Thursday, April 18, 2024

General line - 0115112241

සියලුම අමෙරිකානු පුරවැසියන්ට ඉරාකයෙන් ඉවත් වෙන්නැයි දැනුම් දෙයි : බැග්ඩෑග් ප්‍රහාරයේ ප්‍රතිපලය භයානක එකක් වේවි - ඉරාන ජනාධිපති අනතුරු අඟවයි (PHOTOS / VIDEO)




වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අමෙරිකානු පුරවැසියන්ට ඉරාකයෙන් ඉවත්වන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඉරාන විප්ලවීය හමුදාවේ කුඩ්ස් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑග් ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වීමත් සමග මේ වන විට එම කලාපයේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති බැවින් සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් ඉරාකයෙන් ඉවත්විමට කටයුතු කරන්නැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ.

සිය හමුදා ප්‍රධානියාගේ වියෝවත් සමග ඉරාන ජනාධිපති හසන් රුහානි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙය අමෙරිකාව විසින් කලාපය තුල තමන්ගේ බිඳ වැටීම වසා ගැනීම සඳහා සිදුකළ තවත් බියගුළු ප්‍රහාරයක් බවයි. එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එහි ප්‍රතිපලය භයානක එකක් වනු ඇති බවයි. 

" මෙය ඉරානය පමණක් නොවේ මෙම කලාපයේ අනෙකුත් නිදහස් රටවල් එක්ව සිදුකරනු ලබන ක්‍රියාවක් වනු ඇති. ඉරාන විප්ලවීය හමුදාවේ කුඩ්ස් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ජෙනරාල් කාසීම් සුලෙයිමානි ගේ ඝාතනයේ ප්‍රතිපලය ඉතා භයානක එකක් වනු ඇති" ඉරාන ජනාධිපතිවරයා ඇතුළු ජේෂ්ඨ නායකයින් සඳහන් කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරාන විප්ලවීය හමුදාවේ නායකයා ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව ඉරානයට සිය ශෝකය පළකර ඇති අතර බ්‍රිතාන්‍ය විසින් දෙපාර්ශවයෙන්ම මේ මොහොතේ ඉවසීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වුවත් ඉදිරියේදී අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ප්‍රභල සයිබර් හෝ වෙනත් ප්‍රහාරයක් එල්ලවීමේ වැඩි අවධානමක් ඇති බවයි විදෙස් ඔත්තු සේවාවන් සඳහන් කර සිටින්නේ.