විනය කැඩු ධර්මරාජ, ත්‍රිත්ව සහ කේරි රග්බි කණ්ඩායම් වලට දඩුවම්

2418
Trinity v Dharmaraja

මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වුනේ ගැටුම් රැසක් මැදිනුයි. ඒ අතරින් බ්‍රැඩ්බි පලිහ ත්‍යාග ප්‍රදානය අතරතුර ඇතිවූ ගැටුම සහ පළිඟ ශූරතාව සඳහා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමග පැවති තරගයේදී ධර්මරාජ ක්‍රීඩකයන් ඇති කරගත් ගැටුම ප්‍රධාන ස්ථානයක් ගනි.

මේ ගැටුම් සම්බන්ධයෙන් පාසල් රග්බි සංගමය ආරම්භ කළ විනය පරීක්ෂණ අවසන් කෙරුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ ද මැදිහත්වීමෙනි. ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයක් වන විනය, පාසල් ක්‍රීඩකයන් අතරින් ගිලිහී යාම වලක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.

පසුගිය ලිපි: ත්‍රිත්ව, රාජකීය ගැටුමේ ජය ත්‍රිත්වයින්ට

2016-06-18 දින ධර්මරාජ – ශා. ජෝසප් විදුහල් අතර ඇතිවූ ගැටුම

මේ තරගයේදී ධර්මරාජ ක්‍රීඩකයෙකුට තරග තීරකවරයා කහ කාඩ්පතක් නිකුත් කර අවස්ථාවේදි ඔහු පිටියෙන් ඉවතට යන අතර ශා. ජෝසප් ක්‍රීඩකයෙකුට පහර දීම මෙම ගැටුමට මුල් වු සිදුවීම විය. ඒ පිලිබඳ විනය පරීක්ෂණයේ දී ගෙන ඇති තීරණ වන්නේ.

  • මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම 2016.07.01 දින සිට මාස 09 ක තරග තහනමකට ලක් කිරීමත්, වසර 02 ක පරිවාස කාලයකට යටත් කිරීමටත් තීරණය කිරීම
  • ධර්මරාජ කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාට වසරක කාලයක් සඳහා එම පාසලේ ක්‍රීඩා කටයුතු තහනම් කිරීම
  • ධර්මරාජ ක්‍රීඩා භාර ආචාර්යවරයාට තරයේ අවවාද කිරීම  
  • ප්‍රධාන රග්බි පුහුණුකරු වන රධික හෙට්ටිආරච්චි මහතාට එම විද්‍යාලයේ හෝ වෙනත් විද්‍යාලයක මින් ඉදිරියට  පුහුණු කටයුතු කිරීම තහනම් කිරීම
  • ධර්මරාජ සහාය පුහුණුකරුට 2016.07.01 දින සිට මාස 06 ක ක්‍රීඩා පුහුණු කටයුතු තහනම් කිරීම

ආදි දෑ නිළදාරීන් වෙනුවෙන් ලබා ගත් තීරණ වන අතර පහත සඳහන් ක්‍රීඩකයින් සදහා  වසරක කාලයක් සඳහා තරග තහනමකට ලක් කිරීමටත් තීරණය කර ඇත.

  1. අංක.07 – එම්.පී. බණ්ඩාර
  2. අංක.05 – සී.ඩී.බී. විෙජ්සිංහ
  3. අංක.04 – ඊ.එම්.ඕ.පී. ඒකනායක
  4. අංක.20 – ඩී.එම්.සී. ගයාශාන්
  5. අංක. 06 – ඩී.එස්.ටී.ආර්. රත්නායක
  6. අංක. 19 – කේ.එස්.බී. දිසානායක
  7. අංක. 21 – සී.එස්.එස්.අබරගම

පසුගිය ලිපි: සහිරා සිහිනය බොඳ කළ තෝමසුවන්

2016-05-14 දින බ්‍රැඩ්බි පලිහ ත්‍යාග ප්‍රදානය අතරතුර ඇතිවූ ගැටුම

බ්‍රැඩ්බි පලිහ පළමු අදියර ලකුණු 22- 17 ක් ලෙස ජය ගන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූ අතර, දෙවන අදියර නිම වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 18 – 13 ක ජයක් හිමිකර දෙමිනි. මේ අනුව තරගාවලිය ලකුණු 35 – 35 ක් ලෙස සමවූ අතර, ත්‍යාග ප්‍රදානයේදී පලිහ ප්‍ර‍දානය කරන අවස්තාවේදි කලහකාරී තත්වයක් ඇතිවිය.

මේ පිලිබඳ පැවැත්වූ විනය පරීක්ෂණයේදි තීරණය වුයේ ත්‍රිත්ව විද්‍යාලයේ 20 න් පහළ රග්බි කණ්ඩායම 2016.07.01 දින සිට මාස 06 ක තරග  තහනමකට ලක් කිරීමටයි.

මීට අමතරව 2016.05.24 දින පාදුක්ක සිරි පියරතන විදුහල සහ කොළඹ කේරි විදුහල අතර පැවැති තරගයකින් අනතුරුව ඇති කරගත් ගැටුමක් හේතුවෙන්

  • සත්කාරක කේරි විද්‍යාලයේ වයස අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම මාස 06 ක තරග තහනමකට ලක් කිරීම.
  • වසර දෙකක පරිවාස කාලයකට එම පාසල් කණ්ඩායම යටත් කිරීම.
  • කේරි විද්‍යාලය විසින් මෙම වසර සඳහා ලබාගත් සියළු ජයග්‍රහණ අත්හිටුවීම.
  • කේරි විද්‍යාලයේ රගර් පුහුණුකරු වන ඩී. නිමල් මයාට තරයේ අවවාද කර 2016.07.01 දින සිට මාස 06 ක් එම විද්‍යාලයේ හෝ වෙනත් විද්‍යාලයක පුහුණුකරු ලෙස කටයුතු කිරීම තහනම් කිරීම.

ආදි තීරණයන් කේරී විද්‍යාලයට එරෙහිව ලබා දී ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න