Friday, March 29, 2024

General line - 0115112241

බුදු පිළිමය තැන්පත් කළ වව්නියාව මණ්ඩපයේ සිසුන්ට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අත්හිටු බව අධිකරණයට දැනුම් දෙයි 




යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් තැන්පත් කිරීමට කටයුතු  කිරීමේ සිද්ධියක් මුල් කර ගෙන විශ්ව විද්‍යාල පරිපාලනය විසින් සිසුන් පස්දෙනෙකුට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අත් හිටුවීමට තීරණය කළ බව එම පාලන අධිකාරිය අද (18) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ශිෂ්‍ය භාවය අත්හිටුවමින් පාලනාධිකාරිය ගෙන තිබු තීරණය අභියෝගයට ලක්කරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. 

මෙම ශිෂ්‍යයන්ට එරෙහිව ඉදිරි විනය ක්‍රියාමාර්ග අත් හිටුවීමට පාලනාධිකාරිය තීරණය කළ බව විශ්ව විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව සමථයකට එළඹ නඩු කටයුත්ත ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවන් තීරණය කළා. 

එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන් හතර දෙනෙකු සහ දෙමළ සිසුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරුණු ලැබ තිබෙනවා. 

එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නව දෙනෙකු නම් කර තිබෙනවා. 

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාවේ පිහිටි ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු කුටියක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් 2019 ජනවාරි මස 29 වැනිදා සූදානම් වූ බවත් එය වැලැක්වීමට නේවාසිකාගාර පාලකවරයා පියවර ගත් බව පෙත්සම්කරුවන් පවසනවා. 

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද පෙත්සම්කරුවන් චෝදනා කර සිටිනවා.