Main Logo

Tuesday 17 May 2016

සමුගැනීම ගැන තවදුරටත්

සමුගැනීම ගැන තවදුරටත්

සමුගැනීම යනුවෙන් මා ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් ම මුහුණු පොතෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.  එහෙත් මගේ ශිෂ්‍යයන් යැයි කියන අයගෙන් එක් අයකුගෙන් පමණක් ප්‍රතිචාර ලැබිණි. ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ට ම මගේ ස්තුතිය හිමිවෙයි. එහෙත් ඇතැම්හු ලංකාවෙබ් අඩවියෙන් කියැවෙන දේ අනුමත කරන බැවින් හෝ ඒ සමග ඇති මිත්‍රත්වයට කැළලක් වේය යන බියෙන් හෝ ප්‍රතිචාර නොදැක්වූහ. ජානක වංශපුර කලින් ලංකාවෙබ් අඩවියට ලිපියක් ලියා තිබිණි. ධර්මසිරි සෙනෙවිරත්න පමණක් දිගින් දිගට ම ලංකාවෙබ් අඩවියට ප්‍රතිචාර දක්වමින් ලිපි ලියමින් අපේ මතවාද වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරයි.
 

ලංකාවෙබ් අඩවිය මට අපහාස කළ පළමු අවස්ථාව මෙය නො වේ. පසුගිය කාලයෙහි මට අපහාස කිරීම සඳහා ලංකාවෙබ් අඩවිය යොදා ගැනීමට එහි සංස්කාරකවරයා විවිධ පුද්ගලයන්ට අවස්ථාව සලසා දී තිබිණි. ලංකාවෙබ් අඩවියට ප්‍රතිචාර දැක්වීම පහසු කටයුත්තක් නොවේ යැයි කිහිප දෙනකුම මා සමග පවසා ඇත. සංස්කාරකවරයා ඒ ප්‍රතිචාර නියාමනය කරන බව පෙනෙයි. එබැවින් මට අපහාස කරන ප්‍රතිචාරවලට සංස්කාරකවරයා ද වගකිව යුතු බව මගේ පිළිගැනීම ය. මා මේ සංස්කාරකවරයා දැක නැත. එහෙත් ඔහුගේ අභිධර්ම මතවලට මා එකඟ නොවන බව දැන්වූ බව මට මතක ය. ඔහුගේ චිත්ත ගැන විශ්ලේෂ’ණයක් අභිධර්මය ආශ්‍රයෙන් ම දැක්විය හැකි ය. 

අභිධර්මයට ඇළුණු ඇතැම්හු විද්‍යාත්මක බෞද්ධයෝ ය. ඔවුහු බටහිර විද්‍යාඥයන් බුදුදහම ගැන කියා ඇති දේ උපුටා දක්වමින් දහම විකෘති කරමින් අකුසල් රැස්කර ගනිති. ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි කිසිවක් නැත. ඩේවිඩ් බැරෑෂ් නම් බටහිර විද්‍යාඥයා බුඩිස්ට් බයොලොජි නම් කෘතියෙන් කියන්නේ කුණුහරුප ය. ඔහුට අනුව අනත්ත යන්නෙන් කියැවෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය හැරෙන්නට වෙනත් මනසක් නැති බව ය. මොහුගේ ද්‍රව්‍යවාදී (භෞතිකවාදී) මුසාවාද ගැන අපි පසුව කතාකරමු. ඔහු පුනබ්භවය, කර්මය ආදීය විශ්වාස නො කරයි. ඔහු තමා හඳුන්වාදෙන්නේ බෞද්ධ අදේවවාදියකු ලෙස හා ජූබෝ (ජුවිෂ් බුඩිස්ට් - යුදෙවු බෞද්ධයකු) ලෙස ය. ලංකාවෙබ් අඩවිය මට අපහාස කරමින් මා අනත්ත ගැන වැරදි මතයක් දරන බව කියමින් අනත්ත අවබෝධ කරගැනීමට මා සෝවාන් වී නැති බව කියමින් බැරෑෂ්ගේ මත අනුමත කරයි. බැරෑෂ් සෝවාන් වී දැයි මම නො දනිමි. සමහරටවිට ලංකාවෙබ් අඩවියේ සංස්කාරක දන්නවා විය හැකි ය. 

