Tuesday, March 29, 2016

ඒ එස් (ආදි සිසුන් )ලා හා අයි එස් ලා. පාසල්වල ආදිසිසු ත්‍රස්තවාදීන්

 වෘත්තීය බ්ලොග්කරු අජිත් පැරකුම් අපූරු ලිපියක් ලියා ඇත. අජිත් පැරකුම් යනු මීලග බ්ලොග් සම්මාන උලෙලේ හොදම බ්ලොගයට හිමි සම්මානය ලබන්නායි.එය අනාවැකියකි.


බලන්න ඔහු කියන්න ඇති දේ නිසි ලෙස කියා ඇති අයුරු.

ආදි ශිෂ්‍යයන්ට පාසලට පරිත්‍යාගයක් කිරීමට කැමැත්තක් තිබේ නම් එසේ කිරීම වෙන ම කාරණයකි. එහෙත්, එම පරිත්‍යාගය භාර ගත යුත්තේ කොන්දේසි මත ය. එම පරිත්‍යාගයේ මුවාවෙන් පාසලේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නො දිය යුතු ය. අද වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ විශාල වශයෙන් ව්‍යාපාරවල යෙදී සිටියි.//

පාසල්වලට අවශ්‍ය වියදම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දිය යුතු ය. පාසල් වැඩ කළ යුත්තේ එම වියදම් සීමාව තුළ ය. ඉන් එහා පාසල් හදන්නට විදුහල්පතිවරුන් දැගලිය යුතු නැත. විදුහල්පතිවරුන් අරමුදල් සම්මාදමේ යාම වහා ම නැවැත්විය යුතු ය.

මෙවැනි තත්වයන් ඇති වන්නේ විදුහල්පතිවරුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නොව, ආදි ශිෂ්‍ය සංගම්වල උවමනාවන් මත කටයුතු කරන්නට යාම නිසා ය. //



පාසල්වාදය ත්‍රස්තවාදයටත් වඩා භයානක බව ඔහු කියා ඇත. ගාල්ල සවුත්ලන්ඩ් සිදුවීමේදී ආදිසිසුවියන් සිසුවියකට පහරදීම ඔහු ගෙන හැර දක්වා තිබිනි. ආදි සිසුන් යනු බොහෝ පාසල් මෙහෙයවන්නන්ය. ඇත්තෙන්ම බොහෝ දෙනාට පාසල යනු සුදුසුකම් නැතිව රැකියාවට යන මගකි. වැඩ කරන තැන අයුතු ප්‍රයෝජන ලැබීමට මගකි. බොහෝ ප්‍රසිද්ධ පාසල් පාලනය කරන්නේ මෙම ත්‍රස්තවාදීන්ය. ආදි ශිෂ්‍ය කෝටාව තුලින් ඔවුන් ඊලග පරම්පරාවද මෙම පාසලට දමාගෙන පාසල  බමුනාගේ පූන නූල කරගෙන ඇත.


මචන් අපි එක ඉස්කෝලෙනෙ කියා ඕනම බලුවැඩක් කරගනී. මෙසේ බලු නිකායවල් ගනනාවක් මේ රටේ ඇත. ඉන් එකකට හෝ අයත් වීම මහත්ඵල මහානිසංස ලැබෙන්නකි.ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ඉන්ටවීව් වලදී පාසලට ලකුනු 50 ක් වත් ලැබේ. පාසල උඩ දාගෙන ඉන්නෙ ඔය වගෙ හොර පාරවල් නිසාය. හොරකමකට මාට්ටුවුනත් ලොකු තැන්වල ඉන්නෙ එක ඉස්කෝලෙ එවුන්ය. මේ චාන්ස් එක ගමේ හොරපොල් කඩන එකාට නැත. මහා පරිමාන වංචාවල යෙදුන උන් බේරෙන්නේ මේ පාසල් මාතාවගෙ අම්මගෙ රෙද්ද නිසාය.


ජාතිවාදය හා ආගම්වාදය හා පක්ෂවාදයටත් වඩා ලංකාවේ ජනයා දරුනුවටම ගිලී සිටින්නේ පාසල්වාදයේය. ලොකු පාසල් වල ආදි සිසුන් හා කාර්යන් අතර වෙනස  කාරයන් එලිපිට සිය ම්ලේච්ඡත්වය පෙන්වීමයි.


අබු බකර් අල් බැග්දාදි ඉරාකයේ හා සිරියාවේ සටන් කරයි.ඒ ඔහු ගිලී ඇථි අන්ත ගෝත්‍රිකත්වයක් නිසාය. ආදිසිසුන් පාසල් මාතාවක් වෙනුවෙන් මැරෙන්න දගලන්නේද ඊටම සමාන ගෝත්‍රිකත්වයක් නිසාය. බැග්ඩෑඩිටත් ලංකාවේ ආදි සිසුන්ටත් වෙන වෙනම ජාවාරම් ඇත.

 මටනම් පාසල වගේ වගක් නැත. මා බැදීම් බොහෝ දුරට අඩුකරගෙන සිටින බැවිනි. මට රෝයල් ගිය එකාත් ආනන්දෙට ගිය එකාත්  සෙන් තෝමස් ගිය එකාත් හින්දු කොලෙජ් ගිය එකාත් සහීරාවට ගිය එක්කාත්  මහමූකලානෙ කනිෂ්ටෙට ගිය එකාත් එකය. දැනුම සෙවීමට ඇති මාවත් ගනනාවකින් එකකි පාසල. එහෙත් ඇතැම් එකාලාට පාසල අම්මගෙ රෙද්ද වී ඇත. 

දිනක් මිතුරෙක් ඔහුගේ ෆෝන් එකේ තිබූ ඔහුගේ පෝස්ට් එකක් පෙන්වා මේ කොහෙදැයි ඇසීය. මට කොතරම් කල්පනා කලත් මතක් කරගන්න  බැරිවිය.

"ම්හ්හු බෑ"

අපේ ඉස්කෝලෙ ඔහු බැරිම තැන කීවේය.

දැන් හැමතැනම ගොඩනැගිලි ඉදිකර විශාල විපර්යාසයකට බදුන් කර තිබූ පාසලට මා කලෙකින් ගොඩ වැදුනේ නැත.මට පාසල ගැන මහලොකු හැගීමක්ද නැත. එහෙත් රටේ බහුතරය එසේ නොවේ. පාසල වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය.

පාසල් වාදය ගැන අපූරු ලිපියක් ජේමිස් බන්ඩා ලියා තිබිනි.ජේමිස් බන්ඩා යනු බ්ලොග් ලියන්නන් අතර සිටින ප්‍රගතිශීලියෙකි.අලුත් විදියට සිතන්නෙකි.ඔහු පාසල්වාදියෙක් නොවේ.ලිපියේ තිබුනේ වෙනත් ඕනෑම දෙයකදී සන්සුන් වන බන්ඩගෙ මිතුරෙක් පාසල යන වදන ඇසෙනවිටම මාරාවේශ වන කතාවකි.


ඇත්තටම කුමක්ද මෙයට හේතුව. බන්ඩා අපූරු හේතු දක්වා තිබිනි.පොඩිකාලෙ සිටම සම්ප්‍රදායන් ,චාරීත්‍ර,හැසිරීම් ආදිය තුලින් වෙනස් අනන්‍යතාවයක් ලබා දෙයි.තමන් සෙස්සන්ට වඩා වෙනස් බවත් උසස් බවත් යටිසිතට කාවද්දයි.පාසල් පාසල් අතර ගුටි කෙලිවලින් මෙය ශක්තිමත්වේ. පුද්ගලයාගේ මුලු ලොවම පාසල වටා බ්‍රමනය වන බව ඒත්තු ගන්වයි.

පාසලෙන් ඉවත් වූ පසු රැකියාවක් ලබාගැනීමේදී පාසල් සබදතා ප්‍රයෝජනවත්ය.සමහර කොම්පැනිද  ආදිශිෂ්‍යයන්ට තිබේ. ඒ හැර සමාජ සබදතා වලදී මෙම පාසල් ජාලවල සාමාජිකයෙක් වීම ආරක්ෂාවට හා පැවැත්මට හොදය. එනයින් පාසල යනු එක්තරා කුලයකි.

පාසල්වාදය යනු අධිපතිවාදයකි. ලොකු ඉස්කෝල තිබෙන්නේ පොඩි ඉස්කෝල තිබෙන නිසාය. ලොකු ඉස්කෝලවල අය ලොකු වන්නෙ පොඩි ඉස්කෝලවලට සාපේක්ෂවය.

