මෙහෙමත් වරදින්නේ සහ පරදින්නේ ඇයි?

388
Sri lanka v England

ගල් ගැහෙන සීතලට සති දෙකකට ආසන්න කාලයක්‌ පදම්වී එංගලන්තය මුණ ගැසුන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම පළමු ටෙස්‌ට්‌ තරගය නීරස පරාජයක්‌ අත්වින්දේය. දෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ඒ නීරස පරාජය මකා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන මොහොතක වැරදුන තැන නිවැරදි කර ගැනීමේ වගකීම ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට මෙන්ම තේරීම් කමිටුව හමුවේ ඇති විශාල අභියෝගයකි.

එංගලන්තයට යන විට පන්දුවත් පිත්තත් අතර සටනට එහා ගිය සැලසුමක් සකස් කිරීමට ලොව ඕනෑම කණ්ඩායමක් නිරායාසයෙන්ම වගබලා ගනිති. පළමුව සීතලට හැඩ ගැහෙන්නත් අනතුරුව දෝලනය වන තණතීරුවලට හුරුවීමත් එංගලන්තයට යන ඕනෑම කණ්ඩායමක් හමුවේ ඇති අතිරේක පීඩනයකි.

සිදත් වෙත්තමුනිගේ උපදෙස් – එංගලන්ත සංචාරය ප්‍රවීනයෙකුගේ ඇසින්

ඉංග්‍රීසිකාරයෝ කවදත් පොතේ හැටියට ක්‍රිකට් ගසති. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් අලුත් ආරකට කරකැවු ආසියානුවන් එංගලන්තයට ගොස් පහරදුන් අවස්ථාද ඕනෑ තරම් තිබේ. ශ්‍රී ලංකාව 2014 දී ටෙස්ට් මෙන්ම එක්දින තරගාවලියද ජය ගත්තේ එංගලන්තයේදී කළ යුතු සියලුම උපක්‍රම පිළිබඳව අධ්‍යයනය කරමින් සැලසුම් සහගත සටනක නිරත වීම හේතුවෙනි. 2006 දී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල පළමු වරට එංගලන්තයට ගොස් එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජය ගත්තේය. අනූව එදා ශීතල සහ දෝලනය වන තණතීරු අදත් එංගලන්තයේ එසේම පවතී. අඩුවකට ඇත්තේ එදා ශ්‍රී ලංකාව සතුව සිටි සටන්කාමීන්ගේ අහේනිය වත්මන් කණ්ඩායමට තදින් දැනීමයි.

2014 දී එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙවර කණ්ඩායමේ නොසිටීම අන්ත පරාජයක් ලැබීමට නිදහසට කරුණක් නොවේ. එදා සිටි කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් අදත් කණ්ඩායමේ නායකයාය. එදා සිටි තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය අදත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාය. පුහුණුකරුවන් වෙනස්වී තිබුණද වත්මන් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ්ද එංගලන්ත කාරයෙකි. නිසාඅපි යොවුන් කණ්ඩායමක්. අත්දැකීම් නැහැ.” යෑයි කියමින් පරාජයේ තිත්ත ඇත්ත වසන් කිරීමට කිසිවෙකුට නොහැකිය.

පසුගිය ලිපි: “මහන්සිය වැඩක්‌ වුණේ නෑ” – දිනේෂ් චන්දිමාල්

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලෝම ලකුණු අහේනියකට පත්ව සිටියත් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ ප්‍රධාන ලකුණු මැෂිම බවට පත්විය. නමුත් ඇන්ඩර්සන් ප්‍රමුඛ එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ පාසල් පිතිකරුවන් පෙළක් දැවී යන්නාක් මෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු පුජා කළහ. නවක පිතිකරු කුසල් මෙන්ඩිස් අනාගතයට සුබවාදී පිළිතුරක් ලබා දෙමින් දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් ලැබුවේය. කුසල්ගේ අර්ධ ශතකය අතරතුර දෙවරක් දැවී යාම් වලින් බේරුණද ඔහු එල්ල කළ පහරවල් ඉතාමත් අලංකාරය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වාගේ ආරම්භක කඩුලු සබඳතාව තරග කිහිපයක සිට අසාර්ථක වී තිබේ. ඔවුන් දෙදෙනාද අසාර්ථකත්වයට පත්වෙද්දී කෞෂාල් සිල්වාගේ අවසන් ටෙස්ට් ඉනිම කිහිපයේ ඉනිමක සාමාන්‍ය 13.00 ක් වැනි අගයක් පවතී. කෙසේ වෙතත් එංගලන්ත සංචාරයට මොවුන් දෙදෙනාව නිත්‍ය ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගනිද්දී ආදේශ ආරම්භක පිතිකරුවන් ලෙස තරංග පරණවිතානව ගෙන යැමට තිබු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට මග හැරුණි.

හැදෙන ගහක පෙති විහිදෙන හැඩ – කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තරංග පරණවිතාන ඉනිමක සාමාන්‍ය 79.41 ක් ලෙස රඳවා ගනිමින් තරග දහයකදී ලකුණු 953ක් ලබා ගෙන තිබේ. පළමු පෙළ තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලබාගත් මිනෝද් භානුක බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් සමග තරග දහයකදී ලකුණු 901ක් ලබා ගෙන ඇත. එහි ඉනිමක සාමාන්‍ය 64.35 කි. ඔවුන් ලකුණු අතර සිටින යුගයක ජාතික කණ්ඩායමේ ස්ථානය ලබාදුන්නේ නම් එය සාධාරණ වන අතර අසාර්ථක ආරම්භක පිතිකරුවන්ටද එවිට අතිරේක සටනක් දියත් කිරීමට නිරායාසයෙන් සිදුවේ. තැන රැක ගැනීම සඳහාය.

නමුත් තේරීම් කමිටුවේ වැරදි සිදුවනවිට කණ්ඩායමේ වැරදි සිදුවීම අරුමයක් නොවනු ඇත. පුහුණුකරුවා වැරදි කරන විට කණ්ඩායම නන්නත්තාරවීම වරදක් නොවනු ඇත. එබැවින් මේ සියල්ලෝම ජයග්‍රහණය වෙනුවෙන් එකට සිට තර්ක විතර්ක කළ යුතුය. නමුත් අද සිදුවන්නේ ඉහළ අණට කීකරුව ගමන යෑමය. එය හරියටවැල යන පැත්තට මැස් ගසනවාවැනි දෙයකි. නමුත් හිරු එළියට වැටෙන දිශාවට වැල හරවා මැස්ස ගැසීමට ක්‍රීඩකයෝ මෙන්ම අනෙක් කළමනාකාරීත්වයද දැන ගත යුතුය.

1999 ලෝක කුසලාන සංචිතය තෝරන විට අරවින්ද සිල්වා සහ අර්ජුන රණතුංග තේරීම් කමිටු රැස්වීමෙන් නැගිට ගියේය. එදා තේරීම් කමිටුව නායකයාට සහ උපනායකයාට අවශ්‍ය කණ්ඩායම ලබා නොදීමයි. එංගලන්තයට වේග පන්දු යවන්නන් ඕනෑ කී විට දඟ පන්දු යවන්නන් හත්දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීම හේතුවෙන් පරාජය සාක්කුවේ දමාගෙන ශ්‍රී ලංකාව ලෝක කුසලානයට එදා ගියේය. නමුත් දැන් ක්‍රිකට් ඊටත් එහා ගිය ජනප්‍රියත්වයකට පත්ව තිබේ. සැවොම ඇස ගසා සිටිති. එබැවින් පරාජයන් සාක්කුවේ දමාගෙන යනවාට වඩා ජයග්‍රහණයෙන් අඩක් හෝ සාක්කුවේ දමාගෙන යෑමට සැවොම වැරදි අවම කර ගැනීමට උත්සහ කළ යුතුය. දෙවැනි ටෙස්ට් තරගයේ සිට ඉන් එහාට ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ දස්කම් විස්කම් දක්වනු ඇතිද? එය අපි බලා සිටිමු.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න