Main Logo

Sunday 19 June 2016

සංහිඳියාවක් අවශ්‍ය නැහැ

සංහිඳියාවක් අවශ්‍ය නැහැ

සංහිඳියාවක් ගැන දැන් කලක සිට කතාවෙනවා. මෙය රෙකන්සිලියේෂන් කියන ඉංගිරිසි වචනය සිංහලට පරිවර්තනය කෙරී ඇති ආකාරයයි. මේ වචනය මෙරට දේශපාලනයට ඇතුල් කෙරෙනුයේ බටහිරයන් විසින්මයි. මෙරට දෙමළ ජාතිවාදය  ඇතිකෙළේත් බටහිරයන්මයි. ඔවුන් ඇතිකළ දෙමළ ජාතිවාදය ඔවුන්ගේ ද අනුග්‍රහයෙන් හා පසුව ඉන්දියාවේ ද ආධාරයෙන් දෙමළ ත්‍රස්තවාදයක් දක්වා විකාශය වී නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණා. ඒ සමග දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. එහෙත් අප නිතර කියන ආකාරයට ඒ දේශපාලනික ජයග්‍රහණය නෛතික ජයග්‍රහණයක් බවට පත්කරන්න බෑරි වුණා. එයට අප සියල්ලන් ම වරදකරුවන්. ඒත් ඒ වරද නිවැරදි කරගන්න පුළුවන්.


බටහිරයන් රෙන්කන්සිලියේෂන් කියන සංකල්පය අප මත දැම්මේ අපේ ඒ වරද උපයෝගී කරගනිමින්. රෙන්කන්සිලියේෂන් කියන්නේ යළි සමාදානවීමක්, යළි හාදවීමක්, යළි මිතුරුවීමක් වැන්නකට. රෙ කියන පෙර ඇඳිය- ප්රිෆික්ස්- අවශ්‍ය නම් උපසර්ගය මෙහි දී  යෙදෙනවා. අප එය සංහිඳියාව ලෙස පරිවර්තනය කරගත්තත් ඒ සංකල්පය අප මත බලයෙන් පැටවූ බටහිරයන් හිතන්නේ යළි යන අර්ථයෙන්. මේ සංකල්පය මෑතදී දේශපාලනයට ආවේ දකුණු අප්‍රිකාව මගින්. දකුණු අප්‍රිකාවේ තිබුණේ අෆ්‍රිිකාන් සුද්දන්ගේ දරුණු යටත්විජිතවාදයක්. මේ සුද්දන්ගේ ප්‍රධාන සම්භවය ලන්දේසි. ඔවුන් දැන් කතාකරන භාෂාව ලන්දේසි භාෂාවෙන් බිඳී ආවක්. ඔවුන්ගේ යටත්විජිතවාදය වර්ණභේදවාදයක් ද වුණා. කළු දකුණු අප්‍රිකානුවන් අති විශාල බහුතරය සුද්දන් සුළුතරයක් මගින් ඉතා දරුණු සූරාකෑමකට ලක්කෙරුණා. රටේ ආර්ථිකය හා දේශපාලනය සම්පුර්ණයෙන් ම මෙහෙයවුණේ සුද්දන් අතින්. 

දකුණු අප්‍රිකාවේ ප්‍රශ්නයට මුල්වුනේ සුද්දන්ට කළු ජනයා ඉතා විශාල වශයෙන් ඝාතනය කිරීමට නොහැකිවීමයි.ඕස්ටේ‍ර්ලියාවට, නවසීලන්තයට, උතුරු ඇමරිකාවට ගිය ඉංගිරිසි සුද්දන් එහි ජීවත් වූ ජනයා මුළුමනින් ම මෙන් ඝාතනය කළා. ටික දෙනකු පමණක් ඉතිරි වූවා. ඔවුන්ට අනාගතයක් නැහැ. මුළු රට ම සුද්දන්ගේ ග්‍රහණයට හසුවූවා. එය එක්තරා ආකාරයකින් නේවාසික සමූලඝාතක යටත්විජිතවාදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ යටත්විජිතවාදය අප රටවල ක්‍රියාත්මක වුනේ නැහැ. අප රටවල ක්‍රියාත්මක වුනේ නිලධාරි සංස්කෘතික යටත්විජිතවාදයක්. අපට සුද්දන්ට මෙන් ප්‍රවාද නොමැතිවීමත්, දීර්ඝකාලීන දේශපාලනික සැලසුම් නොතිබීමත් හේතුවෙන් සුදු නිලධාරීන් කිහිප දෙනකුට අප පාලනය කිරීමට හැකිවූවා. ඔවුන් එහි දී අප පිරිසක් සංස්කෘතික යටත්විජිතවාදය මගින් අධ්‍යාපනය ඔස්සේ ඔවුන් ලෙස සිතන ඔවුන්ගේ ම පිරිසක් බවට පත්කරගත්තා.  දනටත් මේ යටත්විජිතවාදය ක්‍රියාත්මක වෙනවා. දැන් අධ්‍යාපනයට ජනමාධ්‍යයත් එකතු කරගෙන. 

දකුණු ඇමරිකාවේ රටවල ක්‍රියාත්මක වූයේ වෙන ම යටත්විජිතවාදයක්. ඒ රටවල් යටත්කර ගැනුණේ මූලික වශයෙන් ස්පාඤ්ඥයන් විසින්. පෘතුගීසීන් සමහර රටවල් යටත්කළා. ස්පාඤ්ඤයන් හා පෘතුගීසින් යටත්විජිත ඇති කෙළේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ළදරු අවධියේමයි. ඔවුන් කතෝලිකයන්. ඔවුන් කතෝලික ආගමෙන් කැඩී රෙපරමාදු (ඉංගිරිසියෙන් රෙෆොර්මේෂන්- නැවත සෑදීමක් ලෙසයි ඔවුන් එය අර්ථකථනය කෙළේ ) ආගම් පැතිරීමට පෙර යටත්විජිතවාදයේ නිරත වූවා. ඔවුන් රටවැසියන් ඝාතනය කරන අතර ඔවුන් සමග මිශ්‍ර වූවා. තම භාෂාව, සංස්කෘතිය හා ආගම රටවැසියනට දුන්නා. ඔවුන් ඒ රටවල පදිංචිවීමට මැළි වූයේ නැහැ. මේ රටවල් ලතින් ඇමරිකානු රටවල් ලෙස හැඳින්වෙන්නේ පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ භාෂාවල ලතින් සම්භවය හේතුවෙන්. මේ යටත්විජිතවාදය මිශ්‍ර යටත්විජ්තවාදය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි ආභාසයක් ලංකාවේත්  පෘතුගිසින් සිටි අවධියේ දකින්නට පුළුවන්. අපේ රටේ කතෝලික ජනතාව, විවිධ ක්‍රිස්තියානි නිකායවල ජනතාවට වඩා වැඩියි. බර්ගර් නමින් සිටි ජනතාවත්  සිංහලයන් අතර ඇති පෘතුගිසි සංස්කෘතික ලක්‍ෂණත් මෙයට උදාහරණ.

ලංකාවේ මේ එක යටත්විජිතවාදයක්වත් සිංහලයන් අතින් දෙමළ ජනයා මත ක්‍රියාත්මක වූයේ නැහැ. සංහිඳියාව වැනි වචනවලින් ගම්‍යවන්නේ එවැනි යටත්විජිතවාදයක්. සිංහලයන් දෙමළ ජනයාට පසුව මෙරටට පැමිණ සිංහල යටත්විජ්තවාදයක් මෙරට ඇති කෙළේ නැහැ. අපේ ඉතිහාසය දකුණු අප්‍රිකාවට කිසිසේත් සමාන වන්නේ නැහැ. දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් ඇත්තේ මෑත ලන්දේසීන් නිසා. ලන්දේසීන් අප රටට මෙන් ම දකුණු අප්‍රිකාවටත් වෙල්ලාල ජනයා රැගෙන ගියා. මේ රටවල් දෙකේ ම ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේ සි නීතිය. සමානකම් ඇත්තේ එපමණයි. 

දකුණු අප්‍රිකාවේ අප්‍රිකානුවන් අවසානයේදී මැන්ඩෙලාගේ නායකත්වයෙන් සුද්දන්ට විරුද්ධව සටන් කළා. මේ සටනින් කිසිවකුට පූර්ණ ජයක් ලබාගැනීමට බැරිවුණා. අවසානයේ දී සුද්දන් හා මැන්ඩෙලා අතර මිත්‍රත්වයක් ඇතිවුනා. එහි ප්‍රතිඵලයක් ලෙස සුද්දන්ට, අෆ්‍රිකාන් සුද්දන්ට, ආර්ථික බලයත්් අප්‍රිකානුවන්ට නාමික දේශපාලන බලයත් ලැබෙන ලෙස කටයුතු සිද්ධ වුනා. අප්‍රිකානුවන් රැවටුනා. මැන්ඩෙලාට බටහිරයන් සලකන්නේ නිකම් නොවෙයි. බටහිරයන් සලකන්නේ තම සංස්කෘතිය ආර්ථිකය දේශපාලනය රැකගැනීමට, වර්ධනය කිරීමට කටයුතු කරන්නන්ට පමණක් බව අමතක කරන්න එපා.  

අපේ රටේ සිදුවූයේ සම්පුර්ණයෙන් ම වෙනස් දෙයක්. සුද්දන් (ලන්දේසි හා ඉංගිරිසි) සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට දෙමළ ජාතිවාදය එදත් අදත් යොදාගන්නවා. අප දෙමළ ජාතිවාදය පරාජය කර අවසන්. තවත් ඊනියා සංහිඳියා අවශ්‍ය නැහැ. ඊනියා සංහිඳියාවේ එකම තේරුම සිංහල යටත්විජිතවාදයක් ඇති බව පෙන්වමින් තවදුරටත් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑමයි. අප්‍රිකානු කළු ජාතිකයන්ට මෙන් දෙමළ ජනයාට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි වරදක් සිදුවන්නේ නැහැ. අදත් ලෝකයේ කිසිම රටකට, ඉන්දියාවට ද වඩා ලංකාවේ දෙමළ ජනයාට වරප්‍රසාද අයිතිවාසිකම් තිබෙනවා. මගේ ගමන් බලපත්‍රයෙහි දෙමළ අකුරු දැක චෙන්නායි දෙමළ සම්භවයක් ඇති අයකු පුදුමයට පත්වුනා. බටහිරයන් අපේ කටයුතුවලට ඇඟිලි ගසන්නේ නැත්නම් අපට ඊනියා ජනවාර්ගික ප්‍රභ්නයක් නැහැ. 




මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 ජූනි 19