Main Logo

Monday 20 June 2016

ඉංගිරිසි ජාතිකත්වය

ඉංගිරිසි ජාතිකත්වය

ලබන බ්‍රහස්පතින්දා එංගලන්තයට වැදගත් දවසක්. එදින බිරිතානි වැසියන් තම රට (බිරිතානිය- මෙයත් රටක් වශයෙන් පැවතිලා අවුරුදු සියහණනකට වඩා නැහැ. ඒත් අද අප එ ය රටක් ලෙස පිළිගන්නවා. බොහෝ රටවල් පිළිබඳ තත්්වය එයයි) යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු ද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නවා. එහි දී දේශපාලන පක්‍ෂත් අභ්‍යන්තරව බෙදිලා. අගමැති කැමරන්ගේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ වෑඩි දෙනා කියන්නේ බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවයි. එහෙත් කැමරන්ට අවශ්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී ඉන්න. කම්කරු පක්‍ෂයේ බොහෝ දෙනාටත් වුවමනා යුරෝපා සංගමයේ රැඳී ඉන්න. ඔවුන් තම නායක ක්‍රෝබින් ඒ සඳහා දෙන නායකත්වය ගැන පැහැදීමක් නැහැ. මේ අතර බිරිතානියේ එක් කොටසක් වන එංගලන්තයේ වැඩි දෙනකු කැමති යුරෝපා සංගමයෙන් ඉවත් වීමට. ඒත් එක්සත් රාජධානියෙන් හා බිරිතානියෙන් වෙන්විය යුතු යැයි කියන ස්කොට්ලන්තයේ වැඩි දෙනා කියන්නේ යුරෝපා සංගමයේ සිටිය යුතු බව. ස්කොට්ලන්තය එංගලන්තයට එකතු වූයේ 1707 දී. එය ඉංගිරිසින් ස්කොට්ලන්තය උපායෙන් යටත්කර ගැනීමක්.


මේ සියල්ලෙන් පැහැදිලි වන දෙයක් තියෙනවා. ඉතිහාසයක් ඇති ජනයා ජාතිකත්වයට දක්වන ඇල්ම. ජාතිකත්වය මියගොස් නැහැ. අපේ පඬියන්ට අනුව නම් සිංහල ජාතිකත්වය ලිං මැඩි දර්ශනයක්, චින්තනයක්. එහෙත් ඔවුන්ට දෙමළ ජනවාර්ගිකත්වයක් තිබෙනවා. එපමණක් නෙවෙයි, ඒක ප්‍රගතිශීලියි. මේ පඬියන් කුමක් කීවත් ඇමරිකන් එක්සත් ජනපදය මේ වසර අග දී තම ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තෝරාගැනීමට වැඩි ඉඩක් ඇත්තේ ජාතිකත්වය මත පදනම් වී. ට්‍රම්ප් කතාකරන්නේ ඇමරිකන් ජාතිකත්වයට, ඒ පදනම් වූ සංස්කෘතියට. ට්‍රම්ප් මෙක්සිකන් සම්භවයක් ඇති ජනයාටත් මුස්ලිම් ජනයාටත් විරුද්ධව කතාකරනවා. ඔහු ඔවුන්ගේ සංස්කෘති ඇමරිකාවේ ව්‍යාප්තවනවා දකින්නට කැමති නැහැ.

කැමරන්ට ඇත්තේ ස්කොට් සම්භවයක්. ඔහු ස්කොට්ලන්තය බිරිතානියෙන් හා එක්සත් රාජධානියෙන් වෙන් වනවාට විරුද්ධයි. එහෙත් ඔහු බිරිතානිය යුරෝපා සංගමයෙන් වෙන්වනවාට විරුද්ධයි. පසුගියදා ඔහු වෙනුවෙන් කතාකිරීමට ලංකාවෙන් තුන්දෙනකු ගොස් තිබෙනවා. ඒ හිරාන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා හා රෝසි සේනානායක. රනිල් ද බිරිතානිය යුරෝපා සංගමයෙන් වෙනවනවාට විරුද්ධව ප්‍රකාශයක් කර තිබෙනවා. මොවුන්ට අනුව බිරිතානිය යුරෝපා සංගමයෙන් වෙන්වීම ලංකාවට ද ආර්ථික වශයෙන් බලපානවා. 

යුරෝපා සංගමය පසුගිය දා ලංකාවෙන් මත්ස්‍ය ආනයනය කිරීමට විරුද්ධව පනවා තිබූ තහංචි ඉවත්කර ගත්තා. වසර අවසන් වන විට ජී එස් පී සහනයත් ලංකාවට ලබාදෙන බව පවසනවා. යුරෝපා සංගමයේ නායකයන්, එංගලන්තයේ නායකයන් හා ලංකාවේ රනිල්ලා ද ක්‍රියාත්මක වන්නේ එකට. එක්සත් ජාතික පක්‍ෂය ලෝකයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ සාමාජිකයෙක්. එංගලන්තය හා යුරෝපා සංගමය ඉන්දියාවත් ඇමරිකාවත් සමග එකතු වී මහින්ද සිංගප්පුරු වසන්තය මගින් පරාජය කර සිරිසේන දඩමීමා කරගෙන රනිල් බලයට පත්කෙරුවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කර දෙමළ ජාතිවාදයට  දොළ පිදේනි දීම සඳහා. මොවුන්ට එකට සිටින්නට අවශ්‍යයයි. එංගලන්තයේ ජනතාවගෙන් බහුතරයට එසේ අවශ්‍ය නැතිවුවත් නායකයන්ට යුරෝපා සංගමය සමග එකට සිටීමට අවශ්‍යයි. යුරොපා සංගමය රනිල්ගේ ආණ්ඩුවට සහන සලසන්නේ රනිල්ගේවත් මෛත්‍රිපාලගේවත් ඇති රාජ්‍යතාන්ත්‍රික දක්‍ෂතාවක් නිසා නොව, රනිල් ඔවුන්ට අවශ්‍ය අන්දමට සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන බැවින්. රනිල්ටත් බිරිතානිය යුරෝපා සංගමයෙහි රඳවා ගැනීම අවශ්‍ය වෙනවා. 

එහෙත් එංගලන්තයේ ජීවත්වන ලංකාවෙන් ගිය අයටත් බිරිතානිය යුරෝපා සංගමයේ රැඳී සිටීම පාඩුයි. ඔවුන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමේ දී වැඩිපුර ගෙවන්න වෙනවා. එංගලන්තයේ රැකියා සඳහා යුරෝපා සංගමයේ රටවලින් එන ජනයාට ලංකාව වැනි  පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් එන අයට වඩා විශේෂ වාසි ලැබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එක් අතකින් බිරිතානි අධිරාජ්‍යය පවත්වාගෙන යෑමක්. කැමරන්  පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මේලනයට ලංකාවට පැමිණ ඒකත් ගසා කෑවා. ඒ අතර ඔහු සිංහල ජාතිකත්වයටත් පහර දුන්නා. කැමරන්ට පොදු රාජ්‍ය මණ්ඩලයට වඩා යුරෝපා සංගමය අවශ්‍යයි. රනිල්ටත් පොදු රාජ්‍ය මණ්ඩලයට වඩා යුරෝපා සංගමය අවශ්‍යයයි. ලංකාවේ ජීවත්වන සාමාන්‍ය සිංහලයන්ට මේ දෙකම අවශ්‍ය නැහැ. එංගලන්තයේ  ජීවත්වන බොහෝ සිංහලයන්ට යුරෝපා සංගමයට වඩා පොදු රාජ්‍ය මණ්ඩලය අවශ්‍යයයි. 

අපට තිබෙන ප්‍රශ්නයක් නම් දේශපාලනඥයන්ට හා ජනමාධ්‍යයට උඩින් ගොස් එංගලන්තයේ හා ඇමරිකාවේ සිටින සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කිරීමට නොහැකිවීමයි. දේශපාලනඥයන් බොහෝ විට ජනතාවගේ ඊනියා නියෝජිතයන් වුනත් ජනතාව නියෝජනය කරන්නේ නැහැ. මෙය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති පරස්පරයක්, විසංවාදයක්. ඒ රටවල,දේශපාලනඥයන් හා ජනමාධ්‍ය එකතු වී ජනතාව නොමග යවනවා.  ජූනි 23වැනි දා එංගලන්තයේ ජනතාව දේශපාලනඥයන්ට එරෙහි වී යුරෝපා සංගමයෙන්  ඉවත්වීමට තීන්දුවක් ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. එය ඉංගිරිසි ජාතිකත්වය නැවත මතුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.  



මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 ජූනි 20