Science Quick Bites - වසර මිලියන 75 වයසැති ඩයිනසෝර් ෆොසිලයක රතුරුධිරාණු සොයාගැනේ!






වසර මිලියන 75 වයසැති ඩයිනසෝර් ෆොසිලයක රතුරුධිරාණු හා ප්‍රෝටීන සොයාගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. මෙතරම් පැරණි ෆොසිලයක මෙවැනි ජෛව අණු සොයාගැනීමට හැකිවූ පලමු අවස්ථාව මෙය වන අතර මේ අනුව ඩයිනසෝරයන්ගේ හැඩරුව හා ජීවිතය ගතකල ආකාරය පිලිබඳව වැදගත් කරුණු අනාවරණය කරගත හැකි බව පැවසෙනවා.

පසුගිය වසර 25 තුල ප්‍රාග්-පුරාවිද්‍යාව විශාල වෙනසකට බඳුන් වූයේ ඩයිනසෝරයින්ගේ සම, පටක, ප්‍රෝටීන හා මාංෂ සෛල සොයාගැනීමට හැකිවීම නිසාය. එබැවින් සමහර ඩයිනසෝයයින්ගේ සමේ පාට නිවැරදිව හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.

උතුරු අමෙරිකාවෙන් හමුවූ, ක්‍රෙටෑසියස් යුගයේ, එනම් වසර මිලියන 145-66 යුගයක ජීවත්වුනු ඩයිනසෝරයෙකුගේ ෆොසිල වලින් මෙම රතුරුධිරාණු සොයාගෙන තිබෙනවා. ඉලෙක්ට්‍රෝණ මයික්‍රෝස්කෝප හා මෑස් ස්ප්ක්ට්‍රෝස්කොපි යන තාක්ෂණික මෙවලම් යොදාගෙන මෙම සොයා ගැනීම් සිදුකොට ඇති අතර රතු රුධිරාණු වලට අමතරව කොලෑජන් නම් ප්‍රෝටීන වර්ගයක්ද සොයාගෙන තිබෙනවා.

මෙම රතුරුධිරාණුවල සෛළ න්‍යෂ්ඨියේ ආකෘතිය හා ඇමයිනෝ අම්ල අනුව එම රතු රුධිරාණු දැනට නවසීලන්තයේ ජීවත්වන ඊමූ නම් විශාල, පියාසර කල නොහැකි කුරුල්ලාගේ රතුරුධිරාණු වලට සමාන බව පෙනීගොස් තිබෙනවා.

කෙසේවෙතත් මෙම රතුරුධිරාණු, ඇමයිනෝ අම්ල හා පටක කොටස් වල ඩී.එන්.ඒ අඩංගු නොවූ බව සිය පර්යේෂණය පිලිබඳව නේචර් කමියුණිකේෂන් සඟරාවේ ලිපියක් පලකල විද්‍යාඥයින් පවසා තිබෙනවා. ඩී.එන්.ඒ අණු ඉතා ඉක්මණින් විනාශවන, විශාල හා සංකීර්ණ අණු වීම මීට හේතුව බව ඔවුන් පවසනවා.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments