Science Quick Bites - ඉන්ධන කාර්යක්ශමතා දත්ත වෙනස් කොට වැඩි කාර්යක්ශමතාවයක් පෙන්වා පාරිභෝගිකයින් රැවටූ සමාගම් අතරට ජපානයේ මිට්සුබිෂි සමාගමද එකතුවේ!!

මිට්සුබිෂි සමාගම, නිසාන් සමාගම වෙනුවෙන් නිපදවූ "ඩේස් රූක්ස්" මෝටර් රථය මිට්සුබිෂි සමාගම දත්ත වෙනස් කල එක් මාදිලියකි.
 විවිධ උපක්‍රම මගින් කාර්යක්ෂමතා දත්ත වෙනස්කල අපකීර්තිමත් මෝටර් රථ සමාගම් අතරට ජපානයේ මිට්සුබිෂි සමාගමද එකතුවේ. මෙම දත්ත වෙනස් කොට කාර්යක්ශමතාවය වැඩි බව පෙන්වූ මෝටර් රථ බොහොමයක් කුඩා කාර් රථ නිපදවීම සඳහා මිට්සුබිෂි සමාගම හා නිසාන් සමාගම ආරම්භකල ඒකාබද්ධ ව්‍යාපෘතියකට අනුව මිට්සුබිෂී සමාගම, නිසාන් සමාගම වෙනුවෙන් නිර්මාණය කොට නිෂ්පාදනය කල මෝටර් රථ 468,000ක් අයත් බව වාර්තාවේ. මීට අමතරව මිට්සුබිෂි සමාගම අලෙවිකරන මාදිලි දෙකකට අයත් වාහන 157,000ක් පමණද මෙම කාණ්ඩයට ඇතුලත්ව ඇත.

නිසාන් සමාගම ජපානයේ අලෙවිකරන Nissan's Dayz, Dayz Roox මාදිලි දෙකටද මිට්සුබිෂි සමාගම අලෙවිකරන ek Wagon, eK Space මාදිලි දෙකද නිශ්පාදනය හා විකිණීම මේ හේතුවෙන් නවතාදමා ඇත.



Kei car, K-car, kei jidōsha ලෙස ජපානයේ විකිණෙන කුඩා මෝටර් රථ කාණ්ඩය එහි ඉතා ජනප්‍රිය අතර ලංකාවේද ජනප්‍රිය සුසුකි වැගන් ආර් ස්ටින්ග්-රේ කාරයද මේම කේ-කාර් ගණයට අයත්ය. කේ ජිදෝෂා ලෙස ජපන් භාශාවෙන් හඳුන්වන මෙම වාහන සැහැල්ලු කාර් ගණයට අයත්  වන අතර සුසුකි සමාගමේ වැගන් ආර් මාදිලිය ජනප්‍රිය වෙත්ම එම වෙළඳපොලෙන් කොටසක් ලබාගැනීම සඳහා නිසාන් හා මිට්සුබිෂි සමාගම් 2013දී ගිවිසුමක් අත්සන් කල අතර මෙම වාහන නිෂ්පාදනය කිරීමේ වගකීම මිට්සුබිෂි සමාගමට පැවරින. නිසාන් සමාගමේ ඩේස් මාදිලිත් මිට්සුබිෂි සමාගමේ ඊ.කේ මාදිලිත් ජපාන වෙළඳපොලට පිවිසුනේ ඒ අන්දමටයි.

මිට්සුබිෂි සමාගම මෙම වාහන වල කාර්යක්ශමතා දත්ත වෙනස් කොට ඇති බව අනාවරණය වුයේ නිසාන් සමාගමේ අභ්‍යන්තර තත්වපාලන ඒකක එම වාහන පරීක්ශාවට බඳුන්කල පසුවයි. මිට්සුබිෂී සමාගම සපයා ඇති කාර්යක්ශමතා දත්ත හා තමන්ගේ පරීක්ශණ දත්ත නොගැලපෙන බව වටහාගත් නිසාන් සමාගම ඒ පිලිබඳව පරීක්ශාකරන ලෙස මිට්සුබිෂී සමාගමේ පාලන අධිකාරියට දැනුන් දීමත් සමග මිට්සුබිෂී සමාගම සිදුකල අභ්‍යන්තර විගණනයකදී සත්‍යය හෙලිවී ඇත.

මිට්සුබිෂී ඉන්ජිනේරුවන් මෙම වාහන කාර්යක්ශමතා සඳහා සිදුකරන පරීක්ශණ වලදී ඒ සඳහා ජපාන රාජ්‍ය තත්වපාලන අධිකාරිය ලබාදී ඇති නියාමන නොසලකා හැර වඩාත් හොඳ ප්‍රථිපල ලබාගැනීම සඳහා වාහනවල බර හැකිතාක් අඩුකොට, ටයරවල පීඩනය නියමිත ප්‍රමාණයට වඩා වැඩිකොට පරීක්ශණ පවත්වා ඇති බව හෙලිවී ඇත.

පසුගිය 20වැනි බදාදා ටෝකියෝවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මිට්සුබිෂී සමාගමේ සභාපති ටෙට්සුරිඕ අයිකාවා මහතා, මෙය හිතාමතා මිට්සුබිෂි සේවකයින් පිරිසක් සිදුකොට ඇති බව පිලිගත් අතර ඔවුන් එසේ නිසාන් සමාගම හා පාරිභෝගිකයින් රවටන්නට උත්සහ කලේ කුමන හේතුවක් නිසාදැයි සොයාබලමින් සිටින බව පවසා සිටියේය.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments