Main Logo

Saturday 9 April 2016

බහුසංස්කෘතික බහුබූතය 6

බහුසංස්කෘතික බහුබූතය 6

බටහිර රටවල ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ඒ රටවල වෙසෙන ඇස් කන් යොදා ගන්නා ඕනෑම අයකුට දැනගත හැකි ය. එහෙත් ඇතැම් සිංහලයන්ට ඒ බව නොදැනෙන්නේ ඔවුන්ගේ ඇස් කන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය විසින් අර්ධ වශයෙන් ක්‍රියා විරහිත කර ඇති බැවිනි. ඔවුන් සිංහල බෞද්ධ දැයි මම නො දනිමි. එහෙත් ඔවුන් සිංහල බෞද්ධ නම් ඔවුන්ගේ සිංහල බෞද්ධකම හා මගේ සිංහල බෞද්ධකම අතර ඇත්තේ විශාල වෙනසකි. මම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ආධිපත්‍යයට යට නො වෙමි. මා බවහිර දැනුමෙන් අවශෝ’ෂණය කරගන්නේ ඉතා සීමිත කොටසක් පමණකි. මම පෑන පැන්සල මෙන් ම විද්‍යුත් තැපෑල, පරිගණකය පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාව ද අවශ්‍ය වූ විට යොදා ගනිමි. එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව දනිමි. බටහිර විද්‍යාව වැඩ කරයි යන්නෙන් එහි සත්‍යතාවක් ගැන නො කියැවෙයි. බටහිර දර්ශනයෙහි සත්‍යතාව යන්න අර්ථ නො දැක්වෙයි!


මම ඊනියා විද්‍යාත්මක බෞද්ධයෙක් නො වෙමි. මම සිංහල බෞද්ධයෙක්මි. මගේ බුද්ධාගමේ දෙවියන් ඇත, ශාන්තිකර්ම ඇත, යන්ත්‍ර මන්ත්‍ර ආදිය ද ඇත. මේ එකකින්වත් නිවන් අවබෝධ කරගත නොහැකි බව මම දනිමි. එහෙත් දෙවියන්ගෙන් හෝ වෙනත් අදෘශ්‍යමාන භූතයන්ගෙන් හෝ දැනුම ලබාගත හැකි බව මම දනිමි. සිංහල වෙදකම ඊනියා පර්යේෂණ මත පදනම් නොවන බව ද එය සෘෂිවරුන් දැකගත් දැනුමක් බව ද මම දනිමි. ඊනියා විද්‍යාත්මක බෞද්ධයනට අනුව බුදුන් වහන්සේ ලෝකයේ පහළ වූ ශ්‍රෙෂ්ඨතම හා පළමු විද්‍යාඥයා ය. ඔවුන් මේ කියන්නේ බටහිර විද්‍යාඥයන් වැනි විද්‍යාඥයකු ගැන ය. බුදුන් වහන්සේට එයට වඩා කළ හැකි අගෞරවයක් නැත. බටහිර විද්‍යාඥයන් මෙන් බුදුන් වහන්සේ පට්ටපල් බොරු නො ගෙතූහ. බුදුන් වහන්සේගේ ආර්ය පර්යේෂණය බටහිර විද්‍යාඥයන්ගේ තුට්ටු දෙකේ ලෞකික පර්යේෂණ වැන්නක් නො වී ය. උන්වහන්සේ “ දියුණු කරන ලද” මනසකින් නිවන් අවබෝධ කළ සේක. කාළාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් හෝ විද්‍යාත්මක විධි ක්‍රමයක් හෝ නැත. ඒ සූත්‍රය කාළාම වැසියනට යම් දහමක් පිළිගන්නේ කෙසේ ද යන්නට දෙන ලද පිළිතුරකි. එකී සූත්‍රය අනුව යමක් තර්කානුකුල ව පමණින් ද පිළිගත යුතු නැත. ඒ අනුව නම් බටහිර විද්‍යාවට නිෂේධාත්මක වශයෙන් සහනයක් ලැබෙයි. බටහිර විද්‍යාව තර්කානුකූල නැත! 

