29ක් : චීනයේ සිරගෙවල් තුල කොරෝනා රෝගීන් 500ක්




කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා ගුවන් යානා සමාගම් වලට අමෙරිකානු ඩොලර් බිලියන 29.3 ක පාඩුවක් සිදුව ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය සඳහන් කර සිටිනවා. ආසියානු පැසිෆික් කලාපය තුල ගුවන් මෙහෙයුම් සියයට 13 කින් පමණ පහල වැටෙනු ඇති බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

මේ අතර චීනයේ සිරගෙවල් වලටද කොරෝනා වෛරසය පැතිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. චිනයේ හුබෙයි ප්‍රාන්තයේ සිර කඳවුරකින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 271 දෙනෙක් වාර්තා වී ඇත. මේ වන විට චීනයේ සිර කඳවුරු වලින් කොරෝනා වෛරසය බෝවුණු රෝගීන් 512ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටින්නේ.

මෙලෙස සිර කඳවුරු තුල කොරෝනා වෛරසය පැතිරි යාම හේතුවෙන් එහි සේවය කරනු ලබන නිලධාරින් 09 දෙනෙක් සේවයෙන් පහ කිරිමට චීනයේ කොමියුනිස්ට් පක්ෂය පියවර ගෙන ඇත.

මේ අතර කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වූ බව ඉරානය නිවේදනය කර සිටිනවා. මේ වන විට ඉරානය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක්‌ ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

දකුණු කොරියාව තුල නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 204 දෙනෙක් හමුවූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 2,247 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගීන් 76,700ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.