යළිත් නැගිටින්නට වෙර දරන අපේ සිංහයෝ

518
pic- කෞෂාල් සිල්වා තම අර්ධ ශතකය වාර්තා කර සතුට සමරමින්. (එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය, තෙවන දිනය) ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ඉකුත් 27 වනදා ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය නිමා වන විට තරමකින් හෝ සැනසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරගයේ දෙවන දිනය (28) දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 91ක් තම පළමු ඉණිමට ලබා සිටින ලදි.

පසුගිය ලිපි: යලිත් වැරදුනු පිත්තේ මානය

ඊයේ (29)  දිනයේ නැවතත් තම දෙවන ඉණිම හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 84කදී කඩුලු 05ක් දැවී ලකුණු 309 රැස් කරගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 101ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසු විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම = 101-10(43.3) -කුසල් මෙන්ඩිස් ලකුණු 35, ළහිරු තිරිමාන්න ලකුණු 19, රංගන හේරත් ලකුණු 12

පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 40කට කඩුලු 4ක්ද, ක්‍රිස් වෝක්ස් ලකුණු 9කට කඩුලු 3ක් හා ජිමී ඇන්ඩරසන් ලකුණු 36කට කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: රංගන ගේ රැගුම් ඇරඹෙයි, හේල්ස් නිසා එංගලන්තය ප්‍රභල තැනක

එංගලන්ත කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු භාගයක් හෝ ලබා ගැනීමට නොහැකි වූ නිසා යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉණිම ආරම්භ කර අතර එහිදී අනෙකුත් නිමා වූ ඉණිම් වලට වඩා සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා සමත් විය. එය ලකුණු 38කට සීමා විය. දිමුත් කරුණාරත්න 4 පහරවල් 2ක් සමඟ ලකුණු 26කට දැවී යන ලදි.‍ වේගයෙන් පිත්ත හැසිරවූ කුසල් මෙන්ඩිස් 4 පහරවල් 4ක් සමඟ ලකුණු 26ක් ලබා සිටියදී ලකුණු පුවරුව ලකුණු 79ක් ලෙස දැක්වෙන විට දෙවන කඩුල්ල ලෙස කුසල් දැවී යන ලදි. ඒ ලකුණු 41ක සබඳතාවයක් ගොඩනංවමිනි. අනතුරුව පැමිණි ළහිරු තිරිමාන්න ඊලග කඩුල්ල ලෙස ලකුණු 100 වැනි ලකුණ ලබා දැවී යන ලදි. ඒ ලකුණු 13කටය. සිව්වන කඩුල්ල සඳහා කෞෂාල් හා මැතිව්ස් ලකුණු 82ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. කෞෂාල් සිල්වා 4 පහරවල් 6ක් සමඟ ලකුණු 60කට දැවී යන ලදි. ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ 5වන කඩුල්ල ලෙස ලකුණු 80කට දැවී යන ලදි.

විශ්ලේෂන ලිපි: මෙහෙමත් වරදින්නේ සහ පරදින්නේ ඇයි?

තරගයේ තෙවන දිනය (29) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉණිම සඳහා ලකුණු 309 කඩුලු 5ක්  ලබා ගැනීමට සමත් විය. පිතිකරණයේ දී පෙර ඉනිම් වලට සාපේක්ෂව පන්දුව අවබෝධ කර ගනිමින් පන්දුවට පහරදෙන බව පෙනෙන්නට විය. නොදැවී ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් හා මිලින්ද සිරිවර්ධන ලකුණු  34* ලබා 6වන කඩුල්ල සඳහා ලකුණු 87ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවා ඇත. එය සතුටට කරැණකි. ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 88ක් ඉණිමක පරාජයෙන් බේරිම සඳහා ලබාගත යුතුය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම (3වන දිනය නිමා වනවිට) = 309-05 (84) – ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 80, කෞෂාල් සිල්වා ලකුණු 60, දිනේෂ් චන්දිමාල් ලකුණු 54*, මිලින්ද සිරිවර්ධන ලකුණු 35*

පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජිමී ඇන්ඩරසන් ලකුණු 40කට කඩුලු 2ක්, ක්‍රිස් වෝක්ස් ලකුණු 51 කට කඩුලු 1, ස්ටීවන් ෆින් ලකුණු 55 කට කඩුලු 1 ක් දවාලීමට සමත් විය.

අද (30) තරගයේ සිව්වන දිනයයි.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න