Tuesday 31 May 2016

නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading


"මම ආමි!" කියා කවුරුන් හෝ කී විට "ආ, ඇත්තද? මං හිතුවේ නේවි ය කියලා!" යැයි කියවෙන සරදම් බස විචාරකලා, කල්‍යාණ මිත්‍රලා, නොකී කතාලා පමණක් නොව ඔහේලා අපි ද දනිමු. ඒ ආකාරයේ ම තවත් පට්ට ගැසූ කෑල්ලක් වනුයේ "මං නොකියා එකක් ගත්තා!" කීමත්, එයට පිළිතුරු ලෙස, "ඇයි ඉතිං නොකියාම ගත්තේ?" හෝ "ඇයි ඉතිං කලින් නොකීවේ?" හෝ "කමක් නෑ පස්සේ හරි මතක් කළා නේ!" වැනි යමක් කීමයි.

මම ද, වසර 1999 දී නොකියාම නොකියා එකක් ගත්තෙමි.

ඕස්ට්‍රේලියාවේ මා දන්නා කාලයේ සිට ක්‍රියාත්මක වුණු ජංගම දුරකථන සමාගම් වූ ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් ද්වයට අමතරව මේ වන විට වෝඩාෆොන් නම් යුරෝපියානු ජංගම දුරකථන සමාගමේ ශාඛා ජාලයක් ද ඇරඹී තිබුණු අතර, මගේ මතකයට අනුව, මූලිකව සීඩීඑම්ඒ තාක්‍ෂණය හරහා ක්‍රියාත්මක වූ ඔරේන්ජ් නම් වූ ජාලයක් ද ඇරඹී තිබුණි.

තරගකාරීත්වය නිසා ජංගම දුරකථන වෙළඳ පොළ රත් වී තිබුණු මේ සමයේ සෑම සමාගමකම පාහේ කෙටිකාලීන අරමුණ වූයේ තමන් ගේ පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමයි. මේ සඳහා, රාත්‍රී කාලයේ එකම ජාලවල ජංගම දුරකථන අතර නොමිලේ ඇමතුම් වැනි වෙළඳ උපක්‍රම ඔවුන් විසින් භාවිත කරන ලදී. විශේෂයෙන් ම ජංගම දුරකථන සමාගම්වල සේවා නැවත අළෙවි කරන සමාගම් නොහොත් රී-සෙලර්ස් විසින් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට අසමසම සේවාවන් ලබා දෙන ලදී.

මේ සඳහා හොඳම උදාහරණය වූයේ ඔප්ටස් සමාගම විසින් සැම සතියේ දිනකම රාත්‍රී අටේ සිට මැදියම දක්වාද, සති අන්තෙයේ සෙනසුරාදා රාත්‍රී අටේ සිට ඉරිදා අවසානය දක්වා ද වරකට විනාඩි විස්සක් තම ජාලයේ දුරකථන අතර නොමිලේ ඇමතීමට ඉඩ දුන් "යර්ස්-ටයිම්" නම් සැළසුමයි.

අලුතෙන් ම පිටියට බට වෝඩාෆොන් තමන් ගේ ජාලයට එක්වන ගිනුම් හිමියන් සඳහා පෙර කී යර්ස්-ටයිම් කාලයේ ඕනැම ස්ථිර දුරකථනයකට නොමිලේ මසකට විනාඩි 200 ක් ඇමතීමට හැකි සැළසුමක් ඉදිරිපත් කළේය. ඔවුන් ගේ සේවා නැවත විකුණන සමාගමක් විසින් එක්තරා විශේෂී කාල සීමාවක මේ නොමිලේ ඇමතුම් විනාඩි ප්‍රමාණය දෙගුණයක් කර ලබා දුනි.

මා නොකියාම නොකියාවක් ගත්තේ ඒ සමාගමෙන්, ඒ විශේෂ දීමනා කාලයේ ය.



මට ලැබුණු, නොකියා 6210 (හෝ ඒ සමාන මොඩල අංකයක) ජංගම දුරකථනය සඳහා මට ගෙවීමට සිදුවූයේ එක් ඩොලරයක් පමණක් වූ අතර, මසකට ඩොලර් නමයක ගාස්තුවකට මට පෙර කී පරිදි විනාඩි 400 නොමිලේ ඇමතුම් ලැබුණි. ඉතාමත් හදිසි වැඩකට මිස ජංගම දුරකථනයක් භාවිතා කිරීමට මේ වන විටත් සෑබෑ අවශ්‍යතාවක් නොතිබුණු නිසා, මට අමතර ඇමතුම් සඳහා ගෙවිය යුතු වූයේ කලාතුරකින් සුළු මුදලක් පමණි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ "එස්එම්එස්" නොහොත් කෙටි පණිවිඩ සේවය ආරම්භ වී තිබුණු අතර ඒ සඳහා ගාස්තුව ශත විසිපහක් (අද මුදලින් රුපියල් තිහක්) ද විනාඩියක ඇමතුමක් ශත හැටක් ද පමණ විය.

