Friday, April 26, 2024

General line - 0115112241

ආනයනික තිරිඟු පිටි අඩු මිලට ලැබුණත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට බාධා




ආනයනික තිරිඟුපිටි තොග මේ වන විට වෙළදපොලට නිකුත් වී ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තිරිඟුපිටි මෙටි්‍රක්ටොන් පන්දහසක ප්‍රමාණයක් මේ වන විටත් ආනයනය කර ඇති බවයි. එම තොග බේකරි හිමියන්ට පමණක් ලබා දීමටයි ආනයනකරුවන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝවක් රුපියල් 78 ක පමණ මිලකට ලබාගත හැකි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මීට පෙර තිරිඟුපිටි කිලෝවක් බේකරි හිමියන් වෙත ලබා ගැනීමට හැකි වූයේ රුපියල් 90 ක පමණ මිලකටයි. මෙලෙස අඩු මිලට ආනයනික තිරිඟු පිටි බේකරි හිමියන්ට ලැබීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු නොකරන්නේ මන්දැයි බේකරි හිමියන්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ තමන්ට අවශ්‍ය තරම් තොග තවමත් වෙළදපොලේ නොමැති බවයි. එම නිසා බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

දැනට තමන් වෙත ලැබුණු ආනයනික තිරිඟු පිටි තොගවල ගැටලු කිහිපයක් ද පවතින බවයි  බේකරි හිමියන්ගේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ. 

ආනයනික තිරිඟු පිටි සඳහා බදු සහන ලබා දීමට රජය තීරණය කළේ සමාගම් 02 ක්  තිරිඟු පිටි ඒකාධිකාරයක් පවත්වාගෙන යාම හේතුවෙන්. මෙලෙස තිරිඟුපිටි ආනයනය හරහා එම සමාගම් 02 ද මේ වනවිටත් තිරිඟු පිටි මිල පහත දමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිරිඟුපිටි අවශ්‍යතාවය මසකට මෙටි්‍රක් ටොන් 70,000 ක්.