කොල්කටාවෙන් ගිලිහුනු අයි. පී. එල්. කුසලානය

337
CRICKET-T20-IPL-IND-KOLKATA-HYDERABAD
සන්රයිසස් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් කොල්කටා නයිට් රයිඩර්ස්ට එරෙහිව ලද ජයග්‍ර‍හනය සමරමින් ©AFP

ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලාන තරගාවලියේ අවසන් අදියරේ තරඟ මේ දින වල පැවැත්වෙන අතර එම ප්‍රසාද ලකුණු පුවරුවේ 3වන හා 4වන ස්ථාන ගත් කණ්ඩායම් සඳහා පැවැත්වෙන එලිමිනේටර් තරඟය ඊයේ (25) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම අතර  දිල්ලි නුවර දී පැවැත්විණි. එම තරඟය ලකුණු 22කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමත් විය.

පසුගිය තරගය පිලිබද ලිපිය: වැලලී ගිය ජය මතු කල ඒ.බී ඩිවිලියස්

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර ලදි. ඒ අවසරයෙන් පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම තම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් විය. සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් යුවරාජ් සිං 4 පහරවල් 8ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 44 ක් ද, මොයිසස් හෙන්රික් ලකුණු 31ක් ද, නායක ඩේවිඩ් වෝනර් ලකුණු 28ක් හා බිපුල් ශර්මා නොදැවී ලකුණු 14ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. පන්දු යැවීමේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කුල්දීප් යාදෙව් ලකුණු 35කට කඩුලු 3ක් හා මෝනි මෝර්කල් ලකුණු 31කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගාම්භීර් සන්රයිසස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ©AFP
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගාම්භීර් සන්රයිසස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ©AFP

ලකුණු 163 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 63 කට දැවී ගිය ද ඔවුන්ගේ මැද පෙල ශක්තිමත් බවින් තරමක් අඩු බව පෙනෙන්නට තිබිණි. කොල්කටා කණ්ඩායම වෙනුවෙන් මනීෂ් පාන්ඩේ ලකුණු 36, නායක ගෞතම් ගාම්බීර් ලකුණු 28ක් හා අශෝක් යාදෙව් ලකුණු 23ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කරගැනීමට සමත් විය. කොල්කටා කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 140ක් පමණි. ඒ අනුව හයිද්‍රබාද් කණ්ඩායම තරඟය ලකුණු 22කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී බුවනේස්වර් කුමාර් ලකුණු 19කට කඩුලු 3ක් හා මොයිසස් හෙන්රික් ලකුණු 17කට කඩුලු  2ක් දවාලීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස මොයිසස් හෙන්රික් සම්මාන දිනාගත් අතර සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම හා ගුජරාටි ලයන්ස් කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරඟය ලබන 27දා දිල්ලි නුවරදි පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න