Main Logo

Friday 17 June 2016

යුද්ධය

යුද්ධය

සංකල්ප යනු අවසාන වශයෙන් ගත්කල වත්මන් වැඩිහිටි සමාජයේ නම් වචනයි. එහෙත් සෑම විට ම ඒ එසේ ම වන්නේ නැහැ. භාෂාවක් කතාකිරීමට පෙර ළදරුවන්ට ද සංකල්ප තිබෙනවා. ඔවුන් තම මව ආදීන් හඳුනාගැනීමේ දී සංකල්ප යොදා ගන්නා බව පැහැදිලියි. චිත්‍රශිල්පීන් තම අදහස් සංකල්ප ආදිය චිත්‍ර මගින් ප්‍රකාශ කරනවා. සංගීතඥයන් ඒ සංගීතය මගින් කරනවා. ගීතයෙහි දී නම් සංගීතයෙන් ද වචනවලින් ද අදහස් ප්‍රකාශ කෙරෙනවා. ඉඟියෙන් නැටුමෙන් ආදී වශයෙන් ද අදහස් ප්‍රකාශ කෙරෙනවා. ඒ කොහොම වුණත් අද සමාජයේ අතිවිශාල බහුතරය අදහස් ප්‍රකාශ කරන්නේ වචනවලින්. 


බටහිරයන් වචන යොදා ගන්නේ ඉතා පරෙස්සමෙන්. අපට ඒ පරෙස්සම නැහැ. බටහිරයන් ඇතිකරපු අධ්‍යාපනයෙන්වත් ඒ පරෙස්සම අපට ලබාගන්න බැහැ. සමහරවිට අප ඒ පරෙස්සම ගන්නේ නැතිවා වන්න පුළුවන්. අපේ සංස්කෘතියට බටහිර අධ්‍යාපනය ආරෝපණයක් හෝ අනුකරණයක් හෝ පමණයි. එය අපට කිඳා බහින්නේ නැහැ. බටහිර විද්‍යාව ජීවිතයට අවශෝෂණය කරගත් අය අප අතර නැහැ. බොහෝ උගතුන් බටහිර විද්‍යාවට මහා ඉහළින් සලකනවා. එහෙත් ඔවුන්ට බටහිර විද්‍යාවේ සංකල්පයක්, ප්‍රවාදයක් නිර්මාණය කරගන්න බැහැ.

අද ජෙනීවාහි ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ ලංකාව සම්බන්ධ මූලික ප්‍රශ්නය වී ඇත්තේ යුද්ධයෙන් මියගිය අයගේ, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය. මෙය කෙසේවත් ලංකාවට ප්‍රශ්නයක් විය යුතු නැහැ. අප කළ යුතුව තිබුණේ ජෙනීවා කොමිසමට කුද ගහගන්න කීමයි. එහෙත් අප එසේ කෙළේ නැහැ. අද කොහොමටත් කරන්නේ නැහැ. යුද්ධයෙන් අතුරුදහන් වූ අය ගැන සෙවීමට බාහිර හෝ අභ්‍යන්තර හෝ පරීක්‍ෂණ අවශ්‍ය නැහැ. එයට හේතුව මෙරට යුද්ධයක් නොතිබීමයි. යුද්ධයක් නොතිබිණි නම් යුද්ධයෙන් අතුරුදහන් වූවනුත් නැහැ. 

එල් ටී ටී ඊ හෙවත් බොහෝ දෙනා කියන ආකාරයට කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන් සමග අප රටේ සිවිල් යුද්ධයක් තිබුණේ නැහැ. එය රටවල් දෙකක් අතර යුද්ධයක් යැයි කීමටත් බැහැ. අප කිහිප වරක් ම පෙන්වා දුන්නේ කොටි සංවිධානය සමග යුද්ධයක් තිබුණේ නම් 1971 දිත් 1987-90 කාලයේ දීත් ජ වි පෙ සමගත් යුද්ධයක් තිබුණු බවයි. ජ වි පෙ සමගත් තිබුණේ යුද්ධයක් යැයි කියා ඇත්තේ මුහුණු පොතේ ප්‍රතිචාර දැක්වූ  එක් අයකු පමණක් යැයි සිතෙනවා. අප නිරන්තරයෙන් නැගූ ප්‍රශ්නයක් වූයේ ජ වි පෙ අරගල කළ කාලයේ මානව අයිතිවාසිකම් අතුරුදහන් වූවන් ගැන සෙවීමට බාහිර හෝ අභ්‍යන්තර හෝ කොමිසම් පත් නොකළේ ඇයි ද යන්නයි. ඒ සමය ගැන කතාකරන විට කිසිවකු යුද්ධාපරාධ ගැන කියන්නේ නැහැ. 

අඩු තරමෙන් ජ වි පෙරමුණවත් ඉන් කැඩී ගිය පක්‍ෂවත් මේ දෙබිඩි පිළිවෙත ගැන වචනයක්වත් කියන්නේ නැහැ. දෙමළ ත්‍රස්තවාදය පැරදවීම පිළිබඳ ව මතවාදී නායකත්වය දුන්නේ තම තමන් යැයි කියන අයවත් මේ වෙනස ගැන කතාකරන්නේ නැහැ. අප සැම විට ම කියා සිටියේ කොටි සංවිධානය සමයේ සිදු වී යැයි කියන ඊනියා යුද්ධාපරාධ ගැන සෙවීමට පළමුව ජ වි පෙ සමයේ සිදු වූ දේ ගැන සෙවීමට කොමිසමක් පත්කළ යුතු බවයි. එයින් අප අදහස් කෙළේ ජ වි පෙ සමග ආණ්ඩුව යුද්ධයක් කළ බව නොව කොටි සංවිධානය සමග ද යුද්ධයක් නොකළ බව ය. 

කොටි සංවිධානය සමග යුද්ධයක් නොතිබූ බවට තවමත් රටේ මතවාදයක් ඇති වී නැහැ. බොහෝ දෙනා කතාකරන්නේ අප යුද්දෙ දිනුව ආදී වශයෙන් කියමින්. එපමණක් නොවෙයි. ඇතැමුන් මෙය ඊළාම් යුද්ධය යනුවෙන් හඳුන්වා පළමුවැනි, දෙවැනි, තුන්වැනි හා හතරවැනි ඊළාම් යුද්ධ හතරක් ගැන කතාකරනවා. එසේ කළ පළමු තැනැත්තා මහා ජනමාධ්‍යවේදියකු ලෙස උගත් සමාජයේ නමක් ඇතිකරගෙන තිබූ මර්වින් ද සිල්වා. ඔහු ඩේලි නිවුස් පත්‍රයෙහි කතුවරයකු වූ අතර ලංකා ගාඩියන් නමින් ජාතිකත්වයට විරුද්ධ සඟරාවක් පළකළා. ජාතිකවාදිනියක් යැයි කිවහැකි අයකු ද වෙබ් අඩවියක ඒ යුද්ධ හතර ගැන සඳහන් කරනවා මදිවාට යුද්ධය ජයගැනීම පිළිබඳ වෙනත් අය කරන ප්‍රකාශ අතර මගේ ප්‍රකාශකයක් ද පළකර තිබෙනවා! මා එවැනි ප්‍රකාශයක් කර නැහැ. යුද්ධයක් නැතිව යුද්ධයක් ජයගැනීමක් ගැන කියන්නේ කෙසේ ද?

බටහිරයන්ට යුද්ධාපරාධ ගැන කතාකිරීමට හැකි වී ඇත්තේ අප බහුතරයත් යුද්ධයක් තිබූ බව පිළිගන්නා නිසා. මෙරට සිවිල් යුද්ධයක් හෝ රටවල් දෙකක් අතර යුද්ධයක් හෝ තිබුණේ නැහැ. ජ වි පෙ හා කොටි සංවිධානය යන දෙකම රාජ්‍යයට විරුද්ධව අවිගත් දේශපාලනික කණ්ඩායම් දෙකක්. ජ වි පෙ පුහු මාක්ස්වාදී දර්ශනයක පිහිටා ඊනියා කම්කරු රාජ්‍යයක්, ඔවුන් කී ආකාරයෙන් නිර්ධනයන්ගේ රාජ්‍යයක්, පිහිටුවීමට එසේ කළා. කොටි සංවිධානය දෙමළ ජාතිවාදයේ විකාශයක් ලෙස රාජ්‍යයෙන් කැඩී වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට අවි ගත්තා. ඒ දෙකම දේශපාලනික ව හමුදා ක්‍රියාමාර්ග මගින් පරාජය කෙරුණා. හමුදා ක්‍රියාමාර්ගත් දේශපාලනය ම තමයි. දෙමළ ජාතිවාදයේ් විකාශය පිළිබඳ සංකල්පයත් සමාජගත වී නැහැ. ජනමාධ්‍යවල, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යවල අනුග්‍රහය ලබන මතවාදී පඬිවරුන්්වත් ඒ පිළිබඳ කිසිවක් කර නැහැ. අපට ජනමාධ්‍යවලින් අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. විද්‍යුත් ජනමාධ්‍ය අප කොන්කරළා. අපට කළහැක්කේ මුහුණු පොතෙන් හා වෙබ් අඩවියෙන් කරන සීිමිත කාර්යයක් පමණයි. 

ජ වි පෙ සම්බන්ධවත් කොටි සංවිධානය සම්බන්ධවත් සිදුවී ඇත්තේ රාජ්‍යයට විරුද්”ධව අවිගත් කණ්ඩායම් පරාජය කිරීමට හමුදාව යෙදවීම පමණයි. ඒ හමුදා මෙහෙයුමක් මිස යුද්ධයක් නෙවෙයි. හමුදා මෙහෙයුම් කිරීම වරදක් ද? කොටි සංවිධානයට එරෙහි හමුදා මෙහෙයුම්වල දී අතුරුදහන් වූ අය ගැන සෙවීමට පරණගම කොමිසම පත්කළා. සුදුසු නම් එහි නිර්දේශ ක්‍රියාත්මක කළ හැකියි. එපමණයි, එතනින් එහාට යෑමට අවශ්‍ය නැහැ. ඒ කොමිසමේ වාර්තා වෙනත් කොමිසම්වලට නීතියෙන් ම ලබාදෙන්නේ කුමකට ද? ආණ්ඩුවක ප්‍රධාන කාර්යය රාජ්‍යය ආරක්‍ෂා කිරීමයි. යමපාලන ආණ්ඩුව එසේ නොකරන්නේ එය රාජ්‍ය විරෝධී ආණ්ඩුවක් නිසයි. රාජ්‍ය විරෝධී ආණ්ඩු ද ඇතිවිය හැකි බවට හොඳම නිදර්ශනය යමපාලන ආණ්ඩුවයි. මතවාදී විශේෂඥයන්වත් පඬිවරුන්වත් ජනමාධ්‍යවත් ඒ අදහසටත් වැදගත්කමක් දෙන්නේ නැහැ. කොටි සංවිධානයට විරුද්ධව යුද්ධයක් තිබුණේ නැහැ. දැන්වත් ඒ මතය ගැන සැලකිල්ලක් දැක්වීමට මතවාදී විශේෂඥයන්ට හැකිවේවි ද? 


මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා

2016 ජූනි 17