“මහන්සිය වැඩක්‌ වුණේ නෑ” – දිනේෂ් චන්දිමාල්

590
Dinesh Chandimal

එංගලන්ත තරගාවලිය ඉලක්‌ක කර ගනිමින් තමා ඇතුළු ක්‍රීඩකයන් ඉතාමත් වෙහෙසකර පුහුණුවීම්වල නිරත වුණත් තරගයේදී ඒ පුහුණුවීම්වලින් කිසිදු ප්‍රයෝජනයක්‌ ක්‍රීඩකයන්ට ලබා ගත නොහැකි වූ බව ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් පවසයි.

මැතිව්ස් පරාජය පිළිබඳ කතා කරයි

එංගලන්තය සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගය ඉනිමකින් සහ ලකුණු 88 කින් පරාජය වීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් ඉහත අදහස්‌ මාධ්‍ය හමුවේදී පළ කර සිටියේය.

අපි තරුණ කණ්‌ඩායමක්‌. නමුත් අපිට ඉක්‌මනින් ජයග්‍රහණයක්‌ හෝ දෙකක්‌ අවශ්‍යයි. අපි පළමු තරගය වෙනුවෙන් කළ කිසිම වෙහෙසකර පුහුණුවකින් කිසි දෙයක්‌ ලැබුණෙ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ ඉතා විශිෂ්ඨයි. ” යෑයි චන්දිමාල් පවසයි.

අපි වෙනස්‌ වෙනස්‌ පුහුණුවීම් කෙරුවා. අපේ කණ්‌ඩායමේ ශරීර යෝග්‍යතාව ඉතාමත් ඉහළ තැනක තියෙනවා. මම පළමු ඉනිමේදී දැවී ගිය ආකාරය පුහුණුකරුත් සමග එක්‌ වෙලා වීඩියෝවෙන් බැලුවා. ඒ වරද මම හදා ගත්තා. නමුත් දෙවැනි ඉනිමේදී මම හිතුව පහර ගහන්න කලින් පන්දුව කඩුල්ලේ වැදුණා. එංගලන්ත පන්දු යවන්නෝ ඉතා විශිෂ්ඨයි. ඔවුන් කිසිම වෙලාවක දුර්වල පන්දුවක්‌ ලබා නොදෙන්න වග බලා ගත්තා. නමුත් අපිට ඊළග තරග ජය ගන්න පුලුවන් කියන විශ්වාස අපිට තියෙනවා.”

තමා හැම වෙලාවෙම පිතිකරණයට පිවිසෙන්නේ ශතකයක්‌ ලබා ගැනීමේ බලාපොරොත්තු ඇති බව පවසන දිනේෂ් චන්දිමාල් අංක හතර ස්‌ථානයේ පන්දුවට පහර දීම තමාගේ මානසිකත්වය ශක්‌තියක්‌ බවද පවසයි. පළමු ටෙස්‌ට්‌ තරගයේදි ලකුණු අතරට පැමිණීමට නොහැකි වුණත් එම ස්‌ථානය වෙනස්‌ කිරීමට අවශ්‍යතාවක්‌ නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය ලබන 27 වැනිදා ආරම්භ වේ.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න – ThePapare.com/Sinhala