Main Logo

Tuesday 21 June 2016

ජාතිකත්වයේ පක්‍ෂයක්



ජාතිකත්වයේ පක්‍ෂයක්

ඉංගිරිසි දේශපාලනයේ නායකයන් නැතිව වුවත් ඉංගිරිසි ජනයා ජාතිකත්වයකට යොමු වී තිබෙනවා. ඒත් ඒ සඳහා පක්‍ෂ දේශපාලනයෙන් වෙන් වූ ඡන්දයක් අවශ්‍ය වූවා. එංගලන්තයේ (බිරිතානියේ) ජූනි විසිතුන්වැනිදා පැවැත්වෙන ජනමත විචාරණය පක්‍ෂ දේශපාලනයෙන් මුළුමනින් ම නැතත් විශාල ප්‍රමාණයකට වෙන් වෙලා. එංගලන්තයේ ඡන්දදායකයන් වූ සිංහලයන් වැඩි දෙනකු රනිල්ගේ පණිවුඩය අනුව හර්ෂ හරීන් රෝසි ත්‍රිත්වයට අවශ්‍ය ආකාරයට යුරෝපා සංගමයේ රැඳී සිටීමට ඡන්දය දේවි කියා හිතන්න බැහැ. එහෙත් එහි ලංකාවෙන් ගිය දෙමළ ඡන්දදායකයන් නම් බොහෝ දෙනකු එකී සංගමයේ රැඳී සිටීමට ඡන්දය දේවි. විවිධ දෙමළ සංසද දෙමළ ඡන්දදායකයන්ට එලෙස ඡන්දය දෙන ලෙස ඉල්ලනවා. දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ අවශ්‍යතාවට යුරෝපා සංගමය ද මැදිහත්වීමෙන්. ලංකාවට පණවන යුරෝපා සංගමයේ විවිධ බාධක හා තහංචි  දෙමළ ජාතිවාදයේ වර්ධනයටයි. ඒකාබද්ධ විපක්‍ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ. පක්‍ෂයක් හෝ සංවිධානයක් හෝ නොවන ඒකාබද්ධ විපක්‍ෂය පවතින්නේ ගන්ධබ්බ තත්වයකින්.


එංගලන්තයේ සිටින ලංකාවෙන් ගොස් ඇති ඡන්දදායකයන්ට ප්‍රශ්නය බලපාන්නේ දෙවිධියකට. සිංහලයන්ගෙන් යම් පිරිසක් තම පෞද්ගලික ප්‍රශ්න මත පදනම්ව තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා. ටික දෙනකු රනිල්ගේ ඉල්ලීමට කන් දේවි. එහෙත් සිංහලයන් වැඩි පිරිසක් බිරිතානිය යුරෝපා සංගමයේ රැඳී සිටිම ගැන සිංහලයන් ලෙස සිතා ඡන්දය දේවි ද යන්න ප්‍රශ්නයක්. දෙමළ ජනයා නම් වැඩි වශයෙන් තමන් දෙමළ ලෙස සිතා ඡන්දය දේවි. සිංහල උගතුන් හා දෙමළ උගතුන් අතර ඇති වෙනසක් නම් සිංහල උගතුන් අඩු පිරිසකට ජාතිකත්වයක් තිබීමයි.  

ලංකාවේ දෙමළ මෙන් ම මුස්ලිම් දේශපාලන පක්‍ෂ තම ජනවර්ගයට පමණක් සීමා වූ පක්‍ෂ. ඒ පක්‍ෂ ඒ ගැන හැංගීමක් කරන්නේත් නැහැ. පක්‍ෂ හඳුන්වන්නේත් දෙමළ , මුස්ලිම් විශේෂණ සහිත ව. එහෙත් එවැනි පක්‍ෂයක් සිංහලයන්ට නැහැ. එ ජා ප ක්‍රියා කරන්නේ සිංහල විරෝධී පක්‍ෂයක් ලෙස. එහෙත් ඇතැම් සිංහලයන් ඒ පක්‍ෂයට ඡන්දය දෙනවා. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරාදැම්මා. ඒ පක්‍ෂය තිබුණ කාලයෙ පක්‍ෂයට සිංහල ජනතාවගේ බලපෑම දැනුනා. එබැවින් එය චන්ද්‍රිකාගේ කාලයේ හැර ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියාත්මක වූවා. 

