[UPDATE 3] ඊජිප්ට් එයා MS804 - යානයෙන් ලැබුණු අවසන් දත්ත ගිණිගැනීමක තොරතුරු කියයි!!


Aircraft Communications Addressing and Reporting (ARCAS) යනු ගුවන් යානයකින් ස්වයංක්‍රීයව චන්ද්‍රිකා හරහා යානයේ වැදගත් දත්ත විකාශණය කරන පද්ධතියකි. මෙමගින් ලැබෙන දත්ත කෙලින්ම යානයේ නිශ්පාදකයා හා එන්ජින් වැනි ඉතා වැදගත් පද්ධති නිශ්පාදනය කරන සමාගම්වල පරිගණක දත්ත ගබඩාවලට ඇතුලුවේ. යානයක නඩත්තු කටයුතු හා එක් එක් වැදගත් පද්ධති අලුතින් දැමිය යුතු අවස්ථා පිලිබඳ තොරතුරු මෙම දත්ත මගින් නිශ්පාදකයාට ලැබේ.

මේ ඔබට පෙනෙන්නේ MS804 යානයේ ARCAS වෙතින් ලැබුණු අවසන් දත්ත සටහන්..  


00:26Z 2600 SMOKE LAVATORY SMOKE (යානයේ නියමු කුටිය අසල ඇති වැසිකිලියෙන් දුම් දමන බව එහි තුල තිබූ smoke detector මගින් වාර්තාකොට තිබෙනවා.

00:27Z 2600 AVIONICS SMOKE (යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිවලින් දුම් පිටවන බව smoke detector සංවේදක වාර්තාකොට තිබෙනවා)

00:28Z 561100 R FIXED WINDOW SENSOR (යානයේ එක්තරා ජනේලයක ආපදාවක්  (කැඩීයාමක්) වාර්තාවී තිබෙනවා)

00:29Z 2200 AUTO FLT FCU 2 FAULT (යානයේ පරිගණකවලට දත්ත ඇතුලත් කිරීමට නියමුවා භාවිතාකරන දත්ත ටර්මිනල අකර්මන්‍යවී තිබෙනවා)

00:29Z 2700 F/CTL SEC 3 FAULT (යානයේ elevator, spoiler ආදි පාලන පෘශ්ඨවලට විධාන දෙන පරිගණකය අකර්මන්‍යවී තිබෙනවා )

කෙසේ වෙතත් කඩාවැටුනු A320 මාදිලියේ යානා පදවන නියමුවන් සඳහන් කරන්නේ මෙවැනි ගිණිගැනීම් වලදී ක්‍රියාකලයුතු ආකාරය පිලිබඳව නියමුවන් ඉතා හොඳින් පුහුණුවී ඇති නිසා අඩුම ගණනේ අණතුරු සංඥාවක් හෝ ලබාදිය හැකිව තිබූ බවයි.

ගුවන් යානා අණතුරු ගවේෂණය කරන පර්යේෂකයින් (aircraft accident investigators) සඳහන් කරන ආකාරයට ගුවන් යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති හා වයර ගින්නට ඔරොත්තු දෙන fire retardant රසායණික එකතු කොට නිර්මාණය කර ඇති නිසා විදුලි කාන්දුවීම් හෝ වෙනත් විදුලි දෝෂ නිසා වන ගිණිගැනීම් ඉතා වේගයෙන් පැතිරෙන්නේ නැති බවයි. ඒ අනුව නියමුවන්ට යම් ආකාරයක අණතුරු ඇඟවීමක් හෝ උදව් ඉල්ලීමක් සිදු කරන්නට කාලය තිබූ බව ඔවුන් පවසනවා.



PREVIOUS UPDATES

කඩා වැටුනු ඊජිප්ට් එයා MS804 යානය 2015 අගෝස්තුවේ වියෙනා ගුවන් තොටුපලින් ගුවන් ගතවන ඡායාරූපයක්
එයාර්බස් A320 මාදිලියේ ඊජිප්ට් එයා MS804 යානයේ සුන්බුන් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා වෙරළට කිලෝමීටර් 295ක් ඔබ්බෙන් මුහුදේ ග්‍රීක කාර්පැතෝස් දූපත් අසලින් හමුවූ බවට ඊජිප්තු සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ඊජිප්ට් එයා ගුවන්සේවය මගීන්ගේ හා කාර්යමණ්ඩළයේ පවුල්වෙත දැනුම් දී තිබෙනවා.

යානය කඩාවැටීමට හේතුව තවමත් පැහැදිලි නැතත් ඉතා හොඳ කාළගුණික තත්වයක් යටතේ පියාසර කල යානයෙන් කිසිම ආකාරයක අණතුරු සංඥාවක් නිකුත්වී නෑ.  රාත්‍රී 11.09 ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපොලෙන් ගුවන්ගතවූ යානය, ප්‍රංශය, ඉතාලිය හා ග්‍රීසිය ඉහලින් කිසිදු අසාමාන්‍ය සිදුවීමකින් තොරව පියාසර කල අතර ඉන්පසු එය මධ්‍යධරණී මුහුද ඉහලින් ඊජිප්තු ගුවන්සීමාව කරා පියසර කොට තිබෙනවා. යානයෙන් නිකුත්වූ අවසාන සංඥාව 2.27ට ග්‍රීක ගුවන් පාලන මධ්‍යස්ථානයට ලැබී ඇති අතර ඉන්පසු කිසිදු සංඥාවක් නිකුත්වී නෑ. ඒ යානය ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොලට ලඟාවීමට විනාඩි 30කට කලින්.



පොලොවට අඩි 37,000ක් (මීටර් 11,200ක්) ඉහලින් සිටි යානය නිරීක්ශණය කරමින් සිටි ඊජිප්තු රේඩාර් මධ්‍යස්ථානවලට එක්වරම යානය පහට වැටෙන බව පෙනී ගොස් තිබෙනවා. මෙලෙස වේගයෙන් පියාසර උස අඩුවන අතරම යානය එක්වරම වම්පසට හැරවී තිබෙන අතර ඉන් සුලු මොහොතකට පසු නැවතත් දකුණට හැරී අංශක 360කින් කැරකෙමින් පොලොවට පහත්වී තිබෙනවා. අඩි 10,000 (මීටර් 3000ක්) පහලට ගමන්කල යානය රේඩාර් තිරවලට නොපෙනී ගොස් තිබෙනවා.



 1] නියමුකුටියේ පොරබැදීමක්??

යානයේ අවසන් විනාඩි කිහිපයේ රේඩාර් සටහන් නිරීක්ශණය කල විශේෂඥයින් මෙලෙස යානය පාලනයෙන් තොරව මෙන් ගමන් කරන්නට ඇත්තේ යමෙක් යානයේ නියමු කුටියේ කටයුතු වලට බාධා කලබැවින් බව පැවසෙනවා.

ඔවුන් සැක කරන ආකාරයට යානයේ නියමු කුටියේ යම් ආකාරයක දරුණු පොරබැදීමක් සිදුවී තිබෙනවා. සමහර විට යානයේ නියමු කුටියට ඇතුලුවූ අයෙකු හෝ අයවලුන් යාන පැහැර ගන්නට උත්සහ කලවිට නියමුන් හා යානයේ සිටි ආරක්ශක නිළධාරීන් ඔවුන් සමග පොර බැදීමක් සිදුවන්නට ඇති. නැතිනම් යානයේ එක් නියමුවෙකු යානය පැහැර ගන්නට හෝ කඩා වට්ටන්නට උත්සහ කිරීමේදී අනෙක් නියමුවා ඔහු සමග පොරබැදුවා වන්නට ඉඩතිබෙනවා.

පසුගිය වසරේ යුරෝපයේ කන්දක හැපී විනාශවූ ජර්මන් වින්ග්ස් ගුවන් යානය, එහි උප නියමුවා විසින් ඕනෑකමින්ම කඳුවැටියේ වද්දා විනාශකොට දැමූබව දැන් තහවුරු වී තිබෙනවා. එමෙන්ම තවමත් සිදුවූයේ කුමක්දැයි නොදන්නා MH370 මැලේසියානු යානයේ අභිරහසේ අලුත්ම කල්පිතය වන්නේ නියමුවන් යානයේ අතුරුදහන් වීමට වගකිව යුතු බවයි.

2] දරුණු යාන්ත්‍රික දෝෂයකට බඳුන්වූ යානය පාලනය කරගන්නට නියමුවන් දැරූ උත්සහයක් නිසා යානය ඒ මේ අත හැරවුනාද?

හදිසියේම දරුණු යාන්ත්‍රික දෝශයකට බඳුන්වූ යානාව පාලනය කරගන්නට නියමුවන් ගත් දැඩි උත්සාහය නිසා යානය වමට හා දකුණට හැරවෙන්නට ඉඩ ඇති බවද තවත් කල්පිතයක්. යානයෙන් කිසිදු ආකාරයක පණිවුඩයක් නොලැබූ නිසා එහි ඇතිවූ යාන්ත්‍රික ආපදාව ඉතා දරුණු ගණයේ එකක් බව සිතිය හැකියි. එමගින් යානයේ පණිවුඩ හුවමාරු හා දත්ත සම්ප්‍රේෂණ පද්ධතියද කපාහැරෙන්නට ඉඩ තිබෙනවා.

3] අවසන් තත්පර කිහිපයේදී රේඩාර් වලට හසුවූයේ යානයේ ගමන් මග නොව බෝම්බ පිපිරීමකින් දෙකට කැඩුනු යානයේ කැබලි දෙක වෙන්ව කඩාවැටීමයි!!

යානය එක්වර අංශක 90ක් වමටත්, ඉන්පසු අංශක 360කින් දකුණටත් හැරෙමින් වේගයෙන් පහලට වැටීම පහදන එක් විශේෂඥයෙකුගේ මතය වන්නේ ඒ මොහොත යානය තුල සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා දෙකඩවී විශාල කැබලි දෙක කඩා වැටෙන ආකාරය රේඩාර්වල සටහන්වීමක් බවයි.

යානයේ ගමන්ගත් විවිධ ජාතීන්වලට අයත් මගීන්



__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .

  FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments