කළුතර පොතුපිටිය හා අනුරාධපුර කඳුළුගමුව, දිස්ත්‍රික් තරගවලදී පෙරමුණ ගනිති

390

DSI SUPER SPORT වොලිබෝල් තරගාවලියේ කළුතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පැවැති තරග මේ වන විට නිමාවට පත්ව තිබේ.

එහිදී කළුතර දිස්ත්‍රික්කයේ අවුරුදු 14න් පහළ බාලක ශූරතාව විද්‍යාරත්න විද්‍යාලය හා බාලිකා ශූරතාව පානදුර අගමැති බාලිකා විද්‍යාලය දිනාගත් අතර 16න් පහළ බාලක ශූරතාව පොතුපිටිය මහා විද්‍යාලයටත්, බාලිකා ශූරතාව අඟුරුවාතොට රෙමුණ විද්‍යාලයටත් හිමිවිය.

අවුරුදු 18න් පහළ කළුතර දිස්ත්‍රික් බාලක ශූරතාව කළුතර විද්‍යාරත්න විශ්වවිද්‍යාලය දිනා ගනිද්දී බාලිකා ශූරතාව පානදුර අගමැති විද්‍යාලය දිනා ගත්තේය.

අවුරුදු 14න් පහළ බාලක අනුශූරතාව පොතුපිටිය මහා විද්‍යාලයට දිනා ගැනීමට හැකි වූ අතර එහි බාලිකා අනුශූරතාව අඟුරුවාතොට රෙමුණ මහා විද්‍යාලය දිනා ගැනීමට සමත් විය.

අවුරුදු 16න් පහළ බාලක අනුශූරතාව විද්‍යාරත්න විශ්වවිද්‍යාලය, බාලිකා අනුශූරතාව දිනා ගත්තේ සිරිමෙවන් මහා විද්‍යාලය විසිනි.

18න් පහළ බාලක අනුශූරතාව තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය දිනා ගත් අතර බාලිකා අනුශූරතාව ශ්‍රී පාලී විද්‍යාලයට හිමිවිය.

මීට අමතර අනුරාධපුර දිස්ත්‍රික් තරග ප්‍රතිඵලවලට අනුව 14න් පහළ බාලක ශූරතාව තලාව හිරිගොල්ලේගම මහා විද්‍යාලය දිනා ගනිද්දී එහි බාලිකා ශූරතාව දිනා ගත්තේ පානියන්කඩවල පුවරසන්කුලම විද්‍යාලය විසිනි. අවුරුදු 16න් පහළ බාලක ශූරතාව නෑගම්පහ කඳුළුගමුව විද්‍යාලයටද බාලිකා ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයටද හිමිවිය.
අවුරුදු 18න් පහළ බාලක ශූරතාව සීවලී මහා විද්‍යාලය දිනා ගනිද්දී බාලිකා ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ජය ගැනීමට සමත් විය.

අවුරුදු 14න් පහළ බාලක අනුශූරතාව සියඹලාගස්වැව මැදගම විද්‍යාලය දිනාගත් අතර බාලිකා අනුශූරතාව එම විද්‍යාලයටම හිමිවිය.

අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයේ බාලක අනුශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට හිමි වූ අතර බාලිකා අනුශූරතාව තලාව මුදුන්නේගම මහා විද්‍යාලය හිමිකර ගත්තේය.

අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයේ බාලක අනුශූරතාව සුචරිතගම විද්‍යාලයද, බාලිකා අනුශූරතාව නෑගම්පහ කඳුළුගමුව විද්‍යාලයද හිමිකර ගත්හ.

කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ තරග, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා ඇති අතර මෙම කාල සීමාව තුළ කලාප තරග පවතින බවත් එම නිසා මැයි 16න් පසු සියලු තරග අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශකයකු “මව්බිම”ට පැවැසීය.