මගේ නොකියාවේ ස්ථාවරව ස්ථාපනය කර තිබුණු "ස්නේක්" සහ "ස්පේස් ඉම්පැක්ට්" ක්‍රීඩා තවමත් මගේ මතකයේ ඇත!

එතැනින් ඇරඹුණු මගේ නොකියා සම්බන්ධයේ ඊළඟ පියවර වූයේ ප්‍රමාණයෙන් වඩාත් සුරුබුහුටි මොඩලයක් වූ 3310 (හෝ එවැනි ඟොඩලයක) ජංගම දුරකථනයි. එය මගේ බිරිඳ දෙවසරක් ම පාවිච්චි කළ පසු, මා ඇය ගේ උපන් දිනයට 2004 දී කැමරාවකින් ද, අන්තර්ජාල සම්බන්ධතාවකින් ද, වීඩියෝ ඇමතුම් දීමේ පහසුකමින් ද යුතු වූ මෝටරෝලා දුරකථනයක් මිළට ගෙන දුන් පසුව, ඉවත් කරන ලද දුරකථනය විය.



මද කලකට පසු ඒ දුරකනය ක්‍රමයෙන් අභාවයට යන ලකුණු පෙන්වන්ණට වූ අතර, මා එවර මිලට ගත්තේ ද නොකියාවකි. එය කිසිම සමාගමක් සමග ගිවිසුමකට නොබැඳී, අද ලංකාවේ අති බහුතරයක් දෙනා කරන්නාක් මෙන්, පෙර ගෙවීම් හෙවත් රී-ලෝඩ් ක්‍රමයෙන් භාවිතා කිරීමට ගත් අඩු මිල දුරකථනයක් විය.

වසර 2007 දී මා විශ්ව විද්‍යාල කෙරුවාවෙන් මිදී, වෘත්තීමය වෙනසක් පතා, බිස්නස් ඇනලිස්ට්වරයෙකු සේ ප්‍රාන්ත රජයේ සේවයට බැඳුනෙමි. මගේ කළමනාකරුවා අත තිබූ බ්ලැක්බෙරි නම්, සම්පුර්ණ QWERTY යතුරු පුවරුව ද, මුහුණතේ ඉතිරි අඩක් පැතුරුණු විශාල තිරය ද සහිත ජංගම දුරකථනය මා නෙත ගැටුණේ එහිදී ය.

එතැන් සිට කතාව වෙනම ම ලිවිය යුතු ය.

-රසිකොලොජිස්ට්

(images: http://en.yeni.mobi/images/?q=Nokia+logo; https://en.wikipedia.org/wiki/Nokia_6210; http://www.neogaf.com/forum/showthread.php?t=633931)

37 comments:

  1. සිඩ්නි වල ඉන්න මගේ මිතුරා පුලතිසි (පේරා) කිව්වා රසික මොකක් හරි දෙයක් ගැන කතා කරන්න ගියාම ඒක ගැන අනික් මිනිස්සුන්ට අහං ඉන්න එපා වෙනකං දොඩවනවා කියලා.

    දැන් මේ රසික ගේ ජංගම දුරකථන ගැන හෑලි දැක්කම ඒක ඇත්ත කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මං හිතාගත්තා ආයි ඒ ගොං කතා නොකියන්න. පේනවා නේ.. ලැයිස්තුව දික් වෙනවා. රසික මහන්සි වෙනවා.. මේ වගේ ලින්ක් හතර පහක් එකවර දැමීමේදි ඔබ කරන ආකාරය කුමක්ද?? මට නං ඉතා වෙහෙසකර කාර්යයකි මෙය..

      Delete
    2. ලින්ක් දැම්මට වැඩක් නෑ රසික. මේව්වා කියවන කෙනෙක් නෑ. රසිකට හොදයි පොඩි මානසික වින්දයක් ලබාගන්න ලින්ක් ටික දාලා.

