කාගිල්ස් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ 4වන හා අවසන් අර්ධ අවසන් පූර්ව තරඟය අද (25) සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. එම තරඟය ගෝල 01 – 00 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

තරඟය මිනිත්තු 35 පමණ ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ කලේ ධාරානිපාත වර්ෂාව හේතුවෙනි.

තරඟය මුල සිටම ඉතා උද්යෝගිශීලි වු අතර තරඟයේ ජයග්‍රහනය සෑම විටම සෝන්ඩර්ස් කණ්ඩායම වෙත නතු කර ගැනීමට ඔවුන් සමත් විය. සෝන්ඩර්ස් කණ්ඩායම එල්ල කල ගෝල කිහිපයක්ම බ්ලු ස්ටාර් කණ්ඩායමේ දැල් රකින්නා ගේ දක්ෂතාවන් නිසා ඔවුන්ට මඟ හැරෙන ලදි. පන්දුවේ ග්‍රහනය තරගයේ බොහෝ වේලා රදවා ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායමට හැකි වුවද, දෙපිලම එකිනෙකා සමවෙමින් දක්ෂ ලෙස තරඟයේ නිරත විය. තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිලම ගෝල 00 00 ක් ලෙස සටහන් විය.

අනතුරුව තරගයේ දෙවන අර්ධයේ 65වන මිනිත්තුවේදී සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අබ්දුල් මොහොමඩ් පහසුවෙන් තම කණ්ඩායමට වැදගත් හා අවශ්‍ය මොහොතේ දී ගෝලයක් ලබා ගැනීමට සමත් විය. නමුත් එම ගෝලයට අභියෝග කිරීමට බ්ලු ස්ටාර් කණ්ඩායම අපොහොසත් වූ අතර තරගයේ නියමිත කාලය අවසන් වූයේ ගෝල 01 00 ක් ලෙස සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට අවසන් පූර්ව තරඟයට ඉඩ සහර විවර කර දෙමිනි.

අනුව 21 වතාවක් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනාගත් සෝන්ඩර්ස් කණ්ඩායම, ලබන 28 වනදා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දී, ප්‍රබල රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ තරඟ වැදීමට නියමිතව ඇත.

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න