හැදෙන ගහක පෙති විහිදෙන හැඩ

7599
Kusal Mendis

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිලේ මැද පෙළ කඩා වැටුණ බව සැබෑවකි. කඩා වැටීම කොතෙක් දරුණු වූයේද යත් එය තාවකාලිකව හෝ නවතා ගැනීමට ගැසීමට මුක්කුවක් වත් සොයාගත නොහැකි විය.

ස්ථාවර කී‍්‍රඩකයන් විශ‍්‍රාම යාම නිසා සිදුවන මෙම කඩාවැටීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට පමණක් නොව,  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව යන රටවලටත් පොදු ධර්මතාවකි.

වසරක පමණ කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකා පිතිකරු පෙළේ සිදුවන නායයෑම මේ වසර මුලදී පැවැති නවසීලන්ත සංචාරයේදී මෙන්ම දැන් පැවැත්වෙන එංගලන්ත සංචාරයේදී පහසුවෙන්ම දැකගත හැකිය.

තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැත. නිර්භය තීරණයක් ගත යුතුව තිබේ.

සංගාගෙන් හිස්වූ අංක 3 ස්ථානයට ස්ථාවර විසඳුමක් අවශ්‍යම වී ඇති බැවින් එක්කෝ ළහිරු තිරිමාන්න වැනි පළපුරුදු කී‍්‍රඩකයකුට එම ස්ථානය බාර කළ යුතුය. නැතහොත් කුසල් මෙන්ඩිස් වැනි තරුණයකුට වගකීම පවරා ඉවසීමෙන් බලා සිටිය යුතුය.

අංක 3 ස්ථානයේ මා මීට පෙරත් කී‍්‍රඩා කරලා තියෙනවා. කී‍්‍රඩා සමාජ මට්ටමේදී වගේම සංවර්ධන සංචිත පිල වෙනුවෙනුත්….කොහොම වුණත් මේක විශාල වගකීමක්” යයි පවසන කුසල් මෙන්ඩිස්…

මෙතැන කී‍්‍රඩා කරන විට මා මොන විදිහට කී‍්‍රඩා කළ යුතුද? ඒ වෙනුවෙන් මා සතුවිය යුතු දේවල් මොනවාද? කියන එක ගැන මා විශාල අවධානයක් යොමුකළා…ඒ කොහොම වුණත් එක දෙයක් පැහැදිළියි. මේ ස්ථානය තියාගන්න වගේම කණ්ඩායමේ රැඳී ඉන්නත්  ඕන නම් මට විශාල වශයෙන් ලකුණු ලබාගන්න සිද්ධ වෙනවා” යයි කුසල් මෙන්ඩිස් පැවසූවේ ටෙස්ට් කණ්ඩායමක අංක 3 ස්ථානයේ කී‍්‍රඩා කිරිම කෙතරම් බැරුම් වගකීමක්ද යන්න පැහැදිළි කරමිනි.

තවමත් 21 වැනි වියේ සිටියද හැමදාමත් අවුරුදු නැති බව කුසල් වටහාගෙන සිටී. එංගලන්තයේ ඇතැම් තණතීරු වලදී හොඳින් ලකුණු ලබාගත හැකි නමුත් තවත් තණතීරු මතදී එතරම් පහසුවෙන් තමන්ට රිසි පහර කරා යා නොහැකි බව ඔහු දනී.

ඒ වෙනුවෙන් අවශ්‍ය ඉවසීම කුසල්ට තිබේ.

කණ්ඩායමේ ‘පොඩි එකා’ වුවද කුසල්ට වෙනසක් නොදැනෙයි. සියල්ලෝම ඔහුට දිරි දෙති. ඔහු අගය කරති. ඔහු දස්කම් අතර සිටියත් නැතත් කණ්ඩායමේ සහයෝගය එලෙසින්ම තිබේ.

මගේ පිතිහරඹය වෙනස් කරන්න කවුරුවත් උත්සාහ කළේ නෑ”

ඔවුන් මට කිව්වේ මා කී‍්‍රඩා කරලා පුරුදු විදිහට කී‍්‍රඩා කරන්න කියලයි. ඒත් හිත හොල්ලා ගන්නේ නැතිව ඉන්න ඔවුන් මට කියලා දුන්නා” යයි කී කුසල් මෙන්ඩිස්…

ඔවුන් මට කිව්වේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ තලයේදී ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්න කියලයි. මොකද මේක දින 5 කී‍්‍රඩාවක්. ඔවුන් ඒ බව අවධාරණය කළා”

පන්දු යවන්නන් මට එක එක දේවල් කියන්න උත්සාහ කළොත් ඒවාට ප‍්‍රතිචාර දක්වන විදිහත් ඔවුන් මට කියා දුන්නා….අපි පන්දු යවන්නන් එක්ක එකට එක කියන්න ගියොත් පිතිහරඹය ගැන තියෙන අවධානය නැති වෙනවා. ඒ නිසා ඉවසීමයි තරගය කෙරේ අවධානය තියාගන්න එකයි හරිම වැදගත්” යයිද කුසල් පැවසීය.

