Friday, March 29, 2024

General line - 0115112241

ලැව්ගිනි දරුණු විය හැකි බවට ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්




ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත ආශ්‍රිතව තවත් විශාල ලැව් ගින්නක් ඇතිවිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නිව්සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පවතින විශාල ලැව් ගිනි, එම ප්‍රාන්ත දෙක වෙන් වන සීමාවේදී එකට එක්ව මෙලෙස විශාල ලැව් ගින්නක් ලෙස වර්ධනය විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ. 

ලැව්ගිනි, අධික උෂ්ණත්වය, අධික සුළඟ සහ වැසි රහිත අකුණු හේතුවෙන් නැගෙනහිර ප්‍රාන්තවල වෙසෙන ජනතාවට අද (10) සිට ඉතා අසීරු කාලගුණ තත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රාන්තවල ජනතාවට හැකි ඉක්මණින් ඉවත් වන ලෙස නිවේදන කිහිපයක්ම නිකුත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. දකුණුදිග ඕස්ටේ්‍රලියාවේ පිහිටි කැන්ගරු දූපත ද අවදානම් තත්වයක පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඕස්ට්‍රේලියාවට බලපා ඇති දරුණු ලැව්ගිනි තත්වය හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇති කෝලා සත්ත්වයින් ගණන 25,000 කට අධිකයි. හෙක්ටයාර මිලියන 10 කට අධික භූමි ප්‍රමාණයක් ද ලැව් ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.