      Delete
    3. @ දේශක යා
      අමුතු දෙයක් නොවේ, සාමාන්‍ය HTML A ටැග්එකම ය.

      කොපි පේස්ට් පමණි. එනිසා වෙහෙසක් නැත.

      Delete
    4. @ Anonymous
      මින් පෙර ලියූ ලිපි සෑහෙන පිරිසක් විසින් කියවා ප්‍රතිචාර දක්වා ඇති බව සතුටෙන් දන්වමි.

      එසේ වුවත්, අද මා ඉන්ටර්නෙටයට එකතු කරන සිංහල අන්තර්ගතය අද ම කියවීමට අවශ්‍ය නොවේ. වසර ගණනාවකින් වුව ද අවශ්‍ය අයෙකුට කියවීමට ගූගල්ලා මේවා ගලේ කොටා තබනු ඇත.

      Delete
    5. ඇස් රිදෙනකං කතන්දරකාරය කියල හාදයෙකු‍ගෙ කයි කතන්දර කියෙව්ව අපට එපාවීම ගැන කියන්න එපා මහත්තයෝ.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. රාජ් මට ඩින්ගක් ඉස්සරවෙලා නෙව.

      Delete
  2. රසිකගෙ බ්ලොගය ටික ටික නීරස වේගෙන එනව වගේ දැනෙනවා මටනම්.
    ලියන්න මාතෘකා හිගයක්ද මංදා.
    කමක් නෑ ඉතිං ඒක කාටවත් පාන්යැ නේද.

    ReplyDelete
    Replies
    1. මෙන්න මගේ ප්‍රතිචාරය

      1. මේ ලිපියේ මාතෘකාව - නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading වේ.

      2. මාතෘකා නොව හිඟ වී ඇත්තේ කාලයයි.

      3. ඔබ එතැන දී නම් නිවැරදියි!

      Delete
  3. දුරකතනයක් කතා කරයි කියලා මේ ටික ලියන්න තිබ්බේ :D

    ReplyDelete
    Replies
    1. "දුරකතන අයිතිකරුවෙක් කතා කරයි!"

      මෙතැන දුරකතන කිහිපයක් ගැන සඳහන් වී ඇත.

      Delete
  4. මේක හරියන්නෑ.. වර්තමානය ඉක්මනට වර. අපි මේ බලං ඉන්නේ රසික ගත්ත අලුත් එක මොකක්ද කියල බලන්න නෙ.. අර 3310 මාත් හෙන කාලයක් පාවිච්චි කරා..

    ReplyDelete
  5. මා මුලින්ම මිලදී ගත් ජංගම දුරකථනයද නොකියා 6210 දුරකථනයක් විය යුතුය. පිටුපස යට කොටසේ බැටරිය තරමක් ඉදිරියට නෙරා තිබුණේය. 1997දී මා මේ දුරකථනය ඩයලොග් (MTN) සමාගමෙන් මිල දී ගන්නා විට GSM ලංකාවට යාන්තම් හඳුන්වා දුන්නා පමණි. සෙල්ටෙල් හා මොබිටෙල් වල තිබුණේ ඇනලොග් සම්බන්ධතා පමණි. නාවල හන්දිය වැනි තැන්වලත් වැඩ කළේ සිග්නල් බාර් එකේ කට්ට පහෙන් එකක් හෝ දෙකක් පමණි. එහෙත්, මා සිතූ පරිදිම මෙම ජාලය ඉතා ඉක්මණින් ව්‍යාප්ත වූ නිසා මේ තීරණය නරක එකක් නොවීය. එවකට දුරකථනයක මිල රුපියල් 15,000කි. (කිසියම් බද්දක්ද එකතු වී 15,150ක් ගෙවන්නට විය.) මෙහි ආකර්ශනය වූයේ සෙල්ටෙල් හා මොබිටෙල් ඉන්කමින් විනාඩියක් පමණක් දෙද්දී මා ලබාගත් පැකේජයට ඉන්කමින් විනාඩි තුනක් නොමිලේ ලැබීමයි. හමුදාවල නිලධාරී ධුරවලට හා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට වාසිදායක පැකේජ ලැබුණේය. වසර දෙක තුනකට පසුව මිලදී ගත් දෙවන නොකියා දුරකථනයද ඔබේ දෙවන රූපයේ ඇති එක වැනි එකකි. ඇතැම් විය ඒ කාලවල හැමතැනම තිබුණේ මේ නොකියා මාදිලි වන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. ජංගම දුරකථන භාවිතාවේ දී ලංකාව ලෝකයේ ඉදිරියෙන් ම සිටි රටක්. මේ ක්‍ෂේත්‍රයේ පුරෝගාමී සමාගම් සමහර තාක්‍ෂණයන් අත්හදා බැලුවේත් ලංකාවේ ලු.

      ජංගම දුරකථන භාවිතයේ per capita අගයත් ඉහලින් තිබුණා වගේ මතකයි. ඒ නම්, land lines අඩු නිසා!

      Delete
    2. "මේ ක්‍ෂේත්‍රයේ පුරෝගාමී සමාගම් සමහර තාක්‍ෂණයන් අත්හදා බැලුවේත් ලංකාවේ ලු. "

      මම අහල තියන විදියට 072, 078, එවැනි සමාගම් දෙකක්.

      Delete
  6. සෙල්ටෙල් දුරකතන - ඒවයෙ නම නොකියා
    බඩට අපෙ වදින්නේ අපටත් නොකියා
    රට අපේ වැනසෙන්නෙත් අපටම නොකියා
    මේ සිංහල රටටට මොනවාටද නොකියා

    සුද්දන්ටම හොඳයි ඔය කියනා නොකියා
    සිරිපාලට රන්මැණිකාට මොකටද නොකියා
    කාලය නිකං මරමුද බණ පොත් නොකියා
    සද්ධර්මය නසන එක මාවතකි නොකියා

    නොකියා ඉවත ලා සද්ධර්මය ගනිමූ
    සිංහල රටේ කාහල නාදය නඟමු
    රට බෙදනා අදමිටු වෑයම් නසමු
    රට බෙදුමට විරුද්ධව දහසක් බ්ලොග් ලියමු

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න මහන්සි වෙනවා නේද කවි ලියන්න?
      ඔහොම යං අංකල්, ඔහොම යං!

      Delete
    2. මොන මහන්සියක්ද පුතා? කවිකම මට උපතින් පිහිටපු දෙයක්. මම වයස අවුරුදු තුනේදි ඉඳන් කවි ලියනවා.

      Delete
    3. තව දුරටත් දිගින් දිගටම ඉගෙන ගන්න ලැබේවා!

      Delete
  7. මගේ ගාව දැන් තියෙන ෆෝන් එකෙත් ස්නේක් ගේම් එක තියෙනව. පේනව නේද අපි කොච්චර ඉස්සරහට ගිහිල්ලද කියල. හැක්..

    ඔය නොකියා 3310 එක ජනප්‍රියම උනේ රීලෝඩ් දාන කඩවල.

    ReplyDelete
    Replies
    1. මාත් කලින් ෆෝන් එක වොෂින් මැෂිමේ දාලා හේදුවාට පස්සේ සිම් එක දා ගන්න කබඩ් එකක තිබිලා හොයා ගත්තු නේකියා එකේත් ස්නේක් ඉන්නවා, මුල් කාලේ වගේ නොවෙයි, වෛවර්ණ නයෙක්!

      Delete
  8. ඔය රටේ පෝස්ට්පේඩ් කනෙක්ෂන් ගන්නකොට ෆෝන් එකත් උංගෙන්ම ගන්න ඕනද? මෙහේ වගේ අ‍පිට ඕන ෆෝන් එකකට සිම් එක දාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. No, it is not mandatory. It's called BYO or SIM only plans. Given the cost of a premium handset, it is always financially viable to buy a phone with a plan.

      Delete
  9. "නොකියා" කියන්නේ ෆින්ලන්ත සමාගමක්නේ. ඔය ෆින්ලන්තේ දී ඇහෙන සමහර චවන, නගරවල නම් නිකං සිංහල සිංහල වගේ . ඒ උනාට තේරෙන සිංහලයකුත් නෑ. කොහෙම උනත් ස්කැන්ඩිනේවියානු රටක එහෙම භාෂාවක් ඇතිවුනේ කොහොමද කියන එක දන්නෑ !

    ReplyDelete
    Replies
    1. නොකියා සමාගමේ නම නොකියා (Nokia) නමැති දකුණු ෆින්ලන්ත නගරය (Pirkanmaa පළාතේ Tampere සිට කිලෝමීටර් 15 බටහිර දී Nokianvirta ගං ඉවුරේ තියෙන) සහ නොකියන්විර්ටා (Nokianvirta) ගඟ මූලික කරගෙන සෑදුන එකක්. භූ විද්‍යා ඉංජිනේරු ෆෙඩ්රික් ඉඩෙස්ටම් (Fredrik Idestam) නිරිත දිග ෆින්ලන්තය (එවකට රුසියානු අධිරාජ්යයේ කොටසක්) තුළ, ටම්පෙරේ නගරයේ දී ටම්මෙර්කොස්කි (Tammerkoski) බෑවුම් ඉවුරු මත දැව පල්ප මෝල් ස්ථාපිත කිරීමත් සමග 1865 දී නොකියා ජංගම දුරකථන සමාගමේ ඉතිහාසය ආරම්භ කරන ලදී.

      Delete
  10. නොකියා කියන්නේ ෆින්ලන්තයේ දකුණු ප්‍රදේශයේ තියෙන පොඩි ටවුන් එකක්. නොකියා වාහන ටයර්ස් සහ බූට්ස් නිෂ්පාදන ආයතනය පසු කාලීනව ජංගම දුරකථන නිෂ්පාදනයට යොමුවුනා. නොකියා දුරකථන නිෂ්පාදනය අඩු උනත් ටයර් සහ බූට්ස් නිෂ්පාදනය තවමත් හොඳින් සිදුකෙරෙනවා.

    ReplyDelete
  11. mobile phone gena liuwa athi neda.Aluth mobile phone ekak ganna.Sali nethinam
    E81 batch eken wath aran Dennam







    ReplyDelete
  12. නො.නො.නො.නො.නෝ.....

    නොලියාම සටහනක්
    නොකියාම වචනයක්
    නොතියාම මතකයක්
    යන්නේ කොහොමද අනේ
    නොකියා ගෙන් කෙරූ ප්‍රේමයන්......

    ReplyDelete
  13. ඔය නොකියා 3310 එක නම් නියම ෆෝන් එකක් තමා. අදටත් ලංකාවේ රීලෝඩ් ෆෝන් සෑහෙන ගානක් ඔය මොඩල් ඒකෙ. ඕක කෝච්චියට තිබ්බත් විනාශ කරන්න බැරි බව තමා ප්‍රසිද්ධ. මමත් ඔකකින් ස්පේස් ඉම්පැක්ට් ගැහුවා 2004. අපේ අයියා කෙනෙක් ගාව තිබ්බ එහෙකින්.
    මම මුලින්ම මගේම කියල සෙල්ෆෝන් එකක් ගත්තේ 2008. ඒත් නොකියා තමා. 1200. ඒක නම් අදටත් මම වෙලාවකට පාවිච්චි කරනවා. ඒ දවස් වල මම ගත්තේ ටිගෝ සිම් එකක්. ඒකට මුල් කාලේ එන ඇමතුම් වලටත් ගානක් ගෙවන්න උනා. තප්පරෙකට සත 5ක් මට මතක විදියට. බදු වලට අමතරව.

    ReplyDelete
  14. නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති මෝරා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාල

    ReplyDelete
  15. මම පාවිච්චි කරලා තියෙන්නේ නොකියා ෆෝන් දෙකක් විතරයි.Nokia 5300 හම්බුනේ ලංකාවේ ඉද්දී. කාල වකවානු මතක නෑ. N73 ගත්තේ ඉතාලි ඇවිත් මුල්ම පඩියෙන්.

    ReplyDelete
  16. ඉස්සර කාලේ ජීවිත කාලෙටම එකයි. කොහෙවත් අරන් යන්නෙ නැතුව ගෙදර පරිස්සමට තියනව. වැඩි දෙනෙකුට නති නිසා හරි ආඩම්බරෙන් තමයි සලකන්නෙ. අළුත් පරම්පරාව එහෙම නැහැ. මුලදි හරි ආදරෙන් අතගානව, මූණ දිහා බලාගෙන හිනාවෙනව, හිමීට මුමුණනවා, තුරුල් කරන් නිදාගන්නවා, යන යන තැන්වල අරගෙන යනවා, පොඩ්ඩක් පේන්න නැති වුණොත් හොයනවා, හම්බුවුණාම මූණ සතුටින් පිරෙනවා. වැඩිය හැඩ , අළුත් වැඩ දන්න තරුණ එකක් ආව ගමන් ඉස්සෙල්ල හිටපු එක කොහේ හරි මුල්ලක දාල අළුත් එක්කෙනත් එක්ක යනවා. කාලය මැව් වෙනස.

    ReplyDelete
  17. ඔබගේ කළින් පෝස්ට් වල තිබ්බ රසය මේ අළුත් ඒවායේ අඩුවෙලා..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.