මම ද ලංකාවෙබ් අඩවියට ලිපි ඉදිරිපත් කර ඇත්තෙමි. එහි සංස්කාරකවරයා එහි වෙනත් කිසිම ලේඛකයකුට මට තරම් අපහාස කිරීමට තම වෙබ් අඩවිය විවෘත කර නැත. මෙයට හේතුව මම බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමත් බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ නොවන බව පැවසීමත් ය. වෙබ් අඩවි සංස්කාරකවරයා අනුමත කර ඇති ප්‍රතිචාරවලට අනුව මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමෙන් ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ගොඩට වැටී ඇත. එපමණක් නොව සංස්කාරකට  මා ඒ මූලධර්මවාදීන්ට කුලියට කහින්නකු ද යන සැකය මතුවෙයි. සංස්කාරකවරයා අනුමත කරන මේ කිසිම ප්‍රතිචාරයකට විරුද්ධ වීමට ධර්මසිරි සෙනෙවිරත්න හැරෙන්නට එහි වෙනත් පාඨකයන් ඉදිරිපත් නොවීම මට ප්‍රශ්නයක් විය. ඒ මිස ගැරහීම් මට ප්‍රශ්නයක් වූවා නො වේ. එලෙස ම අපේ මතවාද වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටින්නන්ගේ ඊනියා ප්‍රසාද කෙරෙහි ද මම නො ඇළෙමි. එවැනි  ප්‍රසාද මගේ ප්‍රසාදය පිණිස නො වේ.  

එහෙත් මා සමුගත්තේ ප්‍රධාන වශයෙන් ම ඒ කාරණය නිසා නොවේ. මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දීම ගඟට ඉණි කැපීමක් පමණක් වන බැවින් ය. මා සමුගත්තේ උපදෙස් දීමෙන් පමණකි. දේශපාලන විචාරවලින් හෝ සිංහල බෞද්ධ දැනුමක් ගොඩනැගීමේ කාර්යයෙන් හෝ මා සමුගෙන නැත. එබැවින් වෙබ් අඩවිය මෙන් ම මුහුණු පොත ද දිගට ම පළවනු ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් බොහොමයකට ජාතිකත්වයක් නැත. ඒකාබද්ධ විපක්‍ෂයේ නෛතිකභාවයක් නැති බව මර්වින් සිල්වා යම් නීති උපදේශකයකුගේ හා දේශපාලනඥයකුගේ උපදෙස් මත පෙන්වා දී තිබේ. දැන් ඔහුගේ ම වූ ඒකාබද්ධ විපක්‍ෂයක් වෙයි! දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට වර්ධරාජ පෙරුමාල්ගේ ඇමති දයාන් ජයතිලකගේ දේශපාලන විග්‍රහය වෙනත් කිසිම විග්‍රහයකට වඩා වටියි! ඔවුන්ගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද? මහින්ද අදත් උත්සාහ ගන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ බලය ලබාගැනීමට ය. එහෙත් ඔහුට මෛත්‍රිපාලගෙන් එය නොලැබෙනු ඇත. මෛත්‍රිපාල කැමති වුවත් එංගලන්තය හා ඉන්දියාව එයට ඉඩ නොදෙනු ඇත.

මෑතක දී එංගලන්තයේ හා ඉන්දියාවේ කරන ලද කෙටි සංචාරවලින් පසු මෛත්‍රිපාලට කැමරන්ගෙන් හා මෝදිගෙන් දැඩි අවවාද ලැබී ඇති බව පෙනෙයි. ඒ අන් කිසිවක් සඳහා නොව මහින්ද කණ්ඩායමට කිසිම බුරුලක් නොපෙන්වීම සඳහා ය. ඇතැම් විට මර්වින් සිල්වාගේ ඒකාබද්ධ විපක්‍ෂය ද දිනේෂ් ගුණවර්ධනගේ ඒකාබද්ධ විපක්‍ෂය හෑල්ලුවට ලක්කිරීම සඳහා මෛත්‍රීපාල ද දැනුවත් ව පිහිටුවන ලද්දක් විය හැකි ය.

ශ්‍රී ල නි පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව මෛත්‍රිපාල පක්‍ෂ සභාපති කමෙන් නෙරපීම ඉතාමත් අපහසු ය. දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා සැකසී ඇත්තේ මුළුමනින් ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව ය. පක්‍ෂ කැඩී යෑමට ප්‍රධාන හේතුව ද එය වෙයි. නායකත්වය පහ කිරීමට බැරි තැන වෙනත් පක්‍ෂයක් පිහිටුවීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. රනිල් එ ජා පක්‍ෂයේ නායකත්වයෙන් පහකිරීමට සජිත්ට නො හැකි ය. ප්‍රේමදාස පහකිරීමට  ලලිත්ට හා ගාමිණීට නොහැකි විය. මහින්ද කළ ලොකුම මෝඩකම වූයේ මෛත්‍රිපාලට පක්‍ෂ සභාපතිකම ලබා දීම ය. ඒ අවස්ථාවෙහි දී ශ්‍රී ල නි ප නායකයන් බොහෝ ගණනක් මහින්දට විරුද්ධ වූ බව සැබෑ ය. එහෙත් තව සති දෙකක් බලා සිටියේ නම් මහින්දට දිගට ම සභාපති ලෙස කටයුතු කිරීමට තිබිණි. 2015 ජනවාරි අටවැනිදා පසු වී ටික කලක් ගත වන තෙක් ජී එල් පීරිස්ලා හා තවත් අය මහින්දට දුරකතනය මගින්වත් සම්බන්ධකර ගැනීමට නො හැකි විය. අවාසනාවකට ඔවුහු අද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ ය. ඔවුන්ගේ නම් හෙළිකිරීමට තවමත් සුදුසු අවස්ථාව පැමිණ නැත.

ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමීමට වික්ටර් අයිවන්, රාජිත, රෙජිනෝල්ඩ් ආදීන් එකතු වී චන්ද්‍රිකා එංගලන්තයෙන් ආනයනය කළ බව අපි දනිමු. එකල ශ්‍රී ල නි ප මැරී නො තිබිණි. ඊනියා කවන්ධ කතා දේශපාලන විග්‍රහවලට නොව නවකතාවලට සුදුසු ය. එදා ද අවශ්‍ය වී තිබුණේ  ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වය නැති කර පක්‍ෂය මරා දැමීම ය. එහෙත් ජාතිකවාදීන්ට එය වැළැක්විය හැකි විය. එහි පළමු පියවර වූයේ 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ නායකත්වයෙන් බාහිරව ම එ පෙ වෙන ම තරග කිරීම ය. මම ද ඒ මැතිවරණයේ දී ම එ පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කෙළෙමි. ම එ පෙ පරාජය විය. එහෙත් චන්ද්‍රිකාගේ විජාතිකත්වයට හා බලය බෙදීමට විරුද්ධව යම් මහජන මතයක් ඇති කිරීමට අපට හැකි විය.

අද මෛත්‍රිපාල නායකත්වය දෙන්නේ ඔහු විසින් එංගලන්තයේ හා ඉන්දියාවේ අණින් මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයකට ය. එහි කිසිම ජාතිකත්වයක් නැත. අද එංගලන්තයට හා ඉන්දියාවට අවශ්‍ය වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය දුර්වල කිරීමට ය. ඔවුන්ගේ බිය ඒ වටා ජාතිකත්ව පක්‍ෂයක් අවසානයේ දී බිහිවේවිය කියා ය. මෛත්‍රිපාල ඒකාබද්ධ විපක්‍ෂයට තමාට හැකි අයුරින් දඬුවම් දීමට ක්‍රියා කරනු ඇත.  


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 මැයි 17