කුසල් මෙන්ඩිස් ඉක්මනින් ඉගෙන ගන්නා අයෙකි.

සිය පළමු ටෙස්ට් තරගයේ (බටහිර ඉන්දීය පිලට එරෙහිව කොළඹදී) දෙවැනි ඉනිමේදී ලකුණු 39 ක් ලබාගත් කුසල් දෙවැනි සහ තුන්වැනි තරග වලදී සිය හොඳම ටෙස්ට් ඉනිම ලකුණු 46 දක්වා ඉහළ දමාගත්තේය. සිව්වැනි තරගයේදී එය ලකුණු 53 ක් දක්වා ඉහළ දමාගැනීමට කුසල් සමත් විය.

එංගලන්ත සංචාරයේදී මෙතෙක් පැවැති තරග තුනේදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 200 ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් හෙඩිංග්ලි ටෙස්ට් තරගයේදී ගැසූ අලංකාර ‘ඔන් ඩ‍්‍රයිව්’ පහර කිහිපයකින් තමන්ගේ ලකුණ සටහන් කළේය.

පැයට සැතපුම් 80 ඉක්මවා ඇදී එන ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දු පිට ඉන්න එල්ලයේ වැටී කඩුල්ල තුළට දෝලනය වුවද නිසිලෙස කාලය මැනගත් කුසල් මෙන්ඩිස් එයින් පන්දු කිහිපයක්ම මිඞ් විකට් කලාපය හරහා හතරේ සීමාවට යැවූයේ විස්තර විචායේ නිරතව සිටි මහේල ජයවර්ධන, ඬේවිඞ් ලොයිඞ් සහ ශී‍්‍රමත් ඉයන් බොතම්ගේ නොමඳ ප‍්‍රශංසාවට ලක්වෙමිනි.

නවසීලන්ත සංචාරය සහ වත්මන් එංගලන්ත සංචාරය සංසන්දනය කරන මෙම යොවුන් පිතිකරුවා නවසීලන්තයේදී තරග කිරීමත් මෙවැනිම වූ සීතලේ පන්දුව දෝලනය වන තත්ත්වයන් යටතේ වුවද එංගලන්ත පන්දු යවන්නන් නවසීලන්ත පන්දු යවන්නන්ට වඩා මනා පාලනයකින් යුතුව පන්දු යැවූබව කියයි.

එංගලන්ත පන්දු යවන්නන් වඩාත් අමාරු තැන්වල පන්දුව පතිත කළා. මා හිතනවා ඊළග තරගයේදී අපට පුළුවන් කියා වඩාත් හොඳින් ඔවුන්ට මුහුණ දෙන්න” යයි පවසා ඇත්තේ ආත්ම විශ්වාසය ඇතිවය.

තිරිමාන්න පිළිබඳ සියලූ බලාපොරොත්තු නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් අතහරිනු ලැබ සිටියද තේරීම් කමිටුවේ විශ්වාසය වූයේ තිරිමාන්න නැවතත් ලකුණු අතරට පැමිණ මැතිව්ස්ට සහාය වනු ඇති බවයි. එහෙත් ටෙස්ට් තරගයට පෙර පැවැති පුහුණු තරග දෙකේදී කුසල් මෙන්ඩිස් විසින් පෙන්වන ලද දස්කම් මත ඔහුට අංක 3 ස්ථානය බාර කෙරිණ.

තවමත් ටෙස්ට් තරග 4 කට පමණක් සහභාගි වී ඇති මේ හුරුබුහුටි දකුණත් පිතිකරුවා වසර දෙකකට ඉහතදී එංගලන්තයට එන විට පාසලෙන් පිටට අඩිය තිබ්බා පමණි. ඒ වන විටත් 19 හැවිරිදි කී‍්‍රඩකයකු වූ කුසල් මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත ලීගයේ ‘සවුත්ගේට්’ පිල වෙනුවෙන් කී‍්‍රඩා කළේ සිතලේ ගැහෙමිනි.

ඒත් කාට කියන්නද? සියල්ලම විඳදරා ගත යුතුව තිබිණ. එය එංගලන්තයේදී කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් කුසල්ට හොඳ අත්දැකීමක් විය.

හෙඩිංග්ලි ටෙස්ට් තරගයේදී ඔහුගේ පිතිහරඹය පිළිබඳව බොහෝ දෙනා ‘හොඳ’ කී නමුත් කුසල්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ඔහුගේ පා කි‍්‍රයාකාරීත්වයේ දුර්වලතා පිළිබඳ දුන් උපදෙස් ගැනය. එය දියුණු වීමේ ලකුණකි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යයි පැරැන්නන් කීවේ මෙවැනි චරිත අරභයාය.

 තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න