මගේ සිංහල බුද්ධාගමේ දෙවියෝ යක්‍ෂ ජනතාවගේ  කාලයේ සිට සිටිති. ඇතැම් දෙවියන් අද වන විට වෙනත් වෛදික දෙවියන් සමග මිශ්‍ර වී ඇත. එහෙත් එපමණකින් සෝම හාමුදුරුවන් අනුගමනය කරමින් දේව රූප ගඟට නො දමමි. මට හැකි අවස්ථාවල මම නැකැත් අනුගමනය කරමි. සිංහල අවුරුද්ද මට ඊනියා මිථ්‍යාවක් නො වේ. පොළොව හිරු වටා යෑම හිරුට සාපේ’ක්‍ෂ වූවකි. පොළොවට සාපේක්‍ෂව සිදුවන්නේ හිරු පොළොව වටා යෑමකි. ඊනියා වාස්තවික නිරපේක්‍ෂ චලිත ලොවෙහි නැත. නිරපේක්‍ෂ චලිත නිරීක්‍ෂණය කෙරෙන්නේ කවුරුන් විසින් ද? නිරීක්‍ෂකයකු ඇති විට එය නිරපේක්‍ෂක චලිතයක් වන්නේ කෙසේ ද? හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ඊනියා මිථ්‍යාවක් නො වේ. මේෂ රාශියෙහි ආරම්භය බටහිරයන්ගේ මේෂයෙහි ප්‍රථම ලක්‍ෂ්‍යය (ැඉරසට පඔඉනට ඔෆ ංරඉඑස) ලෙස ගැනීමෙන් ඊනියා උගතුන්ට වලිගය පෑගී ඇත. ඒ එළුවාගේ වලිගය නොවන බව ද සඳහන් කළ යුතු ය. නොනගතය යනු පොළොවට සාපේක්‍ෂ ව සූර්යයා, එනම් සූර්යයාගේ විෂ්කම්භය, එක් ලක්‍ෂ්‍යයක් පසු කිරීමට ගතවන කාලය ය. ඒ පැය දොළහයි මිනිත්තු හතළිස් අටකි. ඒ කාලය තුළ සූර්යයා මේෂ රාශියට පැමිණත් නැත, නොපැමිණත් නැත. එනම් අගතත් නොවේ, අනගතත් නො වේ. නොනගතය යනු එයයි. එහි එක් භාගයක් පැය හයයි මිනිත්තු විසි හතරකි. ඒ කාලයෙහි සිංහල අපි වැඩ වරමු. අපර භාගයෙහි අපි  වැඩ අල්ලමු. නොනගතයෙහි නැකැත් නැතැයි කීවේ කවු ද? එහි නැකැත් ඇත. වැඩි විස්තර සඳහා මා විසින් ලියන ලද සිංහල අවුරුද්ද පොත කියවන්න.    

ඇතැම් සිංහල බෞද්ධයන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යටවන්නේ බටහිර රටවල දී පමණක් නො වේ. ඊනියා උගත්තු ලංකාවේ දී ද බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යටවෙති. බුදුන් වහන්සේ ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා නම් උන්වහන්සේ අනුගමනය කරන්නේ යැයි කියන සිංහල බෞද්ධයන් මොන තරම් ඉහළ විද්‍යාඥයන් විය යුතු ද? එහෙත් එකදු සිංහල බෞද්ධ විද්‍යාඥයකු යැයි කියාගන්නා අයකුටවත් නොබෙල් තෑග්ග දිනගැනීමට නො හැකි වී ඇත. ඔවුන්ට නොබෙල් තෑග්ග දිනාගැනීමට නොව ඔවුන් මහත්සේ අගය කරන ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක්වත‘් ලබාගැනීමට නො හැකි ය. ඔවුන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව නිර්මාණ කළ හැකි නො වේ. ඔවුන් සතුව තවමත් සිංහල බෞද්ධ චින්තනයෙහි නටබුන් ඇත. ඔවුහු එක් ලෝකයකටවත් අයත් නො වෙති. ඔවුහු ගන්ධබ්බයෝ වෙති. ඔවුහු තම නොහැකියාව වසා ගැනීමට යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වී හීනමානයෙන් බුදුන් වහන්සේ ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා බවට පත්කරති. මේ සිංහල බෞද්ධ යැයි කියන විද්‍යාඥයන්ගෙන් මට ලංකා විශ්වවිද්‍යාලයේ දී කිසිවක් ඉගෙනීමට නො තිබිණි. මා යමක් ඉගෙන ගත්තේ සිංහල ක්‍රිස්තියානි ගුරුවරයකුගෙන් හා දෙමළ කතෝලික ගුරුවරයකුගෙනි. පසුව සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි ගුරුවරුන්ගෙනි. එහෙත් ඔවුන්ගෙන් ඉගෙන ගත් දේ බොරු බව මම දැන් දනිමි. (මතු සම්බන්ධයි) 

නලින් ද සිල්වා

2016 අප්‍රේල් 09