ගෝත්‍රවලට බෙදී සිටින්නේ අපගේ හීනමානය නිසාය. අනුන් ගැන ඇති බය නිසාය.ලොකු ඉස්කෝලකාරයෝ වෙනත් ලොකු අය සමග තරගයකි. පොඩි එවුන් ඉදිරියේ ලොකුකම දැම්මද ආගමික වශයෙන් වෙනස් ලොකු ඉස්කෝල සමග තරගයක් ඇත. මෙහෙම ඉස්කෝලවල ආගම්වාදය ඇවිස්සීම නිරතුරුව සිදුවේ.චන්ද්‍රිකා යුගයේ දී ප්‍රශ්නයක් ආ විට  මේක අපේ පොදු ප්‍රශ්නයක් යැයි ඔවුන් කීහ.නෑ නෑ මේක පොදු නෑ ඔහෙලගෙ ප්‍රශ්නයක් කියා අප කිව යුතු වෙමු.

දෙදෙනෙක් පාරේ යනවිට මුදල් පසුම්බියක් වැටී තිබී එකෙක් අහුලා ගත්තේය. එය තමන්ට තනිවම අයිති බව කියමින් ඔජවඩමින් යන විට අයිතිකාරයා අසුපිට කසයක්ද රැගෙන ඔවුන් ඉදිරියට ආ පසු මේ පසුම්බිය අපි දෙන්න අහුලගත්ත නේදැයි අහුලගත් එකා අනෙකා දෙස බලමින්වෙව්ලමින් කීවේය. එවිට අනෙකා දැන්ද අපි ව මතක් වුනේ කලින් මමය මාගේය සින්දුව නේද කීවෙ. දැන් ඔයා තනිවම බේරගන්න කියා ආපසු ගියේය.

මම නම් සිතන්නෙ කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදැක්විය යුතු බවය. සැම  දෙනාම කරන්නෙ සෙසු සමාජය වෙනුවෙන් සිය භූමිකාවයි. එහි උසස් පහත්කම් නැත.


වියපත්වූවන් පවා පාසල් ගැන කියමින් රන්ඩුකරගැනීමෙන් අප තුල ඇති පුංචිකම ඉස්මතුවේ.

5 comments:

  1. පාසැල්වල ආදිශිෂ්‍යයින්ට සහ දෙමව්පියන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් මැදිහත්වීමට හැකිවී තිබෙන්නේ පාසැල්වලින් සිදුකල යුතු කාර්යට වඩා වෙනත් දෙයක් එය තුලින් සිදුවන බැවිනි.

    ලංකාවේ බොහෝ පුද්ගලයින්(ඔබ හැර)තමන්ගේ ළමයාව වඩා හොද පාසලකට දමා ගැනීමට කැමතිය. එලෙස කැමති වන්නේ ඒ මගින් ළමයාගේ ජිවන තත්වය ඉහල නැංවිය හැකියැයි විශ්වාසයක් තියෙන නිසාය. ඒ අනුව ප්‍රධාන පෙලේ පාසැල්වලට ළමුන් ඇතුලත්කර ගැනීමට ලොකු තරගයක් ඇත. එහෙත් සමහර පාසැල්වලට අවශ්‍ය තරමටවත් ළමුන් නැත. කිසිවකු ළමුන් අඩු ප්‍රසිද්ධ නැති පාසැල්වලට තමුන්ගේ ළමුන් ඇතුලත් කිරීමට කැමති නැත. එබැවින් ඔබ සදහන්කර ඇති සියලුම තත්වයන් ඇතිවී ඇත.

    //අපේ සමාජයේ නිරුපද්‍රිතව ජීවත්වීමට ධනය ,බලය ,කීර්තිය රැස්කරගත යුතුය.බැලගෙඩි කඩන්නන් වැනි අය ජීවත්වන්නේ ඉතා අනාරක්ෂිත පසුබිමකය. ධනය ,බලය තිබෙනවානම් වරදක් කලත් සුරක්ෂිතය.// මේ ඔබගේම වචනය

    ඒ අනුව සියල්ලෝම සමාජයේ නිරුපද්‍රිතව ජිවත්වීමට කටයුතු කරමින් ඇත. එයට විරුද්ධව කටයුතු කරමින් වෙනස් සමාජයක් සකස් කිරීමට යන විට ඔබලා විසින්ම අනුමත කරන පරිදි ඔවුන්ව පාරවල්වල ගිණි තැබීමට ඉඩ ඇත......

    ReplyDelete
    Replies
    1. පාසැල්වල ආදිශිෂ්‍යයින්ට සහ දෙමව්පියන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් මැදිහත්වීමට හැකිවී තිබෙන්නේ පාසැල්වලින් සිදුකල යුතු කාර්යට වඩා වෙනත් දෙයක් එය තුලින් සිදුවන බැවිනි.//
      මොවුන් ගේ ආධාර තුලින් පාසලේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමට මොවුන්ට බලය ලැබෙන අතර විවිධ ජාවාරම් ඔවුහු කරති. සමහර ඒවා නීති විරෝධීය.විදුහල්පතිවරු පාසලට ලැබෙන මුදල්වලින් කටයුතු කිරීමට පුරුදු විය යුතු අතර වැඩි වැඩ කිරීමට දැගලිය යුතු නැත.

      ලංකාවේ බොහෝ පුද්ගලයින්(ඔබ හැර)තමන්ගේ ළමයාව වඩා හොද පාසලකට දමා ගැනීමට කැමතිය. එලෙස කැමති වන්නේ ඒ මගින් ළමයාගේ ජිවන තත්වය ඉහල නැංවිය හැකියැයි විශ්වාසයක් තියෙන නිසාය. ඒ අනුව ප්‍රධාන පෙලේ පාසැල්වලට ළමුන් ඇතුලත්කර ගැනීමට ලොකු තරගයක් ඇත. එහෙත් සමහර පාසැල්වලට අවශ්‍ය තරමටවත් ළමුන් නැත. කිසිවකු ළමුන් අඩු ප්‍රසිද්ධ නැති පාසැල්වලට තමුන්ගේ ළමුන් ඇතුලත් කිරීමට කැමති නැත. එබැවින් ඔබ සදහන්කර ඇති සියලුම තත්වයන් ඇතිවී ඇත.//

      මා පවසා ඇති සියලු ප්‍රශ්න ඇතිවී ඇත්තේ පාසල් මාෆියාව විසින් ගොඩ නගා ඇති මෙම තුච්ඡ ක්‍රියාදාමය නිසයි. දෙමවුපියන්ට හොද ජීවන තත්වයක් පතා සිය දරුවන් මේවාට ඇතුලු කිරීමට සිදුවන්නේ මේ පාසල් ත්‍රස්තවාදීන් රටේ ගොඩ නගා ඇති ක්‍රමය නිසයි. ලොකු ඉස්කෝලෙකට නොගිය එකෙකුට ඔලුව උස්සන්නට මේ පාසල් ත්‍රස්තවාදීන් ඉඩ නොදෙන නිසයි. ත්‍රස්තයන් සමග ගැටෙනවාට වඩා උන් නිර්මානය කර පවත්වාගෙන යන ක්‍රමයට අනුගත වීම ඇගට ගුනය.

      //අපේ සමාජයේ නිරුපද්‍රිතව ජීවත්වීමට ධනය ,බලය ,කීර්තිය රැස්කරගත යුතුය.බැලගෙඩි කඩන්නන් වැනි අය ජීවත්වන්නේ ඉතා අනාරක්ෂිත පසුබිමකය. ධනය ,බලය තිබෙනවානම් වරදක් කලත් සුරක්ෂිතය.// මේ ඔබගේම වචනය

      ඒ අනුව සියල්ලෝම සමාජයේ නිරුපද්‍රිතව ජිවත්වීමට කටයුතු කරමින් ඇත. එයට විරුද්ධව කටයුතු කරමින් වෙනස් සමාජයක් සකස් කිරීමට යන විට ඔබලා විසින්ම අනුමත කරන පරිදි ඔවුන්ව පාරවල්වල ගිණි තැබීමට ඉඩ ඇත...... //

      යුක්තිය වෙනුවෙන් අරගල කල යුතුය. එම අරගල බුද්ධිමත්ව කල යුතුය. අරගලයේ ප්‍රතිපලයක් ලෙස සතුරා දෙගුනකින් ශක්තිමත් වේනම් එම අරගලයේ ඵලය කිම?

      ලංකාව උතුරු කොරියාවක් හෝ පොල්පොට්ගේ කාම්බෝජයක් වීමට මම නම් විරුද්ධය. 89 කැරැල්ල මර්ධනයට මම පක්ෂ එනිසාය. විජේවීරලා ඉන්දියන් මාඕවාදීන් වැනි වැන්නන් හැම ප්‍රශ්නයම මරලම විසදන ක්‍රමයට මම විරුද්ධය.

      Delete
    2. උ.පෙළ, සා.පෙළ හොදින් සමත් වන්නේ බොහෝවිට ප්‍රධාන පෙලේ පාසැල්වල ළමයින්ය. ඉංජිනේරු සහ වෛද්‍ය උපාධි හැදැරීම සදහා සුදුසුකම් ලබන ශිෂ්‍යයින්ගෙන් 99%ක්ම ඉගෙනුම ලබන්නේ ප්‍රධාන පාසැල් වලය. එලෙස වන්නේ එම පාසැල්වල ආදිශිෂ්‍යයින් සිදුකරනු ලබන සුවිශේෂි කැපවීමක් නිසා නොවේය.

      මෙම පාසැල් බොහෝමයක් තිබෙන්නේ පිවිසිමට පහසුකම් වැඩි ස්ථාන වලය, ගුරුවරුන්ට, ළමුන්ට පාසැල්වලට පැමිණිමට හෝ ඒ ආසන්නයේ නවාතැන් සොයා ගැනීමට අවශ්‍යතරමට පහසුකම් ඇත. අමතර අධ්‍යපනය ලැබිමට වැඩි අවස්ථාවක් ඇත. මේ සියලු පහසුකම් ඇති බැවින් සහ දෙමව්පියන්ට අවශ්‍ය තරමට මුදල් සහ කාලය වෙන්කල හැකි බැවින් මෙම පාසැල් වලින් වැඩි ළමුන් පිරිසක් ඉදිරියට එනවාය.රටේ සෑම ප්‍රධාන නගරයකම මෙන්ම උපනගරවලද, ප්‍රදේශියවද මෙවැනි පාසැල් ඇත.

      එබැවින් බහුතරයක් මිනිස්සුන්ට තමන්ගේ ළමයා මෙවැනි පාසලකට ඇතුලත් කිරීමේ අවශ්‍යතාවය ඇත. ඒ ඒ අවශ්‍යතාවයන්ට අනුව මුදල් ගෙවා හෝ දේශපාලන ලියුම් මගින් හෝ ආදිශිෂ්‍ය පදනම යටතේ අමතර සුදුසුකමක් ලෙස මෙම පාසැල් වලට ඇතුලත්විය හැකිය. ආදිශිෂ්‍යය සංගම්වලට විදුහල්පතිවරුන්ට හා දේශපාලකයින්ට මෙම තත්වය තුලින් අමතර ආදායමක් සහ තත්වයක් ලැබෙන බැවින් ඔවුන් මේවාට ඔවුන් අවශ්‍ය ප්‍රමාණයට වඩා මැදිහත් වනවාය......

      මෙවැනි පහසුකම් සහිතව සෑම උපනගරයකම සහ ප්‍රාදේශියව පාසැල් දියුණු තත්වයට පත්කරවනවානම් සහ එම ප්‍රදේශවල පහසුකම් වැඩිකරනවානම් මෙම අවශ්‍යතාවය අවම කල හැකිය. එහෙත් රජයට ඒ වෙනුවෙන් ගෙවීමට වන මිල වැඩි බැවින් ඔවුන් ආදිශීෂ්‍යයින්ට, දේශපාලකයින්ට, විදුහල්පතිට හා නිලධාරින්ට වැඩි බලයක් ලැබෙන ක්‍රමය ආරක්ෂාකරනවාය.

      යුක්තිය වෙනුවෙන් අරගල කරන බුද්ධිමත් අරගලකරුවන් මෙම තත්වය තේරුම් ගැනීමකින් තොරව පාසැල් මාෆියාවක් ගැන නන් දොඩවනවමින් ආදිශිෂ්‍යයින්ට බැනවදිමින් ආණ්ඩුව ආරක්ෂා කරනවාය...

      දෙවැනි කරුණනම් ලිපිය ලිවිමට පාදකවු ස්ථාන මාරුවයි.....
      වසර මැද මෙවැනි ස්ථාන මාරුවක් සිදුකිරිමට අවශ්‍ය ඇයිද යන්න පිලිබදව මේ පිලිබදව ලියන කිසිවෙක් සලකන්නේ නැතිය, මට හැගෙන ආකාරයටනම් විනිවිදබාවයකින් තොර ස්ථානමාරුවීම් ක්‍රියාත්මකිරීම මගින්ද බාහිර පිරිස්වල අනවශ්‍ය මැදිහත්වීම්ද සිදුවනවාය.

      ආදිශිෂ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධවීමට සුදානම් ඔබලා කිසිවකු මෙහි අධ්‍යපනයට සහ පාසැල් පරිපාලනයට සිදුවන දේශපාලන බලපෑම් ගැන කිසිවක් ලියන්නේ නැත. එය නොදැනුවත්වම මගහැරි යන්නේ ඇයිද යන්න පිලිබදව නැවත විමසා බලනවානම් යහපත්ය.....

      යුත්තිය වෙනුවෙන් බුද්ධිමත් අරගල කරන ඔබවැනි පුද්ගලයින් මිනිසුන්ව පාරවල්වල ගිණි තැබිය යුතුයැයි සහ එය පවතින තත්වයන් ආරක්ෂාකර ගැනීමට ඇති හොදම විකල්පයයැයි කියන්නේ ඇයිද යන්න පිලිබදවනම් මට වැටහෙන්නේ නැත.



      Delete
  2. මට වැදගත් දේ

    නුඹ අවුඩියෙන් ගියද
    ත්‍රීවීලයෙන් ගියද
    පයින් ගියද
    මට කම් නැත

    නුඹ ඒරොප්පේද​
    ඇමරිකාවේද නැත්නම් ඉතාලියේද
    එසේත් නැත්නම් ලංකා පොළවේද
    මට එය කම් නැත

    නුඹගේ පසුම්බිය බරද
    ඩොලර් පවුම් ඩිනාර් වලින් උතුරයිද
    නැතිනම් පර්ස් එක හිස්ද
    එය මට වගකට නැත​

    නුඹ ප්‍රොපෙක්ද දොස්තරෙක්ද ඉන්ජෙක්ද​
    නැත්නම් කය වෙහෙසන කම්කරුවෙක් ද
    එසේත් නැතිනම් බජාර් එකේ අයියා කෙනෙක් ද
    මම එය ගණනකටවත් නොගනිමි

    මට වැදගත් නුඹ නාලන්දීයෙකු වීමයි
    මා සමග දබර කරගත්
    මා සමග පිට්ටනියේ දුව පැන ඇවිදි
    මා සමග පන්තිවල කල් මැරූ
    නාලන්දීයෙකු වීමයි

    මට වැදගත් නුඹ
    පාසල් ගෝත්‍රවාදයෙන් මිදී
    අනෙක් පාසල් සහ ජාතීන්
    ආගම් සහ මිනිසුන්
    පාගා නොදමන -පහත් නොකරන
    උනුත් සමග එකට
    සහජීවනයෙන් ජීවත් විය හැකි
    නාලන්දීයෙකු වීමයි

    ReplyDelete
    Replies
    1. මට වැදගත් නුඹ නාලන්දීයෙකු වීමයි//
      මට වැදගත් නුඹ
      පාසල් ගෝත්‍රවාදයෙන් මිදී
      අනෙක් පාසල් සහ ජාතීන්
      ආගම් සහ මිනිසුන්
      පාගා නොදමන -පහත් නොකරන
      උනුත් සමග එකට
      සහජීවනයෙන් ජීවත් විය හැකි
      නාලන්දීයෙකු වීමයි//

      මෙන්න මේක තමා වෙන්න ඕන. නමුත් අද පාසල්වාදය කියන්නෙ ජාතිවාදය ,ආගම්වාදය ,කුලවාදය වැනි අගතීන්ටත් එහා ගිය වෙන එකෙකුට ඔලුව උස්සන්න ඉඩ නොදෙන ගෝත්‍රවාදයක්. 25% කෝටාව,පාසල්වලට අල්ලස් දී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ සමාජයේ ජීවත්වන විට ගෝත්‍රික හැගීමෙන් ක්‍රියා කිරීම දැකිය හැකියි. සමාජයේ නිරුපද්‍රිතව ජීවත්වීමට තම දරුවන් කුමක් හෝ ගෝත්‍රයකට සම්බන්ධ කිරීමට දෙමවුපියන්ට බලකෙරී තිබෙනවා.

      Delete