ජ වි පෙ මුල සිට බොරු ජාත්‍යන්තරවාදයක් කරගසා ගත්තා. සමාජවාදය ව්‍යාජ සංකල්පයක්. රාජ්‍යයක් නැති කොමියුනිස්ට් සංකල්පය පට්ටපල් බොරු මනඃකල්පිතයක් පමණයි. එහෙත් ජ වි පෙරමුණට විජේවීර සමගින් චීන කොමියුනිස්ට් පක්‍ෂය මගින් ලැබුණු චීන ආකෘතියේ ඉන්දීය විරෝධී ජාතිකත්වයක් තිබුනා. එය පදනම් විරහිත ඉන්දීය විරෝධී ජාතිකත්වයක්. එය කිසි දිනෙක සිංහල බෞද්ධ ජාතිකත්වයක් වූයේ නැහැ. එය ශ්‍රී ල නි ප සමග එකතු වූ විට පමණක් ජාතිකත්වයක් ඇති සිංහලයන් එයට ඡන්දය (මනාප) දුන්නා. එහෙත් ජ වි පෙ නායකයන්ගෙ නිගමනය වූයේ ඒ මනාප ඔවුන්ගේ විශේෂත්වයකට ලැබුණු ඡන්ද කියායි. තම ඉන්දීය විරෝධය පදනම් රහිත වූවක් නිසාත් ඔවුන්ට සිංහල බෞද්ධ ජාතිකත්වයක් නොතිබූ නිසාත් ව්‍යාජ ජාතිකත්වයක් හා සමාජවාදයක් අතර දෝලනය වෙමින් පැවති ජ වි පෙරමුණට ඉන්දීය ගැති එ ජා ප හිතවත් දේශපාලනයකට ඇදී යෑමට අපහසුවක් වූයේ නැහැ. ජ වි පෙ සමාජවාදයත් විකෘතියක්. සිංහලයන්ට මාක්ස්වාදී සමාජවාදයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය පතිරූප දේශයක්. අද ජ වි පෙ, එ ජා ප අත්හැර තවත් පිම්මක් පනින්න සූදානම් වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සංඛ්‍යා සෙල්ලම නිසා ඒකාබද්ධ විපක්‍ෂය ඔවුන් පිළිගන්නත් බැරි නැහැ.  

ජාතික හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩුණු පක්‍ෂයක්. එහි නායකයන් ඉතිහාසයේ ජ වි පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර තිබෙනවා. චම්පක යනු ඉතාමත් බලලෝභී පුද්ගලයෙක්. තමාට ජ වි පෙ   නායකත්වයක් නොලැබෙන බව දුටු ඔහු ජ වි පෙරමුණෙන් කැඩී ඉතා ටික කලක් චින්තන පර්ෂදයෙහි කටයුතු කළා. චින්තන පර්ෂදය කියන්නෙ බලයට පත්වීමට දඟලන දේශපාලන පක්‍ෂයක් නෙවෙයි. එහෙත් එය දේශපාලන කටයුතුවල නිරත වෙනවා. චම්පක චින්තන පර්ෂදයෙන් වෙන් වී ජනතා මිතුරෝ නමින් සංවිධානයක් ගොඩනගා ගත්තා. ඔහු එකල යුද්ධයට (කොටින්ට විරුද්ධව කළ හමුදා මෙහෙයුම්වලට) විරුද්ධව පෝස්ටර ව්‍යාපාරයක ද නිරත වුනා. ඔහු ජාතිකත්වය දැක්කේ මළ මිනියක් ලෙස. පසුව විවිධ සංවිධාන පිහිටුවා ගත්තා. ඩී එස් සේනානායක විදුහලේ සිසුන් කිහිප දෙනකු කොටින් විසින් ඝතනය කෙරුණු පසු දැන් ත්‍රස්තවාදයට එරෙහිව ඉල්ලුමක් ඇති බව කියමින් ත්‍රස්ත විරෝධී ව්‍යාපාර පටන් ගත්තා. අවසානයේ දී ජාතික හෙළ උරුමය පිහිටුවා ගත්තා. ඒ පක්‍ෂය සිංහලයන් නමින් පිහිටුවා ගත්තත් එහි ජාතිකත්වයක් තිබුණේ නැහැ. එය ජනතාව ආකර්ෂණය කරගන්න අවස්ථාවාදීව යොදාගත් නමක් පමණයි. දේශපාලනඥයන් බොහෝ විට අවස්ථාවාදී බව ඇත්ත. එහෙත් චම්පක තරම් අවස්ථාවාදියකු ලංකා දේශපාලනයේ නැහැ. ඔවුන් 1994 දී චන්ද්‍රිකා බලයට පත්කිරීමට කටයුතු කෙළේ ඇය දෙමළ ජාතිවාදයට පක්‍ෂව පැකේජයක් ගෙනෙන බව දැනගෙන. මාතර දී ඔවුන් මංගල සමරවීර වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනා. චින්තන පර්ෂදය ඒ මැතිවරණයේදී ම එ පෙ සමග චන්ද්‍රිකාගේ බලය අඩු කිරීම සඳහා මැතිවරණ ව්‍යාපාරයේත් යෙදුණා. ජාතික හෙළ උරුමය සෝම හාමුදුරුවන්ගේ ආකර්ෂණය යොදා ගනිමින්  චන්ද්‍රිකාට විරුද්ධව, මහින්දට පක්‍ෂව, භික්‍ෂූන් වහන්සේ මැතිවරණ ව්‍යාපාරයට යෙදෙවුවේ  සිංහල බෞද්ධ සම්ප්‍රදායට පටහැණිව ගොස්. භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් මැතිවරණයෙන් දිනූ පසු චම්පක පක්‍ෂයේ බලය අතට ගත්තා. කලින් ජාතික හෙළ උරුමයට එක් ආසනයක් පමණක් ලැබුණු විට පක්‍ෂයේ නායක එස් එල් ගුණසේකර මහතාට එය ලබා නොදී තමන් ම මන්ත්‍රී වුනා. එහි දී එකල පක්‍ෂයේ සභාපති ලෙස ක්‍රියාකළ මහාචාර්ය ඉන්ද්‍රරතන මහතාගේ නිවසට ගොස් ඒ මහතාට හා භාර්යාවට තර්ජනය කළ ආකාරය ඉන්ද්‍රරතන මහතාගෙන් ම අසා දැනගත හැකියි. 2015 ජනවාරි 8වැනි දා වන විට ජා හෙ උ මහින්දට විරුද්ධව මෛත්‍රිපාලට පක්‍ෂව කටයුතු කළා. ඔවුන්ට රනිල් ජාතිකත්වය අගය කළ පුද්ගලයකු වුනා. එහෙත් අද ඔවුන් දකිනවා රනිල් සමග ඡන්ද දිනීමට බැරි බව. එබැවින් නැවතත් අවස්ථාවාදී කරණමක් ගැසීමට බලාපොරොත්තු වෙනවා.

සිංහලයන්ට ව්‍යාජ අවස්ථාවාදී ජාතිකත්ව පක්‍ෂ නොව අව්‍යාජ දේශපාලන පක්‍ෂයක් දැන් අවශ්‍ය වෙනවා. ශ්‍රී ල නි ප මරා දමා ඇති මෙකල ඒ සඳහා කදිම අවස්ථාවක් සපයනවා. මහින්දගේ පරාජයට එක් හේතුවක් වූයේ ජාතිකත්වයට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ඔහු වටා සිටියවුන් කටයුතු නොකිරීම. ජාතිකත්වයට අව්‍යාජව ආමන්ත්‍රණය කරන පක්‍ෂයකට සිංහලයන්ගේ ඡන්දවලින් හතරෙන් තුනකට වඩා ලැබේවි. 



මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)


නලින් ද සිල්වා

2016 ජූනි 21