16 April 2016

අවුරුද්දට ගම ඒම - පොඩිහිටියාගේ රචනයකි

මෙය රචනාවකි . ලාංකීය අධ්‍යාපන ක්‍රමය එක තැන ලොප් වෙතැයි කීමට , අවුරුදු තිහක් තිස්සේ පාසැල් රචනා මාතෘකා නොවෙනස්ව තිබීමම සෑහේ . රචනාවේ කතෘ , මා මිතුරු තෙමේ පුත් , ඔබ සැම දැන් හඳුනන , පොඩිහිටි තෙමේමය .


අවුරුද්දට ගමේ යාම 

අවුරුද්ද යනු සුරියා මීන රාසියෙන් මේස කිහිපයකට සම්ප්‍රාප්ත වීමයයි ඇල්බට් අයින්ස්ටයින් කිව්වා යයි ෆේස් බුක් එකේ තිබුණි .  අවුරුද්දට ගමේ යාම අනාදිමත් කාලෙක සිට පැවැත එන සිරිතකි . 

එය අපේ පවුලට විශාල ප්‍රශ්නයක් විය . ඒ,  අවුරුදු කන්නට අපේ තාත්තා ගන්නා ෆෙස්ටිවල් අල වන්ස් එක ගෙවන්නට වෙන නිසා , වෙසක් මාසේ සිට අග හිඟ කම් වැඩි වීම නිසාම නොවේය . යන්න ගමක් අපේ අම්මාටත් තාත්තා ටත් නොතිබුණු බැවිනි . අපේ අම්මාගේ ගම බත්තරමුල්ලය . තාත්තා ගමේ ගියාට,  යන්න මහගෙදරක් නැත . එය උගසටද මොකටද සින්න වුනා යයි තාත්තා දවසක් කීවේය  . මේ නිසාම කලකට ඉහත තාත්තා බණ්ඩාරගම පැත්තෙන් පොඩි ඉඩම් කෑල්ලක් අඩුවට ගත්තේ , අහළ පහළ  එවුන්ට පෙනෙන්නට , හිතේ හැටියට ගමේ යන්නය . නමුත් එය ලාබෙට ලැබුනේ කනත්තකට අල්ලලා තිබුණු නිසාය . වත්තේ තිබුනේ ගෙඩි නැති  දෙල් ගහක් සහ පාලු ළිඳකි . ගමේ අපි දන්නා අඳුනන කවුරුත් නැත . ඉතින් අපි ජනෙල් දොරවල්  වසා දමා , යතුර අල්ලපු ගෙදර සෝමා ඇන්ටිට දී, උදේ පාන්දරින් ගමේ ගියාට,  කරන්නේ , පානදුරෙන් බැස , ටවුමේ හෝටලේකින් දවල්ට කා , හන්දියේ එළවලු තට්ටුවකින් කොටු එළවලු ටිකක් ගෙන හවස නැවත ගෙදර ඒමය . අපේ අම්මා ඒවා බෙදන්නේ ගමේ කොටුවේ එළවුළු කියාය .   වැඩේ  දෙල් උනේ බණ්ඩක්කා මල්ලක දවසක් කැරට් අලයක් තිබිලාය . (මේ කොටස වාරණය වුයේ රාජ්‍ය රහස් පිටත දීම වැලක් වීමටය .  තොරතුරු දැන ගැනීමේ පනත ගැන කීමට ගොස් මාධ්‍යවේදියෙකුට කණ අනෙක් අතට කරකැවීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණ දීමටද  සිදුවිය ).

ඉන් පසු තාත්තා ගමේ යාම නවතා දැමුවේ ලංකාවේ හැම තැනම ගම්  මිසක් නගර කොහේද  කියා අසමිනි . මට ඒ හරුපේ එතරම් තේරුනේ නැත . 

ඉතින්  දැන්  නම් අපි ගමේ යන්නේ නැත්තෙමු . ඒ ගම අවුරුද්දට අපි වෙත එන බැවිනි . අපේ ගම තියෙන්නේ රූපවාහිනියේය .  ඒ ටීවී එකේ තියෙන ගම ගමෙත් නැත . හැමෝම ඉන්නේ හිනාවෙලාය . අවුරුද්ද දාට ගම්  වල ඉන්න කණ සාක්කුවේ දා ගත්ත මාමලා එහි නැත . බඩ  පෙනෙන්න හැට්ටේ ඇඳලා , කකුල දණහිසටත් උඩට පෙනෙන්න පාට පාට රෙද්දේ ඇඳලා ඉන්න එළකිරිස් සිරියාවන්ත ගැමි ලියෝ , ලස්සනට එකට නටති . හිටපු ගමන් රබානක් වට කරගෙන රබානට නොරිදෙන්නට රබන් ගසති . සමහර රබන් පද අපේ ආච්චි දන්නෙත් නැත . සමහර ඒවා සින්දු රබන් පද කරලාය . රම්බරි සින්දුවත් එසේ වැයිය  හැකිය .

කොන්ඩෙ ජෙල් ගාලා පැත්තට පීරපු , චන්න සර් ගේ පන්තියේ ගැමි තරුණයෝ , සාරංග අයියා එක්ක අර ගැමි ලියෝ ඔන්චිලි පදිනවා බලා සිටිති . අවුරුදු මේසයේ දේශීය ආහාර රැසකි . අපේ ගෙදර මේසයේ මෙන්  මාස් මෙලොස , කුරක්කන් ක්රෑකර්ස් පමණක් නොව , ආස්මි , නාරං  කැවුම් වැනි දුලබ කෑමද ඇත . ටීවී එකේ ඉන්න අවුරුදු විසාරදයෝද ගමේ සංස්කෘතිය ගැන විවිධ දේ කියවති . (අවුරුද්ද ගැන , වෙසක් එක ගැන , නිදහස් දිනය ගැන , පෙරහැර ගැන ඔය හැම එකකටම විසාරද කොමෙන්ට්‍රි දෙන්නේ එකම කට්ටියය .) අපේ සීයා  නම් කිව්වේ , ටීවී එකට පිං  සිද්ධ වෙන්න, මැරෙන්න ඉස්සෙල්ලා එහෙම ගමක් බලා ගන්න එයාට හම්බවුනා කියලා ය . 

ටීවී එකේ ගමේ ගෙදර ගෘහ මුලිකයා ගොවියෙක් ය . හැබැයි අර අමුඩ ඇඳන් කොළඹ ආපු ගොවියන්ගේ ප්‍රශ්න නම් එයාට නැත . එයා හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවාය. අනික වී මිලදී ගත්තේ නැතත් , පෝර සහනාධාරේ නොලැබුනත් එයා මුළු ගමටම  අවුරුදු පාටියක් දානවාය . ඒ සල්ලි ඉතුරු කර ගත්තා නම් සහනාධාර එච්චර ඕනේ නෑ  නේද කියා මම ඇසු විට තාත්තා කීවේ , එහෙම කරන්න බැරි බවය . ගිණි  පොලියට ගත්තත් , බුරිය උල් වෙන්න අවුරුදු නොකා සිංහල කම රකින්න බෑ  කියාය .

13 comments:

  1. සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. අවුරැද්දට ගමේ ගියේ නැද්ද

      Delete
  2. රචනය සඳහා පොඩිඑකාට ලකුණු සීයෙන් සීයයි.

    නරකද මේක ජනමාද්දිය ඇමැත්ත තුමාට යැව්වොත්, අඩු ගානේ උදේට වැසිකිලියේ වැඩ වදාරන වෙලාවටවත් කියවලා බලන්ඩ කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එහෙම එකෙක් ඉන්නවද කියලත් හිතෙනවා වෙලාවකට

      Delete
  3. මීන රාශියෙන්, මේෂ රාශියකට කොහොම වෙතත් මේස කිහිපයකට නම් වඩිනවා කියලා තියෙන්නේ අදීන ලේඛකයෙකුවූ දයාසේන ගුණසිංහ මහත්තයා කියලා මෑතකදි ටීවී වැඩසටහනකට ආපු සුනිල් හඳුන්නෙත්ති කිව්වා. Aru

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අරූ . ඒත් අරූට මීටර් වෙලා නැද්ද ඔය මුහුණු පොතේ කියමනයි කියපු එකාගේ නමයි පටල පටල දාන එක . කොටින්ම එකම දේ බුදු හාමුදුරුවොයි , ඇල්බට් අයින්ස්ටයිනුයි , මහින්ද රාජපක්ෂයි , විල් ස්මිතුයි කියලා තියෙනවා . මං දන්නා එකෙක් ඉන්නවා ඌ ෂොට් එකක් දාන කොට කියවෙන දේවල් අහුලාගෙන ඇවිත් , ඇල්බට් අයින්ස්ටයින් කිව්වා කියලා මුහුණු පොතේ දානවා

      Delete
  4. හෙහ් හෙහ් හෙහ් හෙහ්.... තව ඩින්ගෙන් කට්ටියට ඇහෙනවා...

    ReplyDelete
  5. අර නස්කූනි පොඩි එකා හෙහ්.
    අපි ඉන්නෙ ගමක කියන්නත් බැරි නගරයක් නං නෙවී තැනක. වත්තක්. ඔය එක එක ප්ලාන්ටේෂන් කම්පැණි තියෙන්නෙ අන්න ඒවැං එක්ක. අනේ මංද. අප් අවුරුද්දට කොහෙ යනව කියල කොහෙ යන්නද.
    අනික අර ටීවි අවුරුද්ද අපිටත් හෙම්ප මැජික් කොට

    ReplyDelete
    Replies
    1. මහේෂ් මේ ලියපු එකේම දිගුවක් තමා පිට රටවල ලාංකිකයන්ගේ අවුරුදු සිරිත් විරිත් සහ අවුරුදු උත්සව . එක දිහා බලන විවිධ පැති තිබ්බත් , මට නම් තරමක විහිළුවක් . නිකන් cos play වගේ වගේ ... මට හිතෙන හැටි

      Delete
  6. එහෙම ගම් ගමෙත් නැත.. හෙක් හෙක්.. දැන් හරියටම අවුරුදු සිරිත් කරන්නේ නළු නිළි අංකල්ලා ඇන්ටිලා විතරද මංදා..

    ReplyDelete
    Replies
    1. මේ ජීවන රඟ මඩලේ අපි සියල්ලෝම නළුවෝ ???

      Delete

Have commented