Science Quick Bites : නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි සහයක (AI Assistants) තාක්ෂණය විසින් ස්මාර්ට්ෆෝන් අභාවයට යවනු ඇති - සූන්දර් පිචායි, ගූගල් ප්‍රධාන විධායක නිළධාරී

 
ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සූන්දර් පිචායි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති අමෙරිකානු පරිගණක විශේෂඥයෙකි

මෑතකදී පටන් ඇපල් සමාගමේ ප්‍රධානම වෙළඳ භාණ්ඩයවන අයි-ෆෝනයේ වෙළඳාම අඩුවෙමින් ඇති අතර ඒ අනුව ස්මාර්ට්ෆෝන නැමති උපාංගයේ ජීවන චක්‍රය (product life cycle) උපරිමයට පැමිණ ඇති බවත්, මින් ඉදිරියට ලොව පුරා ස්මාර්ට්ෆෝන විකිණුම් අඩුවෙමින් යනු ඇති බවටත් අණාවැකි පලකරනවා.

 මේ අතර ගූගල් සමාගමේ "Founder's Letter" ලෙසින් හඳුන්වන වාර්ශික විග්‍රහයේ අදහස් පළකරන ගූගල් ප්‍රධාන විධායක සූන්දර් පිචායි, නුදුරු අනාගතයේදී දැන් අප "device" හෙවත් උපාංගය ලෙස හඳුන්වන උපකරණ වර්ගය අභවයට ගොස් ඒ වෙනුවට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සැනෙන් ඉටුකරදීමට සූදානම් කෘත්‍රිම බුද්ධි සහයකයින් නිර්මාණය වනු ඇති බව පවසනවා.

දැනටමත් ඔබගේ සාක්කුවේ ගෙනයන ස්මාර්ට්ෆෝනයේ කෘත්‍රිම බුද්ධි සහයකයෙකු සිටින බව ඔහු මතක් කරනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝනවල ගූගල් වොයිස් ලෙසත්, ඇපල් ෆෝනවල සිරී ලෙසත්, මයික්‍රෝසොෆ්ට් ෆෝනවල කෝටානා ලෙසත් හඬුන්වන වැඩසටහන් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ගණයට වැටෙනවා.

"Founder's Letter" යනු ගූගල් සමාගමේ සමාරම්භකයින් දෙදෙනා වන ලැරී පේජ් හා සර්ගේ බ්‍රින් සිය සමාගමේ කොටස් හිමියන් හා ඇල්මැතිපාර්ශව (stakeholders) වෙත සිය සමාගමේ ඉදිරි සැළසුම් හා පසුගිය වසරේ වැදගත් සිදුවීම් විග්‍රහ කරමින් ලියන, තොරතුරු තාක්ශණ ලෝකයේ වැදගත්ම බහුලව පරිශීලණය වන වාර්තාවක් වනවා.

එහි දැක්වෙන ආකාරයට ඉදිරි වසර කිහිපයේදී ඩිවයිසස් ලෙස අප හඳුන්ව්න ස්මාර්ට්ෆෝනය, ටැබ්ලටය හෝ ලැප්ටොප් පරිගණකය වෙනුවට කෘත්‍රිම බුද්ධි සහයකයින් යන සංකල්පය ඉදිරියට එනු ඇත. දැනටමත් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් කරන ගූගල් සමාගම මිනිසාගේ ජීවිතය පහසු හා ආරක්ශාකරි කරන කෘත්‍රිම බුද්ධි නිර්මාණයේ ඉදිරියෙන් සිටී.

Chinese Go ලෙස හැඳින්වෙන ක්‍රීඩාව චෙස් ක්‍රීඩාවටත් වඩා සංකීර්ණ වන අතර වසර 2500කට පමණ පෙර පැරණි චීනයේ උපත ලැබූ බුද්ධියට හා උපක්‍රමශීලිත්වයට මුල්තැන ලැබෙන ක්‍රීඩාවකි. දැනට මෙම ක්‍රීඩාවේ ලෝක ශූරයා වන්නේ දකුණු කොරියාවේ ලී සෙඩෝල් ක්‍රීඩකයා වන අතර ගූගල් සමාගම නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් වන "AphaGo DeepMind" වැඩසටහන මෙම ක්‍රීඩකයාව පරාජය කොට ජය ලැබීමට සමත්විය.

ලී සෙඩෝල් මිනිස් ශූරයා හා ඇල්ෆාගෝ ඩීප් මයින්ඩ් යන්ත්‍රය අතර Chinese Go තරඟය - වට 5කින් යුතුවූ තරඟයේ වට හතරක් ජයගන්නට ඩීප්මයින්ඩ් යන්ත්‍රය සමත්විය.
සමාරම්භකයින්ගේ ලිපියට ඌණපූරණ සපයන සූන්ඩර් පිචායි සඳහන් කරන අන්දමට ගූගල් සෙවුම් සේවාව තවත් ඉදිරියට ගෙන යාම සඳහා කෘත්‍රිම බුද්ධිය හා ඉගෙනුම ලබන යන්ත්‍ර (learning machines) යන පරිගණක තාක්ශණ තවත් දියුණු කිරීමට ගූගල් කැපවී සිටී. සරල උදාහරණයක් ලෙස ඔබ ගූගල් සිතියම් සේවාවෙන් යම් ව්‍යාපාරික ස්ථානයකට යන මාර්ගය සොයන විට, ඔබ විමසුවත් නැතත් එම ව්‍යාපාරික ස්ථානය විවෘත කර ඇති කාල සීමාව, එය වෙනත් නගරයක හෝ රටක ඇතිනම් එම ප්‍රදේශයේ කාළගුණය, මාර්ග තදබදය වැනි තොරතුරුද ලබාදෙමින් ඔබට සහයවීමට ගූගල් සෙවුම් සේවාව උත්සහ දරයි. එමෙන්ම ඔබගේ පැරණි සෙවුම්, විනෝදාංශ, කැමති අකමැති දෑ මතක තබාගෙන සිටින ගූගල් එම තොරතුරු ආධාරයෙන්ද ඔබට වඩාත් ගැලපෙන දෑ සොයාදෙන්නට උත්සහ කරයි.

එමෙන්ම ගූගල් සමාගම ගූගල් කාර් ලෙස හැඳින්වෙන කෘත්‍රිම බුද්ධියෙන් යුතු රියැදුරු රහිත වාහනයක් නිර්මාණය කරමින් පවතිනවා. ලොව පුරාම දැඩි ගැටලුවක්ව ඇති වාහන තදබදය, රිය අණතුරු නිසා සිදුවන තුවාල, ජීවිත හා දේපොල හානි, වාහනවල පාලනය කෘත්‍රිම බුද්ධි රියැදුරෙකුට භාරදීමෙන් අවම කරගත හැකි බව ගූගල් විශ්වාස කරනවා.

දැනටමත් රියැදුරෙකු රහිතව මහාමාර්ගවල සැතපුම් මිලියනයක් පමණ ධාවනය කොට ඇති ගූගල් කාරයේ කෘත්‍රිම බුද්ධිය හා සංවේදක කොතරම් සූක්ෂම්ද යත් පාර අයිනේ ගමන් කරන බයිසිකල් කරුවෙකු අතින් දෙන සංඥා තේරුම් ගෙන නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සතුකරගෙන සිටින බව එම ව්‍යාපෘතිය අධ්‍යයනය කොට ඇති විචාරකයින් පවසනවා.

ගූගල් කෘත්‍රිම බුද්ධි පරිගණකය ධාවනය කරන අනුවර්තනය කරන ලද ටොයෝටා ලෙක්සස් රථයක්
2015දී පර්යේෂණ කටයුතු සඳහා ගූගල් විසින්ම නිර්මාණය කරන ලද ගූගල් කාර් රථය